අතීත වාමාංශික ජන නායකයන් තුළ බෝධිසත්ව ගතිගුණ පැවැතුණා

අතීත වාමාංශික ජන නායකයන් තුළ බෝධිසත්ව ගතිගුණ පැවැතුණා

- ජ්‍යෙෂ්ඨ ඇමැති සරත් අමුණුගම

අතීත වාමාංශික නායකයන් තුළ බෝධිසත්ව ගුණ පැවති බව ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

සමස්ත ලංකා රාජ්‍ය ලිපිකරු සංගමයේ පැරණි ක්‍රියාකාරීන් ගේ එකමුතුව සහ සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘ඇල්සන් වෙඩික්කාර’ ගුණ සැමරුම් උත්සවයේ දී ඇමතිවරයා මේ බව පැවසී ය.

එම උත්සවයේ දී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

ඇල්සන් වෙඩික්කාර යනු මගේ දීර්ඝ කාලීන මිත්‍රයෙක්. මම රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා වශයෙන් සිටි කාලයේ දී ජැක් පෙරේරා, පියදාස ආදිපොල වගේම ඇල්සන් වෙඩික්කාර වගේ වෘත්තීය සමිති නායකයින් රැසක් ළඟින් ඇසුරු කළා. ඒ කාලයේ වෘත්තීය සමිති නායකයෙක් ප්‍රකාශයක් කළොත් ගලේ කෙටුවා වගෙයි. ජාත්‍යන්තරව ගතහොත් දෙවන ලෝක යුද සමයේ හිට්ලර් ආක්‍රමණයේ දී එවැනි පුද්ගලයන් දස ලක්ෂ ගණනක් මනුෂ්‍යත්වය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළා. ඔවුන් කිසි අවස්ථාවක දී තමන්ගේ පුද්ගලික සුභ සිද්ධිය බලාපොරොත්තු වුණේ නැහැ.

සමාජය වෙනුවෙන් අති විශාල කැප කිරීම් කළා. මෙවැනි ගුණාංග අප අගය කළ යුතුයි. මේ සියලු ගුණාංග ඇල්සන් වෙඩික්කාර මහතා තුළ නොඅඩුව තිබුණා. මුල්‍ය තත්ත්වයන් වෙනස් වන ලෝකයේ සමාජවාදී අදහස් තිබෙන පුද්ගලයන්ගේ වගකීම කුමක් ද? ඇල්සන් වෙඩික්කාර වගේ පුද්ගලයන් සම්පූර්ණ ජීවිතයම කැප කරල දුක් විඳින මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වුණා. එය බෝධි සත්ත්ව සලකුණක්.

අද අප රටේ ජාතීන් අතර අන්‍යොන්‍ය සමගිය ඇති කරන්න එය දියුණු කරන්න පුළුවන් වමේ අයට විතරයි. මේ රටේ ජාතීන් භේද භින්න කරන්නේ වමේ අය නොවේ. දක්ෂිණාංෂිකයෝ තමයි ඒකට මුල් වෙන්නෙ. මුළු මිනිස් ඉතිහාසයේම දක්ෂිණාංශිකයා තමයි පොඩි මිනිහට අවස්ථාවක් නොදී මිනිසුන් භේද භින්න කරල තිබෙන්නෙ. රටක ජාති ආගම් අතර සංහිදියාවක් ඇති කළ හැක්කේ වාමාංශිකයන්ට පමණයි.

අපට අද අර්බූදයක් ඇති වී තිබෙන බව පිළිගත යුතුයි. පසුගිය අවුරුද්දේ දී අපේ රටේ නිෂ්පාදන අංශය දියුණු වී අපේ කර්මාන්ත ආදායම 20% කින් පමණ වැඩි වුණා. නමුත් අපනයන වියදමට අපට බිලියන 20 ක් වැය වුනා. බිලියන 10ක ආදායමක් උපයලා බිලියන 30ක් වියදම් කළාම ගෙවුම් ශේෂයේ අර්බුදයක් ඇති වෙනවා. මේ තත්ත්වය අපේ රටට ඔරොත්තු දෙන්නේ නැහැ. ආනයන වියදම්වලට වැය වන බිලියන 30 න් 40% ක් 45% ක් වැය වන්නේ ඉන්ධනවලට, ඉන්ධන මිල ගණන් ඉහළ ගියාම මේ රටෙන් පිට රටට ඇදී යන මුදල් ප්‍රමාණයත් වැඩිවෙනවා.

යුද්ධයෙන් පස්සෙ ලංකාවේ මිනිසුන්ගෙ පරිභෝජන රුචිකත්වය වැඩි වෙලා සුඛෝපභෝගී භාණ්ඩ ආනයනයටත් විශාල වියදමක් දරන්න වෙලා තියෙනවා. මේ විදියට මුදල් පිටට ගලායාම පාලනය කිරීම රජයේ වගකීමක්. අද අපේ භාණ්ඩාගාර බිල්පත්වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ බටහිර රටවල්. රටක ආර්ථිකයක මුදල් පිටට ගලායාම විශාල වශයෙන් සිදුවෙද්දී එසේ මුදල් ආයෝජනය කළ අය තමන්ගේ මුදල් ඒ රටෙන් එළියට ගැනීම සිදු වෙනවා. ඒ තම මුදල් තම රටේ තිබීම පිළිබඳ ඔවුන් තුළ විශ්වාසයක් නැති නිසා.

මේ දේ අද නැගෙනහිර යුරෝපයට, නැගෙනහිර ජර්මනියට සිදු වී තිබෙන්නෙ. එදා සමාජවාදී හවුලේ ප්‍රබල රටක් වූ නැගෙනහිර ජර්මනියේ ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් කාන්දු වෙලා හේදිලා යන්න පටන්ගෙන තියෙනවා. රුසියාව වගේ සමාජවාදී වූ රටවල් පවා ඔවුන්ට ණය දීම ප්‍රතික්ෂේප කරල තියෙනවා. කඩාවැටෙන සමාගම් නගාහිටුවන්න ඇමරිකාව රජයේ මුදල් යෙද වූවා. නැත්නම් ඒ ආර්ථිකය නගා සිටුවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.

වර්තමානයේ දී සැලසුම් ගත ආර්ථිකයක් වෙනුවට වෙළෙඳපොළ ආර්ථිකයක් ඇති වී තිබෙනවා. දැන් චීනයෙන් නව සංකල්පයක් ඇති වී ගෙන එනවා. රාජ්‍ය වෙළෙඳපොළ සංකල්පය ඉන්දියාව වගේ රටවල අද තියෙන්නේ රාජ්‍ය ධනවාදය සහිත ආර්ථිකයක්. කියුබාවත් ඒ තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.

මේ වන විට චීනය ට්‍රිලියන 14ක ඩොලර් සංචිතයක් ළඟ තබාගෙනයි ඉන්නෙ. සවුදි අරාබියත් එහෙමයි. ඇමරිකාව තමන්ට වෙනත් රටවල්වලින් ඩොලර් ලැබෙන නිසා වැඩි වැඩියෙන් පාරිභෝජනය සිදු කළා. නමුත් අද ඔවුන්ට තව දුරටත් ඒ තත්ත්වය පවත්වාගෙන යන්න බැරිවෙලා තියෙනවා. ක්‍රමයෙන් ඇමෙරිකානු බැංකු අස්ථාවර වීම සිදු වුණා. එවිට ධනවාදයේ ප්‍රධාන නීතියක් වූ රජය ඈත්ව සිටීමේ තර්කය කඩන්න ඔබාමාට සිදු වුණා.

රටක රජය නියෝජනය කරන ප්‍රධාන පුද්ගලයන් වන්නේ එරට රාජ්‍ය සේවකයන්. අද මෙහි ඇති වී තිබෙන්නේ කාර්යාලයේ සිටින රාජ්‍ය නිලධාරියාට ගමේ, රටේ වෙන දේ පිළිබඳව වැටහීමක් නැහැ. ගමේ ගොවියා ජීවත් වන ආකාරය පිළිබඳ මේ නිලධාරීන්ට වැටැහීමක් නැහැ. හැමදේටම සංවේදී වූ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් ඇති කරන්නේ කොහොම ද කියල අපි කල්පනා කරන්න ඕනෑ. “රාජ්‍ය වෙළෙඳපොළ” ආර්ථිකයට යන මොහොතේ දී එය නියෝජනය කරන රාජ්‍ය සේවකයන්ම සංවර්ධනය කළ යුත්තේ කෙසේ දැයි අප සිතිය යුතු බවද මෙහිදී අමාත්‍යවරයා පැවසී ය.

මේ උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඇතුළු ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ සහ සමස්ත ලංකා රාජ්‍ය ලිපිකරු සංගමයේ පැරණි ක්‍රියාකාරීන් ගේ එකමුතුවේ සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා