‘තේ නැති’ හෝටලයේ බසය නැවැත්වූ රියැදුරාට මගීන්ගෙන් දෝස්මුර

‘තේ නැති’ හෝටලයේ බසය නැවැත්වූ රියැදුරාට මගීන්ගෙන් දෝස්මුර

පසුගිය දිනක පෙරවරුවේ ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථයකි. ගමනින් අඩක් පමණ දුර ගෙවූ රියැදුරු මහතා බස් රථය කඩයක් ළඟ නතර කළේය.

”විනාඩි දහයයි තියෙන්නෙ ඉක්මනින් එන්න” කියමින් රියැදුරු මහතා කොන්දොස්තර මහතා සමඟ ඔවුන්ට විශේෂයෙන් සූදානම් කර තිබූ කාමරයකට ඇතුළු විය.

වෙනත් දිනවල පරකඩුව ප්‍රදේශයේ ලොකු හෝටලයක් ළඟ නතර කරන බස් රථය අද අලුත් කඩේක නැවැත්තුවෙ ඇයි කියල බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වුණේ, ඇඹිලිපිටිය සිට කොළඹ නිතර යන එන කීප දෙනෙක්ම බස් රථයේ සිටිය නිසාය.

මගීන් තේ පානයට කඩේට ඇතුළු විය. එහෙත් එහි තේ නැත. තිබුණේ පැණි බීම පමණි. මගීන් පැණි බීම පානය කර බස් රථයට ගොඩ වුණේ රියැදුරු මහතාගේ මෑණියන් ද මතක් කරමිනි. රියැදුරු මහතා බස් රථයට ගොඩවී නැවතත් රිය පනගන්වනවාත් සමඟම බස් රිය තුළ ඉදිරියේ සිටගෙන හිටපු මැදිවියේ කටකාර මහත්මයෙක් රියැදුරු මහතාට මෙසේ කීවේය.

”ඔය දෙන්න බඩ කට පුරෝගෙන ගතමනාව ගත්තට නම් කමක් නැහැ. බස් එකේ ඉන්නෙත් කන බොන මිනිස්සු. ශරීර අවශ්‍යතාවය කරගත්තෙ ගස් යටට ගිහිල්ල. බස් එකේ යන අපි ගැනත් හිතල මීට පස්සේ හොඳ හෝටලයක් ළඟ බස් එක නවත්වන්න. මේක කඩයක් නොවෙයි ලඩයක්. මෙහෙම බස්වල යන එන අපි කාටත් හොඳ පාඩම්.

රියැදුරු මහත්තය මූණ රතු කර ගත්තේය. මගීන්ට නම් දවසේ හොඳම කියමන නිසා හැම දෙනාම හිනා වුණේ බඩ අල්ලගෙන. එහෙම කතා කරපු මහත්තය හෝමාගමින් බහින්න සූදානම් වෙන විට බස් රියේ හිටපු තරුණයන් කීප දෙනෙක්ම කිව්වෙ අන්කල්ගෙ කටේ “මසුරන්” දමන්න ඕන කියලාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා