දූෂණයට පාර වැසූ මාර්ග පද්ධතියක්

දූෂණයට පාර වැසූ මාර්ග පද්ධතියක්

බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ අලුත් වැඩක්

ජාතික සවිය ගම නැඟුම, මඟ නැඟුම වැනි සංවර්ධන ව්‍යාපෘති මගින් රටේ විශාල පිබිදීමකට මුල පුරා තිබේ. මේ අතුරින් නගරයට සීමා ව සංවර්ධනය වේගයෙන් ගමේ අහුමුලු කරා ඇදීයාම යහපත් පෙරනිමිත්තකි.


බණ්ඩාරගම වැඩ අංගනයේ බෝක්කු නිෂ්පාදනය කරන අයුරු

ගමේ කුඩා මාර්ග පළල් වී තාර හෝ කොන්කී‍්‍රට් යොදා සංවර්ධනය කිරීම නිතරම ඇස ගැටෙන දසුනකි. මාර්ග නඩත්තු කිරීමේදී බොහෝ විට කොන්ත‍්‍රාත් දීම සිදු කෙරේ. එහෙත් මේ ක‍්‍රමයෙන් නිසි ඵල ලබා ගත නොහැකි බව අවබෝධ කරගත් බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාව අපූරු වැඩපිළිවෙළකට අවතීර්ණ විය. ඒ කොන්ත‍්‍රාත් ක‍්‍රමය සම්පූර්ණයෙන්ම නවතා සභාව මගින් මාර්ග නඩත්තු කිරීමේ කටයුතු ආරම්භ කිරීමයි. මේ ඒ කතාවය.

තල්පිටි බද්ද, අධිකාරි පත්තුව හා මුංවත්ත භාග පත්තුව යනුවෙන් බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභා බල සීමාව කොටස් 3 කට අයත්ය. මෙහි සභා බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශවල මාර්ග සංවර්ධනය කිරීමට සභාව මේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කළේය.

මේ කාර්යේදී ගල් හා වැලි මිලදී ගැනීමට සභාවට සිදු විය. එමෙන්ම බෝක්කු, හියුම් පයිප්ප සඳහා ද විශාල මුදලක් වැය කිරීමට සිදු විය. මේ නිසා මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ පරගස්තොට අම්බිලියාගල කන්ද ආශි‍්‍රතව කළු ගල් මෝලක් ආරම්භ කිරීමට සභාව මඟින් කටයුතු කෙරිණි. මේ සඳහා රුපියල් ලක්‍ෂ 25 ක ප‍්‍රාදේශීය සභා අරමුදල් යෙදවීමට සභාපති ලලිත් එල්ලාවල මහතා කටයුතු කෙළේය.


පරගස්තොට ඇම්බිලියාගල කන්ද ආරම්භ කර ඇති
කළු ගල් වැඩපළ

මේ කළු ගල් මෝල මගින් ප‍්‍රමාණ හතරක කළුගල් නිෂ්පාදනය කරන අතර දිනකට කළු ගල් කියුබ් 20 ක් පමණ නිපදවිය හැකිය. මෙහි කළු ගල් කියුබ් එකක් රුපියල් දෙදාහක මිලකට නියම කර ඇති අතර වෙළෙඳපොළ වටිනාකම රුපියල් තුන්දාහක් පමණ වේ. මේ නිසා මේ මගින් ඉතිරි වන මුදල දෙස බැලූ විට එය සභාවට විශාල ආයෝජනයක් වේ.

අඟල් කාල, අඟල, චිප් ගල්, ගල් කුඩු මෙන්ම, ඒ. බී. සී. යන දෑ සියල්ලම ප‍්‍රයෝජනයට ගැනෙන්නේ සභාව සතු මාර්ග නඩත්තු කටයුතු සඳහා පමණි. මේ නිසා සභාව සතු ග‍්‍රාම සේවා වසම් 103 කට අයත් කුඩා අතුරු මාර්ග මෙන්ම ප‍්‍රධාන මාර්ග නඩත්තු කිරීමේ කටයුතු මේ නිසා අපහසුවකින් තොරව සිදු කෙරේ.

මේ කටයුත්තේදී ඊළඟට බලපෑ ප‍්‍රධාන ගැටලුව වූයේ අවශ්‍ය ප‍්‍රමාණයට වැලි සපයා ගැනීමයි. මේ සඳහා ද අධික මුදලක් වැය කිරීමට සභාවට සිදු විය. මිල්ලනියේ යටවර ආරම්භ කරන ලද වැලි තොටුපළ මේ ප‍්‍රශ්නයට ද විසැඳුම ලබා දීමට සමත් වීම සංවර්ධනයේ අරුණලු දැක්මකි. මාර්ග නඩත්තු කිරීමේදී ඒ සඳහා අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර පිටතින් කුලියට ලබා ගැනීමට සිදු වීමද තවත් පසුබෑමකට ලක් වූ අවස්ථාවක් විය.

අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර සියල්ලම මිලදී ගැනීමට සභාව කටයුතු කෙළේ එහෙයිනි. රුපියන් ලක්‍ෂ 69 ක් වටිනා ජේ. සී. බී. යන්ත‍්‍රයක්ද ලක්‍ෂ 52 ක් වටිනා ගල් රෝලක් ද ලක්‍ෂ 42 ක් වටිනා ටිපර් රථයක් ද ආදී මේ කටයුතු මනාව කර ගෙන යෑමට අවශ්‍ය සියලුම යන්ත‍්‍ර සූත‍්‍ර මිලදී ගෙන ශක්තිමත් තත්ත්වයට පැමිණීමට සභාව පොහොසත් විය.

සමහර මාර්ග පලුදු වී කුඩා වලවල් සැදී තිබේ. මේවා නැවත සකස් කළ යුතුය. මේ සඳහා තල්පිටිබද්ද, අධිකාරි පත්තුව හා මුංවත්තබාග පත්තුව යන බල ප‍්‍රදේශ තුනට අයත් උප කාර්යාලවල පිහිටුවා ඇති වැඩ අංගනවල පි‍්‍රමික්ස් (පෙරමුසු) නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා තිබේ.

දිනකට පෙරමුසු කියුබ් 6 ක් පමණ නිපදවීමට හැකි වී තිබෙන අතර මීට පෙර මේ කටයුත්ත සඳහා අවශ්‍ය පෙරමුසු පිටතින් ලබා ගත්තේ කියුබ් එකකට රුපියල් හතලිස් දාහක්වැනි අධික මිලක් ගෙවමිනි. එහෙත් දැන් මේ තත්ත්වය වෙනස් වී රුපියල් විසිපන්දාහක් වැනි මිලකට එම මුදල ලිහිල් කර ගැනීමට සභාව කටයුතුකර ඇත.


තාර යොදා වෙනිවැල්පිටිය මාර්ගය සංවර්ධනය කරන අයුරු

මාර්ග නඩත්තු අංශයේ කම්කරුවන් යොදවා දෛනිකව මේ මාර්ගවල ඇති කඩතොලු වසාදමා එම නඩත්තු කිරීමට සභාව කටයුතු කර තිබේ. එමෙන්ම කළු ගල් කෂර් එකෙන් ලබා ගන්නා ඒ. බී. සී. ද මෙම කඩතොලු වැසීමේදී මහගු පිටු වහලක් සපයන බව කිව යුතුය.

බෝක්කු නඩත්තු කිරීමට අවශ්‍ය බෝක්කු හා හියුම් පයිප්ප විශාල මිලකට පිටින් ගත යුතුව තිබුණි. එහෙත් බණ්ඩාරගම නරගයේ පිහිටුවා ඇති ප‍්‍රාදේශීය සභා වැඩ අංගන මගින් සභාව සතු පාරවල්වලට අවශ්‍ය හියුම් පයිප්ප, බෝක්කු හා කොන්කී‍්‍රට් කණු නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා හොඳ ප‍්‍රමිතියකින් යුක්තව අවශ්‍ය ආකාරයට නිපදවා ගත හැකිය.

මෙහි නිෂ්පාදිත එක් හියුම් පයිප්පයක් සඳහා රුපියල් තුන් දාහක පමණ මුදලක් වැය වන අතර වෙළෙඳපොළේ වටිනාකම රුපියල් හත් දාහකි. එමෙන්ම කම්බි කණුවක් සඳහා රුපියල් තුන්සිය පනහක් වැනි මුදලක් වැය වෙතත් පිටතින් මිලදී ගැනීමේ දී මේ සඳහා රුපියල් පන්සියක් වැනි මුදලක් වැය කිරීමට සිදුවිය. මේ නිසා උසස් ප‍්‍රමිතියකින් මාර්ගයක් නඩත්තු කිරීමේ කටයුතු සභාව මගින් සිදු කෙරේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ වෙනිවැල්පිටියේ ඒ. සුමනාවතී මහත්මිය

අවුරුදු ගණක ඉඳලා කැඩිලා බිඳිල වලවල් හෑරිල තිබුණ පාරක් මේක බටගොඩත් - යාලගලත් සම්බන්ධ කරන පාර අපට යන්නවත් බැරුවයි තිබුණේ. ගිය අවුරුද්දෙ අග ඉදලයි හදන්න පටන් ගත්තෙ. තව පොඩ්ඩයි වැඩ තියෙන්නෙ. දැන් අපිට හොඳයි.

ඒ. ශ්‍යාමලී හසන්තිකා (වෙනිවැල්පිටිය) මම ඉගෙන ගන්නෙ වෙනිවැල්පිටිය පාසලේ 11 වසරෙයි. මේචර කාලයක් අපේ පාර තාර ගැලවිලා ලොකු වලවල් හැදිලයි තිබුණෙ. වැස්ස දවසට පයින් යන්න බෑ. මඩ වලවල් පිරිලා.

මධුරා කුමාරි ඇත්තටම අපේ ගමට දැන් නම් ලොකු එළියක්වැටිල තියෙනව. අපි පොඩි කාලෙ ඉඳලම පාර කැඩිල අබලන් වෙලයි තිබුණේ. අපේ සපත්තු නිතරම කැඩෙනව, හරිම කරදරයක් වෙලයි තිබුණේ.

අයේෂා මධුවන්ති අපි ගෙදර ඉදල වෙනිවැල්පිටිය ඉස්කෝලෙට පයින් යන්න. පාරෙ ලොකු වලවල් හැම තැනම තිබුණා. සමහර දාට අපිව ඒවයෙ වැටෙනවා.දැන් නම් එහෙම නෑ පාර ලස්සනට හදල.

චින්තක නිමල් සිරි මහතා ස්වෝත්සාහයෙන් ගොඩනඟªණු මිනිස්සු ඉන්න ගමක් වෙනිවැල්පිටිය. බිස්නස් පැත්තෙ රැකියා කරන අයයි වැඩි. අවුරුදු 20 කට පස්සෙයි මේ පාරට තාර ටිකක්වැටිල තියෙන්නෙ. පයින්වත් යන්න බැරි තරමට අබලන් වෙලා තිබුණේ. අපි හරියට දුක් වින්දා මේ පාර හින්ද බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභා සභාපති ලලිත් එල්ලාවල මහත්තයගෙ අවධානයට යොමු වෙන තුරු මේ දක්වා කිසිම ආණ්ඩුවකින් සැලකීමක් කළේ නැහැ.

ජේ සිරියාවතී මහත්මිය ඇත්තටම යන්න බැරි තත්ත්වයෙන් තිබුණෙ. දැන් හුඟක් හොඳයි . ගම්වල මේ වගෙ වැඩ කරන එක හොඳයි. අපි ඒ වැඩකරන අයට කෑමෙන් බීමෙන් සංග‍්‍රහ කළා. සේරම උදව් කළා.

ටී. චද්‍රපාල මහතා අවුරුදු ගණනට පස්සෙ කෙරුන දේ හොඳයි. ඒ ගැන ස්තූති කරන්න ඕනෑ වත්මන් වැඩපිළිවෙළ යටතේ බොහෝ ග‍්‍රාමීය මාර්ග දුෂ්කර ප‍්‍රදේශ සංවර්ධනය කර තිබෙනවා. ගමේ යටිතල පහසුකම් සංවර්ධනය වීමෙන් ගමේ ජනතාවගේ ආර්ථික රටාව සංවර්ධනය වීම නිරන්තරයෙන්ම සිදුවෙනවා.

හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර එල්. ඩී. රංජිත් සිල්වා මහතා බණ්ඩාරගම ආසනයේ තිබෙන දුෂ්කර මාර්ගවලින් කාටවත්ම නොපෙනුන මාර්ගයක් මගේ ඉල්ලීමක් මත සභාපතිතුමා කි‍්‍රයාත්මක කළා.

පෙතිගමුව හන්දියේ සිට වෙනිවැල්පිටිය හරහා බටගොඩ හන්දිය දක්වා වන කිලෝමීටර් 3 ක් විතර දුරට මේ මාර්ග සංවර්ධනය කෙරෙනවා. බටගොඩ ප‍්‍රදේශවාසීන්ට වඩාත් පහසුවෙන් හොරණ නගරයට ළඟා වෙන්න පුළුවන් මාර්ගයත් මේකයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභා සභාපති ලලිත් එල්ලාවල මහතා

සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාමීය මාර්ග අවුරුදු 15 ක 20 ක විතර කාලයක සිට කිසිවෙකුගේ අවධානයට යොමු නොවූ ඒවායි. මේ ප‍්‍රදේශවල ජනතාව ගමන් බිමන් යෑමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑවා.විශේෂයෙන් මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ බොහෝ දුෂ්කර ගම්මාන තිබෙනවා. ගංවතුර කාලයට මේවා යටවී ගමනා ගමන පහසුකම් ඇණහිටිනවා.

මේ කාලවලදී ප‍්‍රයෝජනයට ගත හැකි කුඩා අතුරු මාර්ග බොහොමයක් ගමන් කළ නොහැකි තත්ත්වයේ පවතිනවා. උඩුවර, යටිවර දෙල්ගොඩ, මහදුරුපිටිය, පානකඩ වැනි ප‍්‍රදේශවල ජීවත් වන පිරිස කි. මි. 10 ක් හෝ 15 ක් පාගමනින් ප‍්‍රධාන මාර්ගයට පැමිණිය යුතුයි.

ඔවුන්ගේ දෛනික කටයුතු මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමෙන් වඩාත් පහසු වෙනවා. රෝගියෙකු පුටුවක තබා ගෙනවත් ගමන් කළ නොහැකි පටු පාරවල් තවමත් මේ ප‍්‍රදේශවල පවතිනවා. මේ නිසා ගමට සංවර්ධනය රැගෙන යෑම මගේ අරමුණයි.

පාරක් නඩත්තු කිරීමට හැකි සියලුම යන්ත්‍රෝපකරණ ගල්, වැලි පි‍්‍රටින්ස් හියුම්, පයිප්ප වැනි අවශ්‍යතා සියල්ලම අද සභාව සතු වෙනවා. යම් කිසි ප‍්‍රදේශයක පාරක් කැඩුණු විට ඒ ස්ථානයට ගොස් එහි වැඩ මේ දිනයට නිමකර දිය හැකි බවට සහතික වීමේ ශක්තිය අද සභාව සතුව තිබෙනවා.

පාරක් සංවර්ධනය කිරීමේදී සිමෙන්තියි තාර ටිකයි විතරයි පිටතින් මිලදී ගත යුතු වෙන්නේ අවශ්‍ය තාක්‍ෂණය තිබේ නම් ඒ කටයුත්තත් සභාව මගින් කළ හැකි යි. සභාව සතු මාර්ග බොහොමයක් මේ වන විට නඩත්තු කර අවසන්. 2010 වන විට උසස් ප‍්‍රමිතියකින් යුතු මාර්ග පද්ධතියක අයිතිය ජනතාවට තිළිණ කිරීම මගේ මූලික අරමුණයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා