කායවර්ධන ශූර රුවන් ලක්මව රනින් සරසයි

කායවර්ධන ශූර රුවන් ලක්මව රනින් සරසයි

වසර 63ක ශ්‍රී ලාංකේය කායවර්ධන ඉතිහාසයේ පෙරළිකාර සටහනක් තැබූ විජේසිංහ ආරච්චිලාගේ සංජීව රුවන් කුමාර ආසියානු රන් පදක්කමක් මුල්වරට දිනා ශ්‍රී ලංකා නාමය රනින් බැබලුවේය.

අනේකවිධ අපහසුකම් මැද තම ඉලක්කය කරා අධිෂ්ඨානශීලීව ගමන්ගත් 30 හැවිරිදි මේ තරුණයා ආසියාවේ දැවැන්තයන් ශ්‍රී ලංකා ධජය ඉදිරියේ පරාජයට පත් කළේය. මුදලින් සවි ශක්තියෙන් හා පහසුකම් අතින් බෝහෝ ඉදරියෙන් සිටි ආසියාවේ දේහධාරී අයෝමය පුරුෂයන් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ “පුංචි කොල්ලාට” හැකිවූයේ තම කායබලය හා මාංශ පේෂී කලාත්මක ඒකමිතියකට පත්කරගෙන තිබූ හෙයිනි.

ඔහුගේ මාංශ පේශී දේහ ලක්ෂණ නිත්‍ය පිළිවෙතක් මත තාක්ෂණික හැසිරීම් රටාවකට අනුගතකොට තිබූ නිසා ජූරියේ විශිෂ්ටතම අවධානය යොමු විය.රටවල් 27කින් ක්‍රීඩකයන් 170ක් සහභාගි වූ ආසියානු අයෝමය පුරුෂයා තේරීමේ හා යෝග්‍යතා ශූරතාවලියේ කිලෝග්‍රෑම් 65 බර පන්තියේ” රන් පදක්කම දිනාගත් සංජීව රුවන් කුමාර ඉරානයේ අයෝමය ශූරයා හා කසකස්තානයේ ප්‍රබලයා පරාජයට පත් කළේ වාර්තාගත ලෙසය.

“අවුරුදු 63කට පසුව ශ්‍රී ලංකාවට ආසියාවේ මුල්ම රන් පදක්කම දිනා දීමට හැකිවීම සිහිනයක් සැබෑවීමක් වගෙයි. මගේ ඉලක්කය මා ජය ගත්තා. මට දැන් තියෙන්නේ ලබන නොවැම්බරයේ ලෝක ශූරතාවලිය නියෝජනය කර ජයක් ලබන්නයි.” රුවන් කුමාර අධිෂ්ඨානශීලීව පැවැසීය. ඒ උදාර අරමුණ ජය ගැනීමට තවත් කැපවී පුහුණුවීම් කිරීමට හෙතෙම බලාපොරොත්තු වේ.

“මට දැන් විදෙස් පුහුණුවක් අවශ්‍යයි. ඒකට අනුග්‍රහයක් බලාපොරොත්තු වෙනවා. විදෙස් පුහුණුකරුවෙකුගේ අත්දැකීම් හා උපදේශ තුළින් මගේ හැකියාව වැඩි දියුණු කරගෙන ලෝක මට්ටමේ පදක්කමක් දිනා ගැනීමට සැමගේ උදව් අවශ්‍යයි.” ආසියානු රන් පදක්කම්ලාභී රුවන් කුමාර හැඟීම්බරව පැවැසීය.

“ආසියානු අයෝමය ශූරයා තේරීමේ තරගයේදී මා අතින් පරාජයට පත්වූයේ දැවැන්ත ක්‍රීඩකයන්. ඒ අයගේ පෝෂණය තාක්ෂණය අපට වඩා හැම අතින්ම උසස්, පසුගිය වසරකට වඩා කාලයක් මා කැපවී කටයුතු කළා. ඒක ජයග්‍රහණයේ එකම රහසයි” රුවන් කුමාර පැවැසීය. ආසියානු රන් කිරුළ දිනා ගැනීමට පෙර ඔහු ඩුබායිහී ජාතික පුහුණුකරු මොහොමඩ් අල් යටතේ පුහුණුව ලැබීය.

කායවර්ධන ශූර සංජීව
ජායාරූපය මහින්ද විතානාච්චි

රුවන් කුමාරගේ වත්මන් පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්නේ පැට්‍රික් රාජපක්ෂ හා ඉන්දික ප්‍රනාන්දු යන මහත්වරුය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ආසියානු අයෝමය ශූරයා වෙන්නප්පුව ජෝෂප් වාස් හා පහළ මඩම්පැල්ල කනිටු විදුහලෙන් අධ්‍යාපනය හැදෑරුවේය. “මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි.

කායවර්ධන ක්‍රීඩාවට ආදරය නිසා ලැබෙන මුළු පඩියම පුහුණුවීම්වලට වියදම් කරනවා. අම්මා තාත්තා නංගි මගේ ජයග්‍රහණයේ සෙවනැල්ලක් බඳුයි. කාය වර්ධන ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර තරගාවලියකට යන්න පෙර මාසයේදී ලක්ෂ 2ක් පමණ විටමින් පෝෂණ ආහාරවලට වැය කළ යුතුයි.

ඒ සෑම ආර්ථික අභියෝගයක්ම මා ජය ගත්තේ ජයග්‍රහණයට ඇති ඕනෑකම නිසයි” ඔහු අතීතය සිහිපත් කළේය. වසර 1998 සිට අඛණ්ඩව පාසල් අයෝමය ශූරයා වූ ඔහු 2001 දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් ලාභියා වේ. මිස්ටර් ශ්‍රී ලංකා අයෝමය ශූරයා හා මාතර ටොප් 20 ශූරයා ලෙස කිරුළ පැලදි ඔහු රටවල් 10ක විදෙස් තරගාවලි නියෝජනය කළේය.

“මා මුලින්ම පුහුණුවීම් කළේ කටාන පවර් මෑන් එකේ දයා චමිල, සමන් නිශ්ශංක, පැට්‍රික් රාජපක්ෂ මුලින්ම මට උදව් කළා. නාවික හමුදාවට සම්බන්ධ කළේ ටියුඩර් විජේසූරිය මහතායි. නාවික හමුදාවේ පුහුණුකරු ඩබ්ලිව්.එල්. චන්ද්‍රසිරි මහතා මට ගොඩක් උදව් කරනවා. ඒ වගේම කමල්ඩීන් මහතා ඇතුළු මිතුරන් රාශියකගේ උදව් මට ලැබුණා.

නම් සඳහන් නොවූ බොහෝ දෙනා මගේ ජයග්‍රහණයේ උදව් කරුවන් ලෙස සිටියා. ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා හා නාවික හමුදාපති ඇතුළු සියලු දෙනාට මගේ ජයග්‍රහණයේ ගෞරවය හිමිවිය යුතුයි. කායවර්ධන සම්මේලනයේ කපිල කුමාර මහතා මට විශාල ශක්තියක්. දැන් සම්මේලනය නිවැරදි මාවතක ගෙනයන සියලු නිලධාරීන්ටත් ක්‍රීඩා ඇමැතිතුමාටත් මා ස්තූතිය පුදකරනවා.” ආසියානු අයෝමය ශූරයා කෘතවේදීත්වය පළ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා