මේ දරුවන් වැඩදායි පුද්ගලයන් වූ දවසට මාගේ සතුට තවදුරටත් වැඩි වෙනවා

මේ දරුවන් වැඩදායි පුද්ගලයන් වූ දවසට මාගේ සතුට තවදුරටත් වැඩි වෙනවා

නොමේරූ ළදරුවන් ඇගයීමේ උළෙලේදී වෛද්‍ය රත්නසිරි කියයි

මවුපියන්ගේ සම්පත වන්නේ දරුවන් ය. දස මාසයක් කුස දරා සිට මෙලොවට නිරෝගී දරුවකු බිහි කිරීම සෑම මාපියකුගේම බලාපො‍රොත්තුවයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී මාපියන්ගේ එම බලාපොරොත්තුව සුන් වන අවස්ථා ද පවතියි.

නොමේරූ ළදරුවන් ලෙස උපත ලබා සාමාන්‍ය දරුවකුගේ මට්ටම දක්වා වර්ධනය වූ දරුවන්ගේ දක්ෂතා ඇගැයීම සඳහා උත්සවයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දි ඊයේ (20) පැවැත්විණි. එහිදී අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා දරුවකුට තිළිණ ප්‍රදානය කරන අයුරු.

නොමේරූ දරුවකු අඩු මාසයකින් මෙලොවට බිහි වන අවස්ථාව මවුපියන්ගේ දරු සිහිනය සුන් වන එවැනි අවස්ථාවකි. ඒ සිහිනය සුන් නොකර ඔවුන්ගේ දරු සිහිනය යථාර්ථයක් කිරීමට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ අධ්‍යක්ෂවරයා, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සිදු කරන මෙහෙය මෙපමණ යැයි කිව නොහැක.

එම රෝහලෙන් ප්‍රතිකාර ලැබූ නොමේරූ ළදරුවන් ඇගැයීමේ උත්සවයක් ඊයේ (20) රෝහල් පරිශ්‍රයේදි පැවැත්විණි. දරුවකු මවුකුස තුළ සති 36 ක් ‍හෝ 38 ක් සිටිය යුතු ය.

‍විවිධ ආබාධ තත්ත්වයන් නිසා දරු ගැබට සති 25 ක් වැනි කෙටි කාලයක් සම්පූර්ණ වීමේදි දරුවා මෙලොවට බිහි කිරීම සිදුවේ. එසේ බිහි කළ අවස්ථාවන්හිදී දරුවා වර්ධනය කිරීම සඳහා වීදුරු පෙට්ටියක මාස එක හමාරක් ‍හෝ ඊට වැඩි කාලයක් තැබීම සිදු කෙරේ. දරුවා වීදුරු පෙට්ටියක සිටිනවා දකින ඕනෑම පුද්ගලයකු‍ගේ නෙතගට කඳුළක් උනනවා නොඅනුමානය. එසේම එම දරුවා ජීවත් කළ හැකිද යන්න මවුපියන්ට පවා අවිශ්වාස වන මොහොතකදී දෙවිවරුන් වැනි වෛද්‍යවරුන් දරුවා ජීවත් කිරීමට ගන්නා වෙහෙස අගය කළ යුතුම ය.

නොමේරූ ළදරුවන්‍ ලෙස මෙලොව එළිය දුටු දරුවන් රැසක් ඔවු‍න්ගේ විවිධ දක්ෂතා නිරූපණය කරමින් විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීම ද ඊයේ සිදු කෙරිණි.

මවුපියන්ගේ පමණක් නොව රෝහල් කාර්ය මණ්ඩලයේ ද නෙතගට කඳුළක් එක්කරන නැටුම්, ගැයුම් ඒ අතර විය. ඔවු‍න්ගේ පෞරුෂ වර්ධනය මේ ප්‍රසංගයේ අරමුණ වී තිබේ.

එසේම ඔවුන්ගේ සුවදුක් විමසීම ද ‍මේ උත්සවයේදී සිදුකෙරිණි දරුවන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන් සතුටු කිරීම සඳහා ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදුකෙරිණ.

‍මේ දරුවන් සාමාන්‍ය දරුවන්‍‍ ලෙස සමාජයට දායාද කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කරනු ලබන සේවාව පිටුපස සංවේදි හා සංකීර්ණ කතාවක් පවතියි. එම දරුවන්ගේ වර්තමාන ක්‍රියාකාරිත්වය දකින අපට සෞඛ්‍ය සේවාවේ වංශ කතාව පිළිබඳ අදහසක් ගත හැකිය.

සෞඛ්‍ය සේවාවෙන් සිදුකරන සේවාව කුමක්ද කියා තවදුරටත් ‍ප්‍රශ්න කිරීමට අවශ්‍ය නොවන බව, මේ උත්සවයට සහභාගි වීමෙන් අපට හැඟිණ.

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මිල කළ නොහැකි මුදලක් වැය කරමින් දරුවන්‍ට ලබාදෙන සේවාව සැබැවින්ම විස්මිත ය.

‍මේ දරුවන් රටේ අනාගතය බාර ගනිමින් රටට වැඩදායී පුද්ගලයන් වූ දවසට තමන්ගේ සතුට තවදුරටත් වැඩි වන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා මේ අවස්ථාවට සහභාගි වෙමින් පැවැසීය.

‍සෞඛ්‍ය අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ විශේෂඥ වෛද්‍ය රම්‍යා ද සිල්වා මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා