ශ්‍රී ලංකා-පාකිස්තාන දෙවැනි එක්දින ගැටුම අද

ශ්‍රී ලංකා-පාකිස්තාන දෙවැනි එක්දින ගැටුම අද

ජයග්‍රහණය ලබා ගැනීමේ ආශාව මෙන්ම එය අත්කර ගැනීමේ උනන්දුව වහාම ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව උත්සුක නොවුවහොත් පාකිස්තානය සමග අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගය පමණක් නොව සෙසු තරග ත්‍රිත්වයේද පරාජයේ නීරස විඳින්නට මහේල ජයවර්ධනගේ කණ්ඩායමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව ජගත් ක්‍රිකට් ලොවේ සුපිරි කණ්ඩායමක් බවට පත්වීමට පන්නරයක්ව එදා තිබූ ජයග්‍රාහී ඉව අද කණ්ඩායමෙන් තුරන්ව ගොස් ඇති සෙයකි. විශේෂයෙන් පළපුරුදු පිතිකරුවන් අද පිත්ත හසුරුවන්නේ ඕනෑවට එපාවට මෙනි.

එය, පාකිස්තානයට එරෙහිව මෙතෙක් පැවැති විස්සයි20 ද්විත්ව තරගමාලාවේදී මෙන්ම පෙරේදා පැවැති පළමු ජාත්‍යන්තර එක්දින තරගයේදීද මනාව ප්‍රදර්ශනය විනි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් උන්මාදයට පත්ව සිටින මෙරට ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙක් සමහරවිට සැතපුම් සිය ගණන් ගෙවාගෙන සූරියවැවට යන්නේත්, පල්ලෙකැලේට එන්නේත් තමන් ඉතාමත් ආදරය කරන, තමන්ගේ වීරයන් වන ජනප්‍රිය ක්‍රීඩකයන්ගේ හපන්කම් දැක බලාගෙන ආඩම්බර වීමේ බලාපොරොත්තු වෙනි.

එසේ පැමිණෙන ඔවුනට දිස්වන්නේ මහේලලා, ඩිල්ෂාන්ලා, සංගාලාගේ කිසිම වගකීමකින් තොර පිතිකරණයකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සමහරු ක්‍රීඩා කරන විලාශය අනුව ඔවුන් අකමැත්තෙන් හෝ බලෙන් ක්‍රීඩා කරනවාද යන සැකයක් කෙනෙකු තුළ ඇතිවන්නට ඉඩ තිබේ.

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව මෙතෙක් පැවැති තරග තුනේදීම ශ්‍රී ලංකා පිතිකරුවෝ දැඩි ලෙස අසාර්ථක වූහ. යම් තරමින් හෝ ප්‍රගතියක් පෙන්නුම් කර ඇත්තේ මැද පෙළ පිතිකරු ලහිරු තිරිමාන්න පමණි. ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණිය මෙතෙක් ඔවුන්ගේ කාර්යය සාර්ථකව ඉටුකර තිබේ.

පාකිස්තානය සමග පළමු විස්සයි20 තරගයේදී ඔවුන් ලකුණු 95කටත්, දෙවැනි තරගයේදී ලකුණු 122කටත් සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ මෙවර ශ්‍රී ලංකා සංචාරයේ ඔවුන් මුහුණ දුන් පළමු තරගයෙන්ම (විස්සයි20) ලත් පරාජයෙන් පසුව පාකිස්තාන කඳවුරෙන් දිස්වූයේ පරවුණු මල් වැනි මුහුණු ය.

එහෙත්, දෙවැනි විස්සයි20 තරගය හා තරග පහකින් සමන්විත එක්දින තරගමාලාවේ පළමුවැන්න ජය ගැනීමෙන් පසුව පාකිස්තානුවෝ දැන් ජයග්‍රහණය ම ඉව අල්ලමින් සිටිති. එය වෙනතකට යොමු කිරීමට මහේලගේ කණ්ඩායම අද සිට සමත් වනු ඇතැයි යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රජාවගේ මේ මොහොතේ අපේක්ෂාව වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා