සන්ධානය වටා ඇති බලවේග කිසිම ජගතෙකුට වෙනස් කරන්න බෑ


 

සන්ධානය වටා ඇති බලවේග කිසිම ජගතෙකුට වෙනස් කරන්න බෑ

දිළුම් අමුණුගම

ඔබ ලාබාල වියේදීම කි‍්‍රයාකාරී දේශපාලනය තෝරාගත්තේ ඇයි?

මගේ පවුල් පසුබිමෙන් ම කුඩා කල සිට ම ඒ ආභාසය ලැබුණා. ජනතාව සමඟ ගතකරන ඒ ජීවිතයට ඔවුන් වෙනුවෙන් වගේම රට වෙනුවෙන් කරන සේවයට මම දැඩි කැමැත්තක් දක්වන නිසා මම මගේ ජීවිතයේ දේශපාලනය කොටසක් කර ගත්තා.

මගේ ලොකු අප්පච්චි ආචාර්ය සරත් අමුණුගම මහතා දීර්ඝ කාලයක් දේශපාලනයේ අඛණ්ඩව රැඳී සිටිමින් සුවිශාල සමාජ මෙහෙවරක් ඉටුකර තිබෙනවා. එතුමා කරන්නේ මහත්මා දේශපාලනයක්. මා එයට ගරු කරමින් ඔහුගේ අඩිපාරේ යමින් ජනතා සේවයට කැප වෙනවා.

2004 වසරේ පළමු වතාවට ඔබ දේශපාලනයට පිවිස වැඩිම මනාප ලබා ගත්තා. ජනතාව එදා ඔබ කෙරෙහි තැබූ ඒ දැඩි විශ්වාසය රැකීමට හැකිවූවා යැයි ඔබ සිතනවාද?

ඇත්තෙන්ම ජනතාව එදා මා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා වැඩිම මනාප ප‍්‍රමාණයක් ලබා දුන්නා. පසුගිය වසර කීපයෙහි ඔවුන් වෙනුවෙන් කැපවී, මට හැකි උපරිමයකින් කටයුතු කළා. සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කරන්න කැපවුණා.

සරත් අමුණුගම පදනම හරහා ස්වයං රැකියා කටයුතු, අධ්‍යාපන, ආගමික කටයුතු සහ වෙනත් සුභසාධක කටයුතු විශාල ප‍්‍රමාණයක් ඉටුකළා. මට හැකි දේ කරදීමත්, බැරි දේ කෙළින්ම බෑ කීමත් මගේ සිරිතක්. ඒ නිසා මගෙත් එක්ක කවුරුත් තරහා නෑ. ඒ නිසා ජනතා විශ්වාසය පළුදු වී නැති බව මට විශ්වාසයි.

එස්. බී. දිසානායක මහතා කියනවා මධ්‍යම පළාතෙන් සටන අරඹා ජනාධිපති වෙනවා කියලා. ඔබ ප‍්‍රතිවාදී පිලේ තරුණ අපේක්‍ෂකයෙක් හැටියට එය දකින්නේ කොහොමද?

එස්. බී. මහතා කොහොමත් හැමදාම දවල් හීන දකිනවා. කටට එන හැම එකක්ම කීම ඔහුගේ පුරුද්දක්. එයින් රසවින්දනයක් ලැබීම ජනතාවගේ විනෝදාංශයක්. එස්. බී. ගේ කථා අහලා ජනතාව අද හොඳ රසවින්දනයක් විඳිනවා.

විශාල එජාප ජනරැල්ලක් අද එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්වෙනවා. ඔබට ඔවුන්ගේ ඡන්දය කෙරෙහි විශ්වාසයක් තිබේද?

ඇත්තෙන්ම ඔව්. පාක්‍ෂිකයන් පමණක් නොවෙයි, එජාප මන්තී‍්‍රවරු ඇතුළු නායකයොත් ජනාධිපතිතුමාට සහයෝගය ලබා දී එය රටට ඔප්පු කර පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිතුමාගේ නායකත්වය අගේ කරපු, රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය ප‍්‍රතික්‍ෂේප කරපු එජාප පාක්ෂිකයන් දහස් ගණනින් අද එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා එක්වෙනවා. ඒ එක්වීමත් සමඟ මෙවර ඉතිහාසයේ කිසිදා නොවූ අයුරින් සෑම මැතිවරණ කොට්ඨාසයක ම සුවිශාල ජයග‍්‍රහණයක් ලබන බව ඒකාන්තයි.

ඔබ සෙංකඩගල ආසනයේ ශී‍්‍ර. ල. නි. ප. ප‍්‍රධාන සංවිධායකවරයා හැටියට නගරබද ජනතාව සමඟ දේශපාලනික සබඳතා කොහොමද?

ඉතාම හොඳයි. වැඩ කිරීම ඉතා පහසුයි. පොදු කටයුතු කර දීමට විශාල ඉල්ලුමක් තිබෙනවා. මා ලැබෙන ප‍්‍රතිපාදනවලින් සහ සොයා ගනු ලැබූ ප‍්‍රතිපාදනවලින් මේ ආසනයේ විශාල සංවර්ධනයක් මේ වන විටත් ඉටුකොට තිබෙනවා.

ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ගැන තරුණයෙක් විදියට ඔබ සිතන්නේ මොනවාද?

ඉතාම සතුටුයි. ඉතාම ආඩම්බරයි. වසර 30 කින් කරන්ට බැරි දේ එතුමා වසර තුනකින් ඉටුකර රටට ඔප්පු කර පෙන්වා දී තිබෙනවා. රට එක්සේසත් කිරීමට කටයුතු කරන ගමන් රටෙහි දැවැන්ත සංවර්ධනයක් ද ඉටුකොට තිබෙනවා.

අපට ජීවත්වෙන්ට නිදහස් රටක් ලබාදීම තරුණයෙක් වශයෙන් මට වචනයෙන් සතුට ප‍්‍රකාශ කරන්ට බෑ. මේ ලබා දුන් නිදහස ඉදිරියට රැකගත යුතුයි. එතුමාගේ වැඩපිළිවෙළ ඉදිරියට ද ගෙන යා යුතුයි. ඒ සඳහා කැපවීම ඔහුගේ දෑත් ශක්තිමත් කිරීම අපේ පරම යුතුකමක්. දැඩි වගකීමක්. මේ දේශපාලන ගමනෙන් ඒ කාර්ය ඉටුකළ හැකි බවට මට දැඩි විශ්වාසයක් තිබෙනවා.

ඔබ වටා විශාල තරුණ පිරිසක් සිටිනවා. ඔවුන් වෙනුවෙන් ඔබේ ඉදිරි වැඩපිළිවෙළක් තිබෙනවාද?

පැහැදිලිවම ඔව්. මෙවර මහනුවර දිස්ති‍්‍රක්කයේ තිබූ ලක්‍ෂ නවයක් වූ ඡන්ද ප‍්‍රමාණය ලක්‍ෂ දොළහ දක්වා වර්ධනය වී තිබෙනවා. වැඩි වී ඇති ලක්‍ෂ තුනක් පමණ ඡන්ද ප‍්‍රමාණය තරුණ ඡන්ද. එයින් විශාල තරුණ පිරිසක් රැකියා විරහිතව, අවශ්‍යතා පෙරදැරිව සමාජගත වෙනවා.

ඔවුන්ගේ සිතුම්-පැතුම් අවශ්‍යතා අපි තේරුම් ගත යුතුයි. ඔවුන් ගැන ගැඹුරින් සිතා බැලීම අපට පැවරෙන වගකීමක්. ඔවුන්ගේ අධ්‍යාපනික, වෘත්තීය පුහුණු, රැකියා, ස්වයං රැකියා පිළිබඳ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් කි‍්‍රයාත්මක කොට තිබෙනවා. ඔවුන් වෙනුවෙන් එහි උපරිම අවස්ථාවන් ලබා දීමට පියවර ගන්නවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයන් සිය ප‍්‍රචාරක කටයුතු ඉහළ මට්ටමකින් සිදුවෙද්දී එජාපය නිහඬ පිළිවෙතක් රකිනවා. එහෙත් ඔවුන් ජයග‍්‍රහණය ගැන දැඩි විශ්වාසයකින් ඉන්නවා නේද? ඔබ ඒ ගැන හිතන්නේ මොනවාද?

ඔවුන් හිතනවා ඇති එජාප පාක්ෂිකයින් පරණ හිතවත්කම්වලට ඡන්දය දෙයි කියලා. ඒක කවදාවත් වෙන්නෑ. පාක්ෂිකයන් තම නායකත්වයට විරුද්ධව කොන්ද කෙළින් තියාන පාරට බැහැපු යුගයක් ඉතිහාසයේ නෑ. එජාපය මේ මට්ටමට ඇදලා දාලා තියෙන්නේ එල්. ටී. ටී. ඊ. ය.

එජාපයේ සිටිය ප‍්‍රබල නායකයන් සියල්ල ඝාතනය කරමින් දුර්වල නායකත්වයක් ලබා දී ඇත්තේ එල්. ටී. ටී. ඊ. ය විසින්. ඒ නිසා එල්. ටී. ටී. ඊ. ය මෙරටින් අතුගා දමන මොහොතේ ජනාධිපතිතුමාට ඔවුන් උපරිම සහයෝගයක් ලබා දෙනවා.

ඒ නිසා මම කියනවා එජාපයට වැඩියෙන් ම ආදරේ අය තමයි අපිටත් කලින් ඡන්ද පොළට ගිහින් බුලත් කොළය ඉදිරියේ කතිරය ගහන්නේ. අද සන්ධානය වටා ඇතිවී තිබෙන බලවේගය කිසිම ජගතෙකුට වෙනස් කරන්න බෑ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා