මගේ පන්හිඳේ නරක සිතිවිලි නෑ

මගේ පන්හිඳේ නරක සිතිවිලි නෑ

තිස් වසරක කුරිරු යුද්ධය රටම වෙළාගෙන ජනතාව අපමණ දුක්ක දොම්නස්වලට පත්කරමින් තිබියදී, අපේ වීරෝධාර රණවිරුවෝ සිය ඇස්, ඉස්,මස්, ලේ මෙන් ම, ජීවිත ද පරිත්‍යාග කරමින් ශාපලත් ත්‍රස්තවාදයෙන් උතුරු-නැඟෙනහිර ඇතුළු මුළු රටම නිදහස් කරගත්හ. ඉනික්බිති පශ්චාත් යුද සමයක, ප්‍රවීණ මාධ්‍යවේදි සුගතපාල මැන්දිස් මහතා විසින් නැ‍ෙඟනහිර කළ සංචාරයෙන් පසු එහි අතීත ශ්‍රි විභූතිය, ඓතිහාසික නටබුන්, ස්මාරක හා පූජනීය ස්ථාන පිළිබඳ ලියා පළකළ ගවේෂණාත්මක කෘතිය ‘යුද්දෙන් පස්සේ’ පසුගියදා එළිදැක්විණි. මේ කතාබහ ඒ නිමිත්තෙනි.

බොහෝ ලේඛකයන් යුද්ධය හෝ යුද්ධයේදි ඇති වු සිද්ධී පාදක කරගනිමින් පොත් ලියද්දි, ඔබ ඉන් ඔබ්බට යමින් ‘යුද්දෙන් පස්සේ’ නමින් පොතක් ලියනවා. එවැනි පොතක් ලියන්න තීරණය කළේ ඇයි?

යුද්ධය අවසන් වීමෙන් පස්සේ උතුරු - නැඟෙනහිර ප්‍රදේශවල සංචාරය කරද්දි මට හිතුණා යුද්ධය, යුද්ධය ඇති විමට බලපෑ කරුණු හා වත්මන් තත්ත්වය පිළිබඳ අධ්‍යයනයක් කළ යුතුයි කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි උතුරුකරේ ගවේෂණය නමින් මගේ පොතක් පළකරන්නේ. ඊට පාදක වුණේ උතුරු පළාතේ ජනතාවගේ සිදුවීම් පමණයි. එහෙත් උතුරේ ජනතාව වගේම, නැඟෙනහිර ජනතාවත් තිස් අවුරුදු යුද්ධයෙන් අපමණ දුක් ගැහැට වින්දා. යුද්දෙන් පස්සේ කෘතියක් ලෙස එළිදක්වන්නේ ඒපිළිබද කළ ගවේෂණයයි.

ඔබ මේ ගවේෂණයේ යෙදෙද්දි, ඊට අවශ්‍ය තොරතුරු සපයාගන්න භාවිත කළ ක්‍රමවේද මොනවාද?

මා මුලින්ම මේ පළාත් පිළිබද ලියවී ඇති සෑම මුලාශ්‍රයක්ම පිරික්සා බැලුවා. ඉන් පසු සති දෙකකට අධික කාලයක් මේ පළාත්වල අස්සක් මුල්ලක් නෑර ඇවිදලා බැලුවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවෙන් වගේම පොලිසියෙන් විශාල ලෙස උදවු උපකාර ලැබුණා. මේ පළාත්වල ඉන්න රාජ්‍ය නිලධාරින්ගෙන් සහයෝගය ලබා ගත්තා. අනෙක් කාරණය තමයි අපි දෙමළ ජනතාව අතරට ගිහින් ඔවුන් සමඟ කතා බහ කරමින්, ඔවුන්ගේ විශේෂ උත්සව අවස්ථාවලට එක් වෙමින්, ඒ මඟින් තොරතුරු රැස්කර ගත්තා. දෙමළ ජනතාව යුද්ධය ගැන, ඔවුන්ගේ ප්‍රශ්න ගැන, ඔවුන් බලාපොරොත්තු වන්නේ මොනවාද යන්න පිළිබඳ දැඩි අවධානය යොමු කළා. ඒ සඳහා අප සුවිශේෂි ක්‍රමවේද භාවිත කළා. මේ පළාත්වල ජනතාවට කොළ බෙදා දී, ඔවුන්ගේ ප්‍රශ්න සිතුම් පැතුම්, ඉටුවිය යුතු කාරණා ගැන තොරතුරු ලබාගන්න කටයුතු කළා. මේ මගින් සාර්ථක ප්‍රතිඵල රැසක් ලබාගන්න පුළුවන් වුණා.

මේ පළාත් දෙක පිළිබඳ අධ්‍යයනයේ යෙදෙද්දි දැක්ක සුවිශේෂිතා හා වෙනස්කම් මොනවාද ?

තිස් වසරක් පුරා දිව ගිය යුද්ධය නිසා පළාත් දෙකටම අහිමි වු ජීවිත හා දේපල වල වටිනාකම මනින්න බැහැ, මිනිස්සු විඳපු දුක් ගැහැට මෙපමණයි කියලා පෙන්වන්නත් බැහැ. අපට රටක් ලෙස දියුණු වෙන්න තිබුණ සම්පත් රැසක්, යුද්ධය නිසා අහිමිවී ගියා. මේ පළාත්වල සංචාරයේ යෙදෙද්දි, ගවේෂණයන්හි නිරත වෙද්දි ඒ බව මනාව තහවුරු වෙනවා.

උතුරු පළාතේ දෙමළ ජනතාව තමයි සියයට අනූනවයක්ම. ඒත් නැඟෙනහිර පළාතේ සිංහල, මුස්ලිම් වගේම දෙමළ ජනතාවත් ජීවත් වෙනවා. අනෙක් කාරණය තමයි නැඟෙනහිර පළාතේ ඓතිහාසික වටිනාකමින් හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් අපේ ජනතාව නොදැක්ක බොහෝ ස්ථාන තියෙනවා. සංචාරක අතින් ගත්තත් උතුරු පළාතට වඩා බොහෝ ඉදිරියෙන් නැඟෙනහිර පළාත ඉන්නවා.

මේ හැම දෙයක් ගැනම ඉස්මතු කරන්න කටයුතු කර තියෙනවා. අපට මෙහිදි සුවිශේෂි කියලා කියන්න තරම් වෙනස්කම් දැකගන්න ලැබුණේ නැහැ. ඕන පළාතක යම් යම් ප්‍රදේශවල භාෂාවේ, සංස්කෘතියේ සුළු සුළු වෙන්ස්කම් තියෙනවා. ඒක උතුරු - නැඟෙනහිරට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි.

ඒ කියන්නේ යුද්ධය නිසා අපට නැඟෙනහිරෙන් දැකගන්න තිබුණු බොහෝමයක් දේ වැළකිලා තිබුණා කියන එකද ?

මා මුලින් කිව්වා වගේ ඓතිහාසික වටිනාකමින් යුතු පුරාවිද්‍යා ස්ථාන, ආගමික ස්ථාන, සංචාරක පාරාදීස බොහෝමයක් යුද්ධය නිසා පසුගිය දශක තුනේ දැකගන්න ලැබුණේ නැහැ. මුහුදු මහා විහාරය, දීඝවාපිය ලෙන්, රජගල ගිරි ලිපි, බිතුසිතුවම් වගේම තවත් සිය ගණනක් ස්ථාන තියෙනවා. ඒ වගේම කුමන, පාසිකුඩා, ආරුගම්බේ, නිලාවේලි වගේ සංචාරක ස්ථානත් යුද්ධය නිසා දෙස් විදෙස් සංචාරකයන්ට දැකගන්න ලැබුණේ නැහැ.

මෙවැනි දේ පිළිබඳ මාගේ පොතෙන් හෙළිකරන්න කටයුතු කර තියෙනවා. ඒ පළාත්වලට ආවේණික සංස්කෘතික හා ආගමික ඇදහිලි ගැන මා මෙහිදි ජනතාවගේ අවධානය යොමු කරන්න කටයුතු කර තියෙනවා.

මෙවැනි ගවේෂණයක් කළ යුත්තේ රජය හෝ එහි ආයතනයක් මඟින්, ඒත් ඔබ අද එය ඉටුකර තියෙනවා. ඇත්තටම මේ කළේ සද්භාවයෙන්ද?

යම් සිද්ධියක් හෝ පුද්ගලයකු ගැන ගවේෂණයක් කිරිමේදි මෙය අහවලා හෝ අසවල් ආයතනය විසින් කළ යුතුයි කියා නීතියක් නැහැ. පුරවැසියකු, මාධ්‍යව්දියකු, ලේඛකයකු ලෙස මගෙන් වියයුතු යුතුකමක් හා වගකිමක් ඉටු කිරිමක් ලෙසයි මා මෙය දකින්නේ. අනෙක් කාරණය තමයි යම් දෙයක් ලියද්දි ඒ මගින් අසවලාට සුදු හුණු ගාන්නවත්, තවත් කෙනෙකුට මඩගහන්නවත් ලියන්නේ නැහැ. ලියලත් නැහැ. මා ලියන දේවල් කියවන අය එය දන්නවා. මේ ගවේෂණයෙදී කිසිම තැනක මම කාටවත් කඩේ ගිහින් නැහැ.

මෙහි ඇති මගේ සටහන්වලදි ගහන්න ඕන තැනදි ගහලත් තියෙනවා. හොඳ දේ අගයලත් තියෙනවා. කුහකත්වයෙන්, ද්වේෂයෙන් පෑන හසුරුවන්න අවශ්‍යතාවකුත් නැහැ. ඉදිරියට වුණත් මම එලෙස පෑන හසුරුවන්නේ නැහැ.

ගවේෂණයේදී සොයාගත් නිර්නායක යන් මඟින් එළිදක්වන “යුද්දෙන් පස්සේ“ කෘතිය නැවත ත්‍රස්තවාදීමය හිස එසවීමකට ඉඩකඩ අහුරයි කියලා ඔබ හිතනවාද ?

මෙහෙමයි, ත්‍රස්තවාදයක් ඇති වෙන්නට බලපාන පාරිසරික, සමාජයීය, ආර්ථිකමය ගැටලු අපි හදුනාගන්න ඕන. ඒ මඟින් තමයි ත්‍රස්තවාදයට ඇති මං පෙත් අහුරන්නට හැකිවෙන්නේ.රජයක් හැටියට ජනතා ප්‍රශ්නවලට භේදයකින් තොරව සවන් දෙන්නට ඕනෑ. මම හිතනවා දැන් ඒ සිද්ධවෙනවා කියලා.මේ ජනතාව යළි දුක්විඳින්න සුදානම් නැහැ.

යුද්ධය කළේ එක කොටසයි. ඒත් ඒකෙන් සියලුම දෙනාට දුක්විදින්න වුණා. යළි ඒ තැනට පත්වෙන්න මේ මිනිස්සු සුදානාම් නැහැ. දශක තුනක් අහිමිවී ගිය සංවර්ධනය මේ පළාත්වලට ලැබිලා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකාමෙන් සහෝදරත්වයෙන් ජිවත්වෙන්න පටන්ගෙන තියෙනවා.

අප්පුහාමීගේ ගෙදරට සෙල්වදොරෙයි, ඉක්බාලුයි දෙන්නම යනවා. ඒ අයගේ ගෙවල්වලට අප්පුහාමිලා යනවා. එකට කනවා බොනවා, විනෝද වෙනවා. දරුවෝ පාසල් යනවා. මේ ඔක්කොටම වඩා බියෙන්, සැකෙන් තොරව තම්බගත්ත දෙයක් කාලා නිදහසේ හුස්ම අරන් ජීවත් වෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා