ආබාධිත තත්ත්ව හා ස්ත්‍රීභාවය කුසලතා ජයග්‍රහණයට බාධාවක් නොවේ

ආබාධිත තත්ත්ව හා ස්ත්‍රීභාවය කුසලතා ජයග්‍රහණයට බාධාවක් නොවේ

- ඇමැති තිස්ස කරල්ලියද්ද

ආබාධිත තත්ත්ව හා ස්ත්‍රීභාවය කුසලතා ජයග්‍රහණයන්ට බාධාවක් නොවන බව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථලාභීන් දෙස බැලූ විට පැහැදිලි වන්නේ යැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා පැවැසීය.

මෙවර විභාගයේදී “ඒ” සාමාර්ථ 9ක් ලබා ගත් කලා විෂය ධාරාවෙන් හොරණ තක්ෂිලා මැදි විදුහලේ ඉගෙනුම ලැබූ උපතින් දෘෂ්‍යාබාධිත ශිෂ්‍යාවක් වන රිද්මි හඳපාන්ගොඩ ශිෂ්‍යාව සිහිපත් කළ ඒ මහතා ප්‍රකාශ කළේ එවැනි දරුවන්ට සමාජයේ සැලකිය යුතු ස්ථානයක් ලබා දිය යුතු බවයි.

ආබාධ සහිත පුද්ගලයන්ගේ ඒකාබද්ධ පෙරමුණ සංවිධානය විසින් රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ඊයේ (29) සංවිධානය කළ වැඩමුළුවට සහභාගී වූ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා, අමාත්‍යාංශ ලේකම් සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය ඇතුළු පිරිසක් මෙහි වෙති. ඡායාරූපය – වාසිත පටබැඳිගේ

ආබාධ සහිත පුද්ගලයන්ගේ ඒකාබද්ධ පෙරමුණ සංවිධානය විසින් රූපවාහිනී අභ්‍යාස ආයතනයේ පසුගියදා (29) සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී මේ අදහස් පළ කෙරිණ.

අමාත්‍යාංශය ඍජුවම එම ආබාධිත සුබසාධන කටයුතු සලසන ආයතනයක් නොවූවද ළමා සංවර්ධනය හා කාන්තා කටයුතු පිළිබඳ වගකිව යුතු අමාත්‍යාංශය ලෙස එවැනි ශාරීරික හෝ දෘශ්‍යාබාධිත තත්ත්වයට පත් වූ කාන්තාවන් කාන්තා සංවර්ධන වැඩපිළිවෙළ සඳහා දායක කර ගැනීමට කටයුතු කිරීමේ වගකීමක් ඇති බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

කාන්තාවන් දිරිගැන්වීමේ වැඩමුළු, කාන්තාවන්ට අතහිත දීම පිළිබඳව පුරුෂ පක්ෂය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වැඩමුළු, ස්වයං රැකියා උත්පාදන වැඩසටහන්, අධ්‍යාපන පහසුකම් හා ආබාධිත ප්‍රජාව භාවිතා කරන උපකරණ ලබා දීම ඇතුළු සුබසාධන වැඩසටහන් මේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ඇමැතිවරයා කීය.

යම් ලෙසකින් ආබාධිත තත්ත්වයට පත්ව ඇති කාන්තාවන් කෙරෙහි අනුකම්පාව නොව ආදරයෙන් හා පිළිගැන්ම තුළින් ඔවුන් දිරි ගැන්විය යුතු බව අමාත්‍යාංශ ලේකම් සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය පැවසුවාය.

කුසලතා දැක්වීම හා සමාජගත වීම සඳහා අවශ්‍ය ආකල්ප ඔවුන් තුළ ඇති බවත් සමාජයේ අදහස් වෙනස් විය යුතු බවත් රාහුබද්ධ මහත්මිය පවසයි.

ආබාධ සහිත පුද්ගලයන්ගේ ඒකාබද්ධ පෙරමුණ සංවිධානයේ ඬ;යීජිතයන් මේ අවස්ථාවට සහභාගී වූ අතර ආබාධිත පුද්ගලයන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව හා අවශ්‍ය උපකරණ අවම වීම, අඩු ආදායම්ලාභීන් වීම නිසා යාචක වෘත්තියේ යෙදීම, ස්වයං රැකියා අවස්ථා සඳහා අතහිත නොදීම වැනි ගැටලු පෙන්වා දුන් අතර ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ලබා දී ඔවුන් දිරිමත් කළ යුතු වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්හ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා