නැදුරන පවුල් 30ක් මහවිට ඇළෙන් එගොඩ-මෙගොඩ වෙන පාලම අබලන්

නැදුරන පවුල් 30ක් මහවිට ඇළෙන් එගොඩ-මෙගොඩ වෙන පාලම අබලන්

පැති බැම්මක් කැඩිලා යකඩ ඇඳී ගැලවිලා

ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැදුරන ගේපිටක්කනහේන්යාය ප්‍රදේශයේ පවුල් 30 කට පමණ යාමට තිබෙන මහපිට ඇළ හරහා ඇති පාලම අබලන්වීම හේතුවෙන් එහි අනතුරු දායක තත්ත්වයක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

වසර 25ක් පමණ ඉපැරැණි මේ පාලමේ එක් පැති බැම්මක කළුගල් බැම්ම කඩා වැටී තිබේ. එසේම පාලමේ එක් යකඩ ඇන්දක්ද ගැලවී ඇත.

මේ පාලම කඩා වැටුණොත් ජනතාවට එගොඩ මෙගොඩ වීමට නොහැකි වනු ඇත. ප්‍රදේශවාසීහු මෙසේ කීය.

ප්‍රියංකා දීපානි මහත්මිය

මේ පාලම කාලයක සිටම අබලන් වෙලා කොයි වෙලාවක කඩා වැටේ දැයි කියන්න බැහැ. මේ ප්‍රදේශයේ පවුල් 30 ක් පමණ වෙසෙනවා. ඒ හැමෝම යන්නෙ එන්නෙ මේ පාලමෙන්. අනෙක ගංවතුර ගැලුවොත් මේ පළාතම යට වෙනවා. දින 2 - 3 ක් විතර වතුර රැඳී තියෙනවා. ඒකට හේතුව මේ ඇළ කැලෑවෙන් වැහිලා. ඇළ පිළිසකර කරන්නේ නැහැ. ඒ නිසා යට වෙනවා. ඇළ පිළිසකර කරනවා නම් මේ ප්‍රදේශය යට වෙන්නෙ නැහැ.

මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

එස්. එම්. ඥාානවතී මහත්මිය

කොහොම හරි මේ පාලම හදල පාරත් හදල දෙන්න කියල තමයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ ප්‍රදේශයේ ඉන්න අපි හරි දුප්පත්. කුලී වැඩ කරල තමයි ජීවත් වෙන්නෙ.

යු. කේ. නිලන්ති මහත්මිය

අපේ ගමට ත්‍රිවිල් එකක් වත් එන්න බැහැ. අඩි හයකවත් පාරක් වෙන් කරල දීල පාලමත් හොඳට හදල දුන්නොත් වටිනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා