නගර සභාවේ හැම අර්බුදයක් ම මම විසැඳුවා


 

නගර සභාවේ හැම අර්බුදයක් ම මම විසැඳුවා

මහරගම මහ නගර සභාවේ නගරාධිපතිනි කාන්ති කොඩිකාර

මම නගරාධිපති ධුරය භාරගන්නා විට නගර සභාව කොන්ත‍්‍රාත්කරුවන්ට ලක්ෂ 220 ක් ණයයි. ඒ කාලයේ මහරගම මහ නගර සභාවේ මුදල් අර්බූදයක් තිබුණා.

මට ඕනෑ වුණේ මේ ණය මුදල පියවා නගර සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි. ඒ අනුව දවස් විසිගණනකදී මුද්දර ගාස්තුවලිනුයි, බදු මුදල්වලිනුයි ඒ මුදල් සොයාගෙන කොන්ත‍්‍රාත්කරුවන්ට ගෙවලා නගර සභාව ණය බරෙන් නිදහස් කරගන්න පුළුවන් වුණා.

මම නගර සභාව භාරගනිද්දී මුදල් අර්බූදයක් වගේම කසළ අර්බූදයකුත් තිබුණා. මම නගරාධිපතිනිය වන විට දවස් 19 කින් නගරයේ කුණු ඇදලා තිබුණේ නැහැ. මුළු නගරයම ගඳ ගහනවා.

මම මේ කුණු එකතු කරගෙන නගරය වටේ ගියා කුණු දාන්න තැනක් හොයලා. මේ කුණු කිසිම තැනකට දාන්න මට කිසිම කෙනෙක් අවසර දුන්නේ නෑ. නගරයේ කුණු අවුරුදු දහයක් දොළහක් තිස්සේ දැම්මේ නාවින්න කසළ අංගනයට. ඒත් ඒ දවස්වල අධිකරණ තීන්දුවක් දී තිබුණා එතැනට දාන්න එපා කියලා.

ඒ අනුව මම එක්කළ කුණු රෑ 12 වෙනතුරු නගර සභා භූමිය තුළ තබාගෙන කාටත් හොරා ඒ කුණු කසළ ගොඩකට දැම්මා. ඒ දවස්වල දිනකට නගරයේ කුණු ටොන් 65 ක් එක් වෙනවා. විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමෙන් පසුව මේ වන විට දිනකට එක්වෙන කුණු ප‍්‍රමාණය ටොන් 45 දක්වා අඩුකර ගන්න මට හැකි වී තිබෙනවා.

මහරගම නගරයේ කසළ ප‍්‍රශ්නය මේ වන විට 70% කින් පමණ විසඳ්‍ර තිබෙනවා. ඒ දවස්වල කසළ අදින වාහන 16 ක් තිබුණත් වැඩගන්න හැකි වුණේ වාහන 5 කින් විතරයි. ඉතිරි සියල්ල අබලන් තත්ත්වයේ තිබුණේ. එහෙත් මේ වන විට නගරයේ කුණු ඇදීමට වාහන 16 ක් යොදා තිබෙනවා.

එසේම පසුගිය අවුරුදුවලදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට ජංගම සම්පත් පියස හා සම්පත් පියස ලෙස මධ්‍යස්ථාන දෙකකුත්, ඝන අපද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් අසුරන බෑග් ව්‍යාපෘතියකුත් ග‍්‍රාමසේවා වසම් කිහිපයක සාර්ථකව කි‍්‍රයාත්මක කිරීමටත් අපට හැකි වුණා. වර්තමානයේ දී මහරගම නගර සභාව කසළවලින් තොර ස්ථානයක් බවට පත්කර ගැනීමට හැකිවීම විශාල ජනතා ජයග‍්‍රහණයක් ලෙස මා දකිනවා.

2008 වසරේ පොදු අරමුදල් යටතේ රුපියල් හයකෝටි හතළිස් අටලක්ෂ හැත්තෑ දෙදහස් එකසිය හතළිස් තුනක (රු. 64,872,143) මුදලක් වැය කර මාර්ග සංවර්ධනය හා වෙනත් සංවර්ධන ව්‍යාපෘති ඇතුළු කර්මාන්ත එකසිය එකොළහක් (111) ආරම්භ කළා.

බස්නාහිර පළාත් සභා අරමුදලින් ලැබූ රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂ තිස්තුන්දහස් එකසිය දෙකක (රු. 12,733,102) මුදලකින් සංවර්ධන ව්‍යාපෘති 40 කුත් කි‍්‍රයාත්මක කිරීමට හැකිවුණා.

ඒ වගේම විමධ්‍යගත වැඩසටහන යටතේ ලැබූ රුපියල් දහනව ලක්ෂ තිස්අටදහස් තුන්සිය පනස්හතරක (රු. 19,38,354) වියදමෙන් සංවර්ධන ව්‍යාපෘති දහයකුත්, ගම නැඟුම වැඩසටහන යටතේ ලැබූ රුපියල් දෙකෝටි තුන්ලක්ෂ හැත්තෑහත්දහස් හාරසිය විසිදෙකක (රු. 20,377,422) මුදලින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති 23 කුත්, ගම නැගුම වැඩසටහනෙන් ලැබුණු තවත් රුපියල් එක්කෝටි අසූදෙලක්ෂයක (රු. 18,200,000) මුදලින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති 43 ක්ද කි‍්‍රයාත්මක කිරීමට අපට හැකියාව ලැබුණා.

කඩිනමින් සංවර්ධනය කළ යුතු යැයි හඳුනාගත් පන්නිපිටිය වීර මාවත, පොල්වත්ත ග‍්‍රාම සංවර්ධන පාර, රුක්මලේ පාසල් මාවත යන මාර්ග 2008 වසරේ දී මුළුමනින්ම සංවර්ධනය කර ජනතා අයිතියට පැවරීමට හැකිවුණා.

මහරගම නගර සභාව සතු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, දන්ත චිකිත්සක සායන මධ්‍යස්ථානය, ළමා හා මාතෘ සායන මධ්‍යස්්ථාන මඟින් මෙතෙක් පවත්වාගෙන ආ සේවාවන් විධිමත්ව හා ක‍්‍රමවත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය වැඩසටහන් කි‍්‍රයාවට නංවා අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමෙන් ප‍්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සේවාව උපරිම මට්ටමෙන් අපට ලබාදීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.

පසුගිය දෙවසරක කාලයකදී ප‍්‍රදේශයට අවශ්‍ය ආදාහනාගාර ඉදිකිරීම, කී‍්‍රඩාපිටි ඉදිකිරීම, පුස්තකාල ගොඩනැඟිලිවල සංවර්ධන කටයුතු සිදු කිරීම, වැසි ජලයෙන් පීඩා විඳින ප‍්‍රදේශ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පිළියම් යෙදීම, පාලම් සෑදීම, පරිගණක සාක්ෂරතා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම, සතිපොළ සංවර්ධන කටයුතු සිදු කිරීම, ආගමික වැඩසටහන් කි‍්‍රයාවට නැංවීම යනාදී ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදුකර තිබේ.

මහරගම පළාත් පාලන ඉතිහාසයේ වසර 56 කට පසුව අතුරු ව්‍යවස්ථා 3 ක් මේ වසරේ සම්මත කරගැනීමට හැකි වුණා. සභාව සතු දේපළවල නිරවුල් ලේඛන අයිතිය තහවුරු කරගැනීමටත් මේ වසරේ හැකි වුණා. ඒ විතරක් නොවෙයි අවුරුදු 50 කට පසුව මහරගම පුරවරයේ සංවර්ධන අරුණලු උදා කරමින් “මහරගම නගර සංවර්ධන සැලැස්ම” නිල වශයෙන් ආරම්භ කිරීමටත් අපට අවස්ථාව උදා වුණා.

ඉදිරි වර්ෂයේ පොදු පරිපාලනයට අදාළව ප‍්‍රාග්ධන වැය සඳහා දාහත්ලක්ෂ පනස්දාහක (1,750,000) මුදලක් වෙන්කර තිබෙනවා. සෞඛ්‍ය සේවයේ ප‍්‍රාග්ධන වැය ස¼ඳහා එක්කෝටි හැත්තෑනව ලක්ෂ අනූදහසක (17,990,000) මුදලක් ද වෙන්කර තිබෙනවා. මෙමඟින් ප‍්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත්, සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් ආදි වශයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නැංවීමට අපේක්ෂා කෙරෙනවා.

මහරගම පොදු වෙළෙඳ සංකීර්ණය හා සතිපොළ පිහිටි භූමියේ නවීන අංගෝපාංග හා පහසුකම්වලින් සමන්විත යුගයට ගැළැපෙන ලෙස රථ ගාලක් ද, පොදු වෙළෙඳපොළ හා සතිපොළ සඳහා පස් මහල් වෙළෙඳ සංකීර්ණයක් ද ඉදිකිරීමට නියමිතයි.

අන්තර්ජාතිකව පිළිගත් කසළ කළමනාකරණය පිළිබඳ ව්‍යාපෘතියක් මධ්‍යම රජයේ මැදිහත්වීම මත ඉදිරි වසරේ දී මහරගම බල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කිරීමට ද සැලසුම් යොදා තිබෙනවා.

2008 වසරට පුනරාවර්තන වියදම 7% කින් අඩු වී තිබෙනවා. ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතුවලට ප‍්‍රමුඛතාව දීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. ඒ නිසා ප‍්‍රාග්ධන වියදම 2007 වසරට වඩා 6.2% කින් වැඩි වී තිබෙනවා. මේ තරම් විශාල සංවර්ධනයක් මහරගම බල ප‍්‍රදේශයට කරන්න හැකි වුණේ මධ්‍යම රජයේත්, බස්නාහිර පළාත් සභාවේත්, බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර උපාලි කොඩිකාර මහතාගේත් සහයෝගය මතයි.

(සාකච්ඡාවක් ඇසුරෙනි)

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා