සිරකරුවෝ ද මනුෂ්‍යයෝය

සිරකරුවෝ ද මනුෂ්‍යයෝය

වැලිකඩ බන්ධනාගාර ඉදිරියෙන් යන ඕනෑම අයකුට එහි තාප්පයේ සඳහන් “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” යන පාඨය දැකිය හැකිය. මෙම පාඨය කියවන අය තම තමන්ට හැඟෙන පරිදි අර්ථ නිරූපනය කර ගන්නවා ඇත. සත්‍ය වශයෙන්ම සිරගෙවල්වල සිටින්නේ මිනිසුන් බව පාසල් දරුවන් පවා දන්නා කරුණකි. ඔවුන් සිරගෙවල් වලටවී සිටින්නේ මිනිසුන් වීම නිසා නොවේ.

ජීවිතයේ යම් අවස්ථාවක තමා ජීවත් වන සමාජයෙන් පුද්ගලයින්ට හා දේපළ වලට එරෙහිව, රටේ පොදු නීතිය හමුවේ වරදකාරී හැසිරීමක නිරත වූ නිසාය. රටේ පිළිගත් නීතිය ඉදිරියේ ඔවුන් වරදකරුවන් වීම නිසා දඬුවමක් වශයෙන් සිරගෙට නියම කර ඇත.

විවිධ තරාතිරම්වල මිනිසුන් මේ සිර ගෙදරදී අපට හමුවේ. ගැහැනුන් ද පිරිමින් ද, තරුණයින් ද මහල්ලන් ද, ගිහියන් ද පැවිද්දන් ද, උගතුන් ද, නූගතුන් ද, දුප්පතුන් ද පොහොසතුන් ද, සාමාන්‍ය ජනයා ද ප්‍රභූවරුන් ද, විවිධ වෘත්තිකයන් ද, කලාකරුවන් ද, සිරගෙදර දී අපට හමු වනු ඇත. එපමණක් නොව පුරුද්දක් වශයෙන් සමාජ අපචාරවල යෙදෙන්නන් ද ප්‍රථම වතාවට සිදු වූ වරදක් නිසා සිරගත වූවන් ද මෙහි ඇත. තමා අතින් සිදු වූ වරද ගැන මොවුන්ගෙන් වැඩි දෙනෙක් පසු තැවෙති.

සිරකරුවන් දෙස අප සමාජය බලන්නේ කුමන දෘෂ්ඨියකින් ද යන්න ඉතා වැදගත්ය. සිරකරුවා යනු ඉතා පහත්, නින්දිත ගැරහිය යුතු, භයානක එමෙන්ම සමාජයෙන් වෙන්කර තැබිය යුතු අයකු යයි බොහෝ විට අපට සිතේ. ඇතැම් විට අධිකරණය මගින් දෙන ලද දඬුවම ප්‍රමාණවත් නැතැයි තර්ක කරන අවස්ථා ද ඇත. “උන්ට ඔහොම කරල මදි” , “එල්ලලා මරන්ට ඕන”, “රජකාලයේ දඬුවම් තමයි දෙන්න ඕන”, “මැදපෙරදිග වගේ අතපය කපල දැම්මොත් හරි”, වැනි කියමන් නිතර අසන්නට ලැබේ. “පව් කාරයිින්ට ගල් ගසා මරා දැමීමේ” චින්තනය සමාජ ගත වී ඇතිබව එයින් පෙනේ.

බුදුදහම පදනම් කරගත් මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව ගරු කරන සමාජයක එවැනි මත වාදයන් සමාජගත වන්නේ ඇයි?. සිරකරුවන් ගැන එවැනි මතයක් සමාජගත වීම පිළිබඳ එක් අතකට පුදුමයක් නැත. වඩා සාධාරණ, නීතිගරුක, සාමකාමී අහිංසක දිවිපැවැත්මකට පොදු ජනයා ඇලුම් කරයි. ප්‍රභාකරන් මිය ගිය දවසේ මුළු රටම උද්දාමයට පත් වූයේ ඔහු මිය ගිය සතුට නිසා නොව, එතෙක් පැවති ප්‍රචණ්ඩකාරී භීෂණ යුගය අවසන් වී සාමය උදා කරගැනීමට හැකි වූ නිසාය.

අතීතය සමඟ සසඳා බලන විට වර්තමානයේ දී වාර්තා වන අපරාධ සංඛ්‍යාව වැඩි බව පොදු ජන අදහසයි. එපමණක් නොව මේ අපරාධවල කෲරත්වය හා සාපරාධී බවද වැඩිය. ළමයින්, කාන්තාවන් හා වැඩිහිටියන් වැනි සමාජයේ අනුකම්පාව දිනා ගත් කණ්ඩායම්වලට සිදුවන අපරාධ වැඩිබව පෙනෙන්නට තිබේ.

ඉතා සුළු කරුණකට පවා පවුල් පිටින් කපා කොටා දේපළ ගිනිතබා විනාශ කිරීමට පෙලඹී ඇත. එදා දේවාලයට ගොස් පොල්ගසා, දෙස් දෙවොල් තියා, කට්ටඩි හූනියම් ආදී ගුරුකම් කළ අය අද කුලියට මිනී මරන්නන් සොයා යන බව පෙනේ. සමාජය මෙතැනට පත් වූයේ දශක දෙක තුනක කෙටි කාලයක් තුලදීය.

1980න් පසුව සමාජ සාරධර්මත්, එම හර පද්ධතිය සමාජගත කළ වැඩිහිටි ප්‍රජාවක් “ගල් කටස් තුවක්කු” වල ගොඳුරු බවට පත් විය. කොළඹ උගතුන්ගේ නීති සංශෝධන මඟින් වෙල් විදානේලා අහිමි වූයේ කෘෂිකර්මාන්තයට හා වාරි කර්මාන්තයට පමණක් නොවේ. වෙල් විදානේ ක්‍රමය අහෝසිකර වගා නිලධාරීන් පත්කළ පමණින් වෙල් විදානේගෙන් සමාජයට ලැබුණු නායකත්වයේ අඩුව සම්පූර්ණ වූයේ නැත.

ගමේ ගම් සභා නියෝජිත හෙවත් ‘මැම්බර්’ මහතා වෙනුවට ග්‍රාමෝදය මණ්ඩල සභාපති, ගමට ආවේය. දේශපාලන වශයෙන් ඔහු බොහෝ විට අපක්ෂපාතී චරිතයක් ලෙස සමාජය පිළිගත්තේ නැත. 89 තරුණයින්ගේ ගල් කටස් තුවක්කුවේ ඉලක්කය බවට ඔවුන් පත් වූ බව දනිමු. ක්‍රමානුකූලව සිදු වූ සමාජ ආර්ථික විපර්යාසය සමඟ ඇති වූ සංස්කෘතික සෝදා පාළුව නිසා ඉතා කටුක අද්දැකීීම් වලට මුහුණ දීමට සිදු වී ඇත. මේ නිසා පව්කාරයින්ට ගල් ගසා මරා දැමිය යුතුයි. යන තැනට පොදු ජන මතය ගොඩ නැගීම ගැන පුදුම විය යුතු නැත.

ඇතැමුන් සිරකරුවන් දෙස පමණක් නොව සිරකරුවන් වෙනුවෙන් රාජකාරි කරන නිලධාරීන් හා ආයතන දෙස ද පිළිකුල් සහගතව බලන්නට පුරුදු වී ඇත. එබඳු පු්දගලයින් “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” යන කියමන කෙසේ අර්ථ දක්වනවා ඇද්දැයි සිතා ගැනීමට අපහසු නැත.

රටේ නීතිය පසිඳලන උත්තරීතර ආයතනය වන අධිකරණය විසින් දෙනු ලබන නියෝග මත සිර දඬුවම් ලබන වරද කරුවන් භාර ගන්නා එකම ආයතනය හිරගෙදරයි. සුළු වරද කරුවන්ගේ සිට ඉතා දරුණු අපරාධ කරුවා දක්වා සියළු සිරකරුවන් බන්ධනාගාර නිලධාරියාගේ අණසකට යටත්ය.

සිරකරුවන් භාරයේ තබා ගැනීමත්, ඔවුන්ගේ ආරක්ෂාව හා රැකවරණය ලබා දීමත් නිවැරදි කිරීමත් බන්ධනාගාර නිලධාරියාගේ වගකීම වේ. පුද්ගලයන් සිරගත කළ පමණින් ඔහු සමාජයට අයත් නැතැයි කිසිවෙකුටත් කිව නොහැකිය. දඬුවම් කාලය අවසානයේ යළි සමාජයට ඒමට සිරකරුවන්ගෙන් වැඩි පිරිසකට අවස්ථාව ලැබේ. ඔහුද මේ සමාජයටම අයිති සාමාජිකයෙකි. ඔහු පෙරලා සමාජයට එන විට නැවතත් වැරදි කරන්නෙකු ලෙස නොව යහපත් පුරවැසියකු ලෙස එනවා දැකීම පොදු ජනයාගේ කැමැත්තයි.

පුද්ගලයින් වැරදි කරන්නේ ඔවුන්ගේම වැරදි නිසා නොවේ. සමාජය විසින් ද වැරැද්දට බලපාන පරිසරය හා සාධක සපයයි. ඒ නිසා සමාජයට ඒ වගකීමෙන් මිදිය නොහැකිය. කෙසේ වුණ ද අවසානයේ දී පුද්ගලයන් බන්ධනාගාර ගත වන්නේ ඔවුන්ගේ ම වැරදි චර්යාවේ ප්‍රතිඵලයක් නිසාය.

සෑම චර්යාවක්ම උගත් චර්යාවක් බවත්, එම චර්යාවන් හා පුරුදු සමාජයෙන් හා පරිසරයෙන් ලැබෙන උත්තේජක හා උපස්ථම්භකවලට ප්‍රතිචාර වශයෙන් ඇතිකර ගන්නා බවත් පුද්ගල ප්‍රජානනයේ ඇති දෝෂ මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවත් චර්යාවාදී මනෝ විද්‍යාඥයන්ගේ ඉගැන්වීමයි.

සමාජ සංවර්ධනයේ ලා වගකිව යුතු පුද්ගලයින් ආයතන හා සංවිධාන සිය වගකීම හා යුතුකම නිසිලෙස ඉටු නොකිරීම නිසා ළමා කාලයේ සිටම එම පුද්ගලයන් වැරදි චර්යා ඉගැනුම් ලැබීමට පෙළඹේ. විශේෂයෙන් ;දමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්, පූජකවරුන්, හා උගතුන් කේවල වශයෙන් සමාජ පරිහානියට මෙන්ම පුද්ගලයන්ගේ වැරදි චර්යා පුරුදු වලට වගකිව යුතුයි. මේ පිරිස පසු පස යන අනුගාමික පිරිසක් හා දෙවන පෙල කණ්ඩායමක් ද ඇත. ඒ නිසා තමන් පසු පස එන කණ්ඩායමට නිවැරදිව මග කියා දීම පූර්ව ගාමීන්ගේ වගකීමයි.

මෙහිලා අවවාද දීම පමණක් ප්‍රමාණවත් නොවේ. ආදර්ශයෙන් ද මග පෙන්වීම ලබා දිය යුතුයි. වර්තමානයේ ඇති ප්‍රධානම සමාජ ගැටළුව පරමාදර්ශී චරිත සමාජයේ කුමන තලයක වුව ද දක්නට නොමැති වීමයි. “ඔවා දෙනු පරහට – තමා සම්මතෙහි පිහිටා සිට” යන මසුරන් කියමන අමතක කොට “ඔවා දෙති මේ අය තමා අසම්මතෙහිම පිහිටා සැමවිට”.

රුපියල් සත මත කරකැවෙන යාන්ත්‍රික ජීවිතය හමුවේ යුතුකම්, වගකීම් පැහැර හරින දෙමාපියන් තම දරුවන් රොබෝ මිනිසුන් ලෙස සමාජ ගත කිරීමට දායක වී අවසානය. වැරදි චර්යාවලට දරුවන් පොළඹවන, එවැනි දරුවන් තම බලය පෙන්නා නීතියෙන් හා සමාජයෙන් ආරක්ෂා කරන දෙමාපියන් ගැන පුවත්පත් වාර්තා කොතෙකුත් ඇත.

විෂය බාහිර දැනුමෙන් ආඪ්‍ය ආදර්ශමත් ගුරු පෞරුෂයක හිදැසක් ගුරු භූමිකාව තුලත් පාසල් පද්ධතිය හරහාත් අපි දකිමු. එදා පැවති මා හැඟි ගුරුගෝල සබඳතාව ඉතා ඛේදනීය ලෙස බිඳ වැටී ඇත.

සමාජ හර පද්ධතිය පෝෂණය කිරීමෙහිලා විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා සංවිධානවලට ද වගකීමක් ඇත. පුද්ගලයින්ගේ ප්‍රජානනමය හා චර්යාමය වෙනසක් ඇති කිරීමට මේ ආයතන වලට විශාල කාර්ය භාරයක් කළ හැකිය. ප්‍රජානනය යනු පුද්ගලයකුගේ සිතුවිලි ක්‍රියාත්මක වන ආකාරයයි. දැනුම, බුද්ධිය, මතකය, අද්දැකීම්, විශ්වාසය අනුව සිතුවිලි ක්‍රියාත්මක වේ. මේ අනුව බලන විට රටට වැඩදායක පුරවැසියන් බිහි කිරීමේ වගකීම සමාජය සතුය.

එම වගකීම පැහැර හැරීම හේතුවෙන් මුළුසමාජයම සකලවිධ ව්‍යාධීන්ගෙන් පෙළේ. එබඳු සමාජයකින් බිහිවන පුද්ගලයින් තමා බිහිකල සමාජයට එරෙහිව අපගාමී චර්යාවන්හි නිරත වන විට නීතියේ ආවරණය ලබා ගෙන සමාජයෙන් වෙන්කර “හිරගෙදරට” යවන්නෙමු. පුද්ගලයකු කළ වරදකට සිරගත කළ පමණින් ඔහු වැරදි චර්යා වලින් මිදෙන්නේ නැත. අධිකරණමය කාර්ය එතෙකින් අවසන්වුවත් චරිත සංශෝධන කාර්ය අවසන්වී හෝ ආරම්භවී නැත.

ඔහු ඒ සඳහා සූදානම් කළ යුතුය. ජීවිතයේ වැරදුණු තැන් නිවැරදි කර ගැනීමට අවකාශ සැළසිය යුතුය. මග පෙන්විය යුතුය. ආධ්‍යාත්මිකව, මානසිකව හා කායිකව ඔහු සංවර්ධනය කිරීමට නිශ්චිත “ උපදේශනමය” වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුය.

සමාජයේ පුරුදු කරගත් චර්යාවන් අනුව ඔහු හිරගෙදරදී ඇතැම් විට හැසිරෙයි. ඔහු හිතන ආකාරය වෙනස් කරන තුරු ඔහු හිතන්නේ මෙතෙක් උගත් ආකාරටය. එබැවින් හිර ගෙදරදී සිර කරුවන් කරන සියළු වැරදි ක්‍රියාවලට හිර ගෙදරටම වගකීම පැවරීමට ඉක්මන් නොවිය යුතුය. අප කළ යුත්තේ මේ මිනිසුන්ට තම ජීවිතය නිවැරදි කර ගැනීමට සහය වීමයි.

මේ රටේ විද්වතුන්ට සමාජ සේවකයන්ට, දානපතියන්ට, පූජකවරුන්ට මේ සඳහා කළ හැකි කාර්ය භාරය අති විශාලය. බන්ධනාගාර නිලධාරීන්ට ඒ සඳහා තනිවම කළ හැකි දේ ඉතා අල්ප ය. බන්ධනාගාර නිලධාරියා හා පොලිස් නිලධාරියා තරම් මානසික පීඩනයට ලක් වූ නිලධාරීන් පිරිසක් රාජ්‍ය සේවයේ නැති තරම්ය. මේ නිලධාරීන්ගෙන් උපරිමය බලාපොරොත්තු වන්නේ ඔවුනට අවශ්‍ය අවමය වත් ලබා දීමෙන් පසුව දැයි සිතා බැලීම වටී.

එබැවින් සමාජ උන්නතිය උදෙසා වගකීම ඇති අප “සිරකරුවා” ද මනුෂ්‍යයකු බව වටහා ගෙන ඔවුන් යළි නිවැරදි මිනිසුන් ලෙස සමාජ ගත ඛ්ලමට හැකි පමණින් දායක වෙමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා