අපේ රටේ ඉපදෙන හැම මිනිසෙකුටම මාතෘ භූමිය ගැන ආදරයක් ඇතිවන වැඩපිළිවෙළක් ඇතිකළ යුතුයි

අපේ රටේ ඉපදෙන හැම මිනිසෙකුටම මාතෘ භූමිය ගැන ආදරයක් ඇතිවන වැඩපිළිවෙළක් ඇතිකළ යුතුයි

- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

දේශ සීමා අභිභවා ගියත් සෑම මාධ්‍යයක් ම කුමන රටකට, ජන වර්ගයකට හෝ කලාපයකට පක්ෂ බව අප සිහි තබා ගත යුතු යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය අද තම රට වෙනුවෙන්, බල කඳවුර වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවලට බලපෑම් කරන තත්ත්වයට ගොඩ නැගී ඇති බවත් ඒ අහිමිරි සත්‍යට අද ශ්‍රී ලාංකේය ජනතාවටත් මුහුණ දීමට සිදුවී ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය 29 දා එක් වෙමිනි.

මම ඉතාම සන්තෝෂ වෙනවා අද දවසේ මේ ස්ථානයට ඇවිල්ලා මේ ගොඩනැඟිල්ල තමුන්නාන්සේලා වෙනුවෙන් විවෘත කරන්නට අවස්ථාව ලැබීම ගැන. මම හිතන්නේ එක් දහස් නවසිය හතළිස් අටේ දී පමණ සෝල්බරි කොමිෂන් සභාවේ උපදෙස් මත තමයි මේ අපේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආරම්භ කළේ ය. එය අද ඉතා වැදගත් ඉදිරි පියවරක් තබනවා. අද මේ අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලකට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පිවිසෙන්නේ මම හිතන්නේ විශාල බලාපොරොත්තු ඇතිවයි කියලා.

මේ නවීන පහසුකම්වලින් වැඩ ගන්න ඕනේ. ඒ වැඩ කරන්න ඕනේ රට වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් කියලයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා එයට සූදානම් වෙන කොට එකසිතින්ම මම සුබ පතනවා.

මම හිතනවා මේ ස්ථානයට හුඟ දෙනෙක්ට ඇතුළු වෙලා කරුණු ඉගෙන ගන්න ඒ වගේම ඉදිරිපත් කරන්ට සාකච්ඡා කරන්ට අවස්ථාවක් ලැබෙනවා කියලා. ඔබ සියලු දෙනාම මතක තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. එදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආරම්භ කළ දවසේ ඉදලා ඒ දෙපාර්තමේන්තුව තුළ විශේෂයෙන්ම රට වෙනුවෙන් කරපු වැඩ කොටස කරන්ට කැප වෙච්ච දැවැන්ත චරිත කිහිපයක් තියෙනවා.

මේ තුළින් මම හිතනවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා ඉන්නවා මෙතැන ඒ වගේම ටයිටස් තොටවත්ත මැතිතුමා, නිහාල්සිංහ මැතිතුමන්ලා වගේ කැපවෙලා වැඩ කරපු පිරිසක් හටියා. ඒ අය අතරින් සමහරු සම්මාන ලැබුවා. ජාත්‍යන්තරව විතරක් නොවෙයි, සමහරු දේශපාලනඥයෝ වෙලා අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. අමාත්‍ය අමුණුගම මැතිතුමාත්, මම හිතන්නේ දෙසතිය පත්තරේ සඟරාව ආරම්භ කරපු පුද්ගලයා වශයෙන් අපි හඳුන්වනවා. නවීන පහසුකම් ඇතිව මේ ස්ථානයට එන අයට ඒ දැවැන්ත චරිත දිහා බලලා ඉගෙන ගන්නෙයි කියන එක අමුතුවෙන් මම කිව යුතු නැහැ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආරම්භ කළේ එදා රජයේ සංවර්ධන ක්‍රියාදාමය ගැන ජනතාව දැනුවත් කරන්න කියන එක පැහැදිලි වුණා. ඊට පසුව අපි දැක්කා මේ ආයතනය ඒ ආකාරයෙන් කටයුතු කරපු හැටි. මම හිතනවා මේ කාලයේත් එය ඉතාම අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. මේ රටේ සංවර්ධනය ගැන හෝ මේ රටේ අපි ලබා ගත් ජයග්‍රහණ වශයෙන් හෝ ඒ වගේම අපි අතර ජාතීන්ගේ එකමුතුව ඇති කරන්නට අපි ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව හෝ ජනතාව විතරක් නොවෙයි ලෝකයාත් දැනුවත් කිරීම වැදගත්.

අද දැවැන්ත වෙනසක් ඇති වෙලා තියෙනවා. සමහරවිට අපි කියනවාට වඩා වැඩි අපි ලියනවාට වඩා වැඩි වේගයකින් මේ රටේ එක්තරා දුරට සංවර්ධනයක් ඇති වෙනවායි කියලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් වශයෙන් හඳුන්වන්න උවමනා නැහැ. අපි මේ රටේ හැම අවස්ථාවකම සෑම තැනක්ම සංවර්ධනය කරමින් යනවා. මේක කොළඹට විතරක් දකුණට විතරක් හුඟාක් අය කියන්නෙ මේක හම්බන්තොටට විතරක් කියලා. නමුත් ඒක හම්බන්තොටට විතරක් නොවෙයි. උතුරට ගියත් ඒ සංවර්ධනය අපිට ඊටත් වඩා වැඩි වේගයකින් ඒ ප්‍රදේශවල කෙරී ගෙන යනවායි කියලා කියන්න පුළුවන්.

ගමක ජනතාවට අවශ්‍ය වන ජලය වේවා, විදුලිය වේවා, කෘෂිකර්ම ක්ෂේත්‍ර වේවා, වාරිමාර්ග ක්ෂේත්‍ර වේවා, ජාතික සමඟිය උදෙසා ඇති වන සංවර්ධන කාර්ය භාරය වේවා. ඒ සඳහා කෙරෙන කැපවීම අපට පැහැදිලිව පේනවා. නමුත් අපි සමහර වේලාවට මේ දේවල් මාධ්‍යයට හරියට පේනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි එල්.ටී.ටී.ඊ සැකකරුවන් එල්ටීටීඊය වෙනුවෙන් සටන් කරලා ඒ සටන් කරපුවා පිළිඅරගෙන යටත් වෙච්ච විශාල සංඛ්‍යාවක් 14000කට කිට්ටු සංඛ්‍යාවක් අපි නිදහස් කරලා තියෙනවා.

අපි විශ්වාස කරනවා ඔවුන් පුනරුත්ථාපනය වෙලයි කියලා. බොහොම කෙටි කාලයක් තුළ. මේ ගැන කථා කරන හැම අවස්ථාවකම පිටරට උදවිය ඇවිල්ලා කියන්නෙත් අපි මේක දන්නෙ නැහැ. තානාපතිවරු ඇවිල්ලා කියන්නෙත් අපි මේක ඇහැව්වේ නැහැ. ඇයි මේක අපිට මාධ්‍යය හරහා කියන්නේ නැත්තේ. ඇයි අපිව මේව ගැන දැනුවත් කරන්නෙ නැත්තෙ කියලා.

අපි මේවා සමහර අවස්ථාවලදී මාධ්‍ය හරහා ඉදිරිපත් කළත්, එක්තරා දුරකට සාමාන්‍ය ප්‍රවෘත්තියක් වශයෙන් ඇවිල්ලා අමතක වෙලා යනවා. මොකද ඊට වඩා මාධ්‍ය වඩාත් උනන්දු වෙනවා මිනී මැරුමක් එහෙම තියෙනවා නම්. එහෙම නැතිනම් ස්ත්‍රී දූෂණයක් එහෙම තියෙනවා නම් එහෙම නැතිනම් තව මොකක් හරි විශේෂ සිද්ධියක් වෙලා තියෙනවා නම්. ඒ ගැන විශාල වාර්තාවක් ඉදිරිපත් කරන්නට පුළුවන් මිනිසුන්ගේ හිත තද ලෙස බැඳෙන විදිහට. පුවත්පතුත් මේවා වැඩි වැඩියෙන් ඉදිරිපත් කරනවා. අපිට මේක නිසා රටේ ජාතික සමගිය ඇති කරන්ට, මේ රටේ තියෙන වෛරක්කාර දේශපාලනය ඉවත් කරන්නට, රටේ සංවර්ධන වැඩපිළිවෙළ ගැන කතා කරන්න තියෙන, ජනතාව හා ලෝකයා ඉදිරියට ගෙන යන්ට මේ නිසා අපිට බැරි වෙලා තියෙනවා.

අපි ගමකට යනකොට නගරයකට ඇතුළු වෙන කොට මම දැකලා තියෙනවා බෝඩ් ගහලා තියෙනවා. පොලිසියෙන් ද නගර සභාවෙන් ද මම දන්නේ නැහැ. මේ ප්‍රදේශයේ රිය අනතුරු මෙපමණ සිදු වුණා. මේ ප්‍රදේශයේ සුලු අපරාධ මෙච්චර සිදු වුණා. මේ ප්‍රදේශයේ මිනී මැරුම් මෙච්චර වුණා. මාර්ග අනතුරු මෙච්චරයි. අපරාධ සංඛ්‍යාව මේ බෝඩ් එකේ තියෙනවා. එක පාරටම මරණය නගරයට ඇතුළු වුණා වගේ තමයි පෙනෙන්නේ. හැගෙන්නේ. බෝඩ් එක ගහලා තියෙන්නෙ ඒවා ගැන කියලා. අපි තමයි මේවා කරන්නෙ. වෙන කාටවත් දොස් කියන්න බැහැ. ඒත් මේ ප්‍රදේශයේ කුඹුරු අක්කර මෙච්චර තියෙනවා. මෙච්චර අස්වැන්නක් ලැබුණා.

අලුතින් මෙච්චර වාරිමාර්ග ක්‍රම ඇති වෙලා තියෙනවා. ප්‍රදේශයේ මේ වගේ සංවර්ධනයක් ඇති වෙලා තිබෙනවා. උපාධිධාරීන් මෙච්චර සංඛ්‍යාවක් ඉන්නවා. දිළිඳුකම මේ ප්‍රදේශයේ මේ ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙනවා. සුන්දර දේවල් පිළිබඳව විදේශිකයන්ට බලන්න පුළුවන් ස්ථාන ගැන අපේ සටහන් කිරීමක් නැහැ. අපි අපේ රට ගැන ආදරයක් මුලින්ම ඇති කරගන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා.

අපේ රටේ ඉපදෙන හැම මිනිහෙකුටම සිංහල විය හැකියි. දෙමළ විය හැකියි. මුස්ලිම් වෙන්නත් පුළුවන්. අපි එසේ ඉපදෙන හැම දරුවෙකුටම මේ මාතෘ භූ®මිය ගැන ආදරයක් ඇතිකරන ඒ වගේම මාතෘ භූ®මිය ගැන ආඩම්බරයක් ඇතිවෙන වැඩපිළිවෙළකට යා යුතුයි කියලයි විශ්වාස කරන්නේ.

පසුගිය දවසේ අපේ ගමේ පාරක් හදාගෙන ආවා. බොහොම පටු පාරක් තිබුණේ, ලුණුගම්වෙහෙරේ ඉඳලා. කෙටි පාරක්. මම කිහිප වතාවක්ම ගිහින් තියෙනවා. මැතිවරණ කාලේත්. ඊට පසුවත්. මම හිතුවා මේ පාර ටිකක් පළල් කරන්න ඕනේ කියලා. කොළඹ ඉඳලා එන අයට තණමල්විල හරහා ඇවිල්ලා ලුණුගම්වෙහෙරෙන් තණමල්විලට ඉතා ඉක්මනින් යන්න පාරක් කපන්න ලෑස්ති කළා. පාර පළල් කරලා හදාගෙන යනකොට පස් ගිහින් දැම්මම පස්වල තිබුණා මැණික්. මැණික් ඉල්ලමක් මතු වුණා.

ඉතාම දුප්පත් අහිංසකව ජීවත් වුණු මිනිසුන්ට. මේක ගමේ මිනිහාගේ වාසනාව වෙන්න පුළුවන්. මෙය රටේ වාසනාවත් වෙන්න පුළුවන්. පාරක් කපනකොට මැණික් හම්බ වෙනවයි කියන එක. නමුත් මොකක්ද වාර්තා වුණේ. අර ඉල්ලමට පොරකන මිනිස්සු. ජාවාරම්කාරයෝ ආපු හැටි. සමහර දේශපාලනඥයෝ ගිහින් මේවා අඩු මුදලට ගන්න හැටි. අවසාන වෙනකොට මිනිස්සු දෙස් දෙවොල් කියන මාතෘකාවක් බවට පත් වුණා. සමහර මාධ්‍යවල මේකට ආණ්ඩුවටත් චෝදනා කරනවා.

නමුත් මේකෙන් ආණ්ඩුවටත් පොඩි වාසියක් ආවා. මිලියන ගානකට ඉඩම් ටිකක් විකුණුනා. ඉඩම්වල මිලත් ඉහළ නැග්ගා. එහි වාසනාව හෝ එහි තියෙන ධනාත්මක මතවාදයට වඩා වෙනත් ස්වරූපයකින් තමයි ජනතාවට දෙන්නේ. මෙයින් බාල පරපුරකට දෙන පණිවුඩය කුමක්ද? අපි මැණික් මතු වුණු වාසනාවන්ත රටක ඉපදෙන්න පුළුවන් වාසනාවක් තියෙන මිනිස්සු.

මාධ්‍යය කොළඹ තිබුණු කුණු කන්දවල් ගැන කතා කළා. ඔරුගොඩවත්ත වේවා, මේවා ගැන කතා වෙනවා. දැන් නම් කුණු ගැන කතාවක් නැහැ. කුණු ගැන ලියපු පිරිසට මේ කොළඹ සුන්දරත්වය ගැන හැඟීමක් නැතිවද? ලියන තීන්ත පෑන කැරකෙන්නේ නැතිවද? කියලත් මට හිතෙනවා. දොස් කියනවා නොවෙයි, ඉඳලා හිටලා ලේක්හවුස් පුවත්පතේ වැටුණොත් කියනවා ආණ්ඩුවේ හොරණෑව කියලා. මේ ගැන අපි වෙන පැත්තකින් හිතන්න ඕනේ ගුණාත්මක විදිහට. කෘෂිකර්මය ගත්තොත් ලබා තිබෙන දියුණුව ගැන, ඒකට‍ ෙහ්තු වුණ ගොවි සහනාධාරය ගැන, මේවා තමයි කතා කළ යුත්තේ. ඒ තුළින් රට තුළට වඩාත් බලපෑමක් ලැබෙනවා.

එක පැත්තකින් ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ මුරබල්ලා වශයෙන් හඳුන්වනවා. ඒ සඳහා බය නැතිව කතා කරන මාධ්‍ය තිබෙනවා. අසාධාරණයට, අයුක්තියට එරෙහිව පෙනී සිටිනවා. එසේ පෙනී සිටිනවා වගේ තමන්ට යුතුකමක් තියෙනවා. සදාචාරයත්, ජනතාවගේත්, අනාගත පරපුරේත් හිස් හදන්න, අයුක්තියෙන් යුක්තිය, අධෛර්යයෙන් ධර්මය, අසත්‍යයෙන් සත්‍ය තෝරාගැනීමට ජනතාවට මඟපෙන්වීම මාධ්‍යයේ වගකීමක් බවයි මම හිතන්නේ. සරු දේ සරු හැටියටත් නිසරු දේ නිසරු හැටියටත් බැහැර කර ජනතාවටත් දිය යුතු බව මම විශ්වාස කරනවා.

ජනමාධ්‍යය දේශ සීමා අබිබවා යන බව ඔබ දන්නවා. දේශ සීමා අබිබවා ගියත් ඒවා කොහේ හෝ රටකට, ජනවර්ගයකට, කලාපයකට පක්‍ෂ බව අපි මතක තබාගන්න ඕනෑ. ඒක තමා දේශසීමා අභිභවා යන සත්‍යය. අපේ රට වගේ රටවල් ගැන ආසියාවේ, අප්‍රිකාවේ, අරාබිකරයේ රටවල් ගැන සත්‍ය මතයක් ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රචාරය වෙනවාද?

බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය තමන්ගේ රට වෙනුවෙන් බල කඳවුර වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවලට බලපෑම් කරන තරමට ගොඩනැගිලා තියෙනවා. මේ අමිහිරි සත්‍යයට අද ශ්‍රී ලාංකික ජනතාවටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

අපි ශ්‍රී ලංකා පොළොවේදී ත්‍රස්තවාදීන්ට විරුද්ධව කළ යුද්ධය ජය ගත්තා. පිටරටවල ඉඳලා තෑගි දීපු කොටි හඬ ගුවන් විදුලියත් අපි අල්ලා ගත්තා. නමුත් අපිට කොටි හඬ නිකුත් කරන කොටි පක්‍ෂපාතී මාධ්‍ය ආයතනවල හඬ යටපත් කරන්න බෑ. ඒක අපට ඇහෙනවා. ඒවායින් අදත් හෙටත් රට ගැන අසත්‍ය වපුරනවා. හැබැයි මේවායින් ලංකාව ගලවා ගැනීමේ දැවැන්ත වගකිමක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට, අපේ රටේ මාධ්‍යවේදීන්ට තියෙනවා. මේ අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු දීමෙන් පමණක් සෑහීමකට පත්වෙන්න අපට බෑ. අපි එතනින් ඔබ්බට ගිහින් රට පිළිබඳ සත්‍ය ප්‍රවෘත්ති ලෝකය පුරා පතුරවන්න කටයුතු කරන්න ඕනෑ. සමහර විට මේ අය කරන මට්ටමට කරන්න බැරි වෙයි. ඔවුන් විසින් කරන බලපෑම් නිසා.

අපිට තියෙන්නේ සත්‍ය පමණයි. ජනමාධ්‍යයට තියෙන ලොකුම බලය සත්‍යයේ බලය. ඒ සත්‍යයේ බලය පාවිච්චි කරලා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ නව මන්දිරයෙන් රටට සේවය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

දෙමළ බසින් කතා කරමින්,

සහෝදර දමිළ භාෂාවෙනුත් මම කතා කරන්න කැමතියි. නවීන පහසුකම් සමඟ සේවය කරන්නට යන ඔබ හැම දෙනාටම මම සුබ පතනවා. මාධ්‍ය හරහා හැම විටම අපි හොඳ දේම කරන්න ඕන. වැරදි විදියට ක්‍රියා කරන්න හොඳ නෑ.වැරදි, අඩුපාඩු ගැන සඳහන් කරනවා වගේම හොඳ දේ ගැනත් කියවෙන්න ඕන. රටේ දියුණුව ගැන, සංවර්ධනය ගැන, එහි යථාර්ථය ගැනත් ලියවෙන්න ඕන. කියවෙන්න ඕන. හරි දේ හරි විදියට ලබාදිය යුතුයි.

ඒක තමයි සාධාරණත්වය. ඒක තමයි සදාචාරය, ඒක තමයි සත්‍යය, කවදාවත් මේ දේ අමතක කරන්න එපා.

වැඩබලන ජනමාධ්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - අද ජනමාධ්‍ය අමාත්‍යාංශයට වැදගත් දවසක්. මේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අනුර ප්‍රියදර්ශන ඇමැතිවරයාව සිටියදී කැබිනට් පත්‍රිකා තුනක් මගින් තුන් වතාවකදී මිලියන 374 ක් වෙන්කර ගෙන ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ඉදිකළා. අද අපි සතුටු වෙනවා. මේ මධ්‍යස්ථානය තුළින් අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්, චිත්‍රපට ශාලා, අධ්‍යයන මධ්‍යස්ථාන අපිට ලැබෙනවා.

සුළු පහසුකම් මැද පුුහුණු වැඩසටහන් කළා. ඒ වගේම සාක් සමුළුව හොඳින් ආවරණය කළා. මාධ්‍ය ක්ලේමෝ බෝම්බයකට වඩා භයානකයි. ගොබෙල්ස් න්‍යාය භාවිතා කිරීම තුළින් පුද්ගල මතවාද වෙනස් කරන අතරම ජාත්‍යන්තර දේශපාලනය කණපිට හරවන්න පුළුවන්. මෙතන ඉන්න මාධ්‍ය ප්‍රධානීන්ට ස්තූ®තිවන්ත වෙනවා රට වෙනුවෙන් නිවැරදිව වගකීම ඉටුකිරීම ගැන. අභියෝගවලට මුහුණ දිය හැකි මාධ්‍ය සදාචාරය සුරකින පිරිසක් මෙතුළින් බිහිවෙයි.

අප කාටත් ස්වයං වාරණයක් තිබිය යුතුයි. මාධ්‍යයට පමණක් නොව දේශපාලකයන්ටත් එය අදාළයි. ජනාධිපතිතුමා යටතේ තමයි මෙතරම් විශාල මුදලක් වැය කර මෙය ඉදිකළේ.

පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර, අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල, ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර, රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණයන් 11 දෙනකුට සම්මාන ප්‍රදානය කළ අයුරු. සම්මාන ලබාගත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සිරිලාල් කොඩිකාර, තිස්ස ලියනසූරිය, සිරි තිලකසිරි, එල්මෝ ගුණරත්න, ශ්‍රියා රත්නකාර, එඩ්වින් ආරියදාස , ෆුරිකාන් බී. ඉෆ්තිකාර් , සට්සෝරුෆවතී නාදන් මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සුගතපාල සෙනරත් යාපා මහතා වෙනුවෙන් එම මහත්මිය හා ඩී. එෆ්. කාරියකරවන මහතා වෙනුවෙන් පුත් මුදිත යන මහත්ම මහත්මිහූ.

වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර යන මහත්වරු ද මෙහි වෙති.

ඡායාරූප - සුදත් සිල්වා

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා