මඩවලෙන් ගොඩ වූ මඩවල ගම

මඩවලෙන් ගොඩ වූ මඩවල ගම

අපේ රටේ ආහාර නිෂ්පාදනයට දායක වෙන ගොවියාගේ ආර්ථික වටිනාකම ප‍්‍රථම වරට මඩවල එස්. රත්නායකයන් අපූර්වත්වයකින් යුතුව “අක්කර පහ” නව කතාවෙන් අපට පෙන්වා දුන්නේ එක්දහස් නව සිය පනහ දශකයේදීය.


සත්ව පාලන ව්‍යාපෘතියක්


මඩවල නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානය


මඩවල ඉදිවන ජන සභාවේ
ලේකම් කාර්යාලය


අලුත්වැඩියා කළ ගමට පිවිසෙන මාර්ගය

සම්මානනීය නවකථාවක් වු අක්කර පහ නවකථාවට මඩවල එස්. රත්නායකයන් හට මූලාශ‍්‍රය වුණේ තමා ඉපිද, හැදීවැඩුණු මඩවල ගම්මානය යි.

ජාතික සවිය ගම නැඟුම ජාතික සංවර්ධන වැඩ සටහන ගැන සාකච්ඡා කෙරෙන සෑම අවස්ථාවකම මෑතක සිට මඩවල ගම්මානය ගැන ද සඳහන් වේ.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ, අලව්ව කොට්ඨාසයේ මඩවල ගම්මානය ජාතික සවිය ගම නැඟුමෙන් නව මාවතකට නැඹුරුවී ඇති ආකාරය එහි ගිය අපට දැකගැනීමට හැකිවිය.

මඩවල ගමේ ප‍්‍රවේශ මාර්ගය සඳහා අභ්‍යන්තර මාර්ග සියල්ල කොන්කී‍්‍රට් කැර මනාව සකස්කැර තිබේ. ගමට විදුලිය පහසුකම් සපුරා දී ඇත. සෑම ගෙවත්තක්ම වගාකැර ඇති අතර සෑම බිම් අඟලක්ම වගාවට යොදා ගෙන තිබූ ආකාරය ද දක්නට හැකිවිය.

ජන සභා කාර්යාලයක් ඉදිවෙමින් පවතී. ගමේ ජනතාවගේ ලෙඩට දුකට පිහිටවීමට ආරම්භ කළ ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍ය මාලනී හේරත් මහත්මිය සේවය කරනුයේ ස්වේච්ඡාවෙනි. ඇය කැප්පෙට්වලාන ගම්මානයේ සිට මඩවල ගම්වැසියන් ගේ රෝග සුවකැර දීමට පැමිණේ. දිනකට 15 - 20 ක් පමණ රෝගීහු ප‍්‍රතිකාර සඳහා මඩවල නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානයට පැමිණෙති.

අලපලාව, ඕනර, කිරුවන්පොල, කුඹුල්ල, මහයාය යන ගම්වලින්ද ගම්වාසීහු මඩවලට ආයුර්වේද ප‍්‍රතිකාර සඳහා පැමිණෙති.

මහින්ද චින්තන ප‍්‍රතිපත්තියට අනුව 2006 වසරේ ආරම්භ වුණු මග නැඟුම 2007 වසරේ මඩවල ගම්මානයේ ද කි‍්‍රයාත්මක කිරීමට තෝරා ගෙන තිබේ. එම තෝරා ගැනීම ඉතාම නිවැරැදි තෝරා ගැනීමක් බවට මඩවල ගම්වාසීහු තහවුරු කරමින්, ලංකාවේ සාර්ථකම හා හොඳම ගම්මානය බවට අද මඩවල ගම්මානය පත්ව ඇතැයි ජාතිය ගොඩනැගීමේ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. කේ. කේ. කුමාරසිරි මහතා පවසයි.

සංවර්ධනයට ලැබෙන මුදල් වලින් බොහෝ කටයුතු නිම කළ ගම්වාසීන් ඒ සඳහා සිය ශ‍්‍රමදායකත්වය හා සහභාගිත්වය 20% සිට 100% දක්වා ලබාදී ඇති බව අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍යතිලක මහතා සඳහන් කෙළේ ය.

යටිතල පහසුකම් සංවර්ධනයට රජයෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 10 ක මුදලින් දින තුනක් ඇතුළත ගම්වාසීහු 300 ක් පමණ වෙහෙසී තම ගමේ ප‍්‍රවේශ මාර්ගය සැකැසූහ. අද එම මාර්ගය කොන්කී‍්‍රට් කැර ඉදිකැර ගනිමින් මඩවල ගමේ නව සංවර්ධන ගමන ආරම්භ වී තිබේ.

එම කොටස සාර්ථකව නිම කළ නිසා ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශය තවත් රුපියල් ලක්ෂ 20 ක් එම ගම්මානයට ලබාදී තිබේ. ඒ අරමුදල් ද ඉතා අරපිරිමැස්මෙන් යොදා ගනිමින් මාර්ගයේ තවත් කොටසක් ඉතා හොඳින් නිම කැර ගැනීමට මඩවල ගම්වාසීහු සමත් වූහ.

මඩවල ගමට පැමිණි කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම්වරිය ජයන්තා සී. ටී. බුළුමුල්ල මහත්මිය මඩවල ගම්වාසීන්ගේ උනන්දුව සහ සාර්ථකත්වය දැක බෙහෙවින් අගය කළාය.

දිස්ති‍්‍රක් ලේකම්වරියගේ විශේෂ නිර්දේශය මත මඩවල ගමේ ප‍්‍රධාන මාර්ගයේ ඉතිරි කොටස ද සම්පූර්ණ කැර ගැනීමට තවත් රුපියල් ලක්ෂ 18 ක් රජය ලබාදී ඇත. මේ අනුව මඩවල ගම මැදින් ඕනර, තිරුවන්පොළ දක්වා ඇති මාර්ගය කිලෝමීටර් 1 1/2 ක් පමණ ප‍්‍රමාණයක් ඉතා හොඳින් සාර්ථකව සම්පූර්ණයෙන්ම කොන්කී‍්‍රට් කැර අවසන් කිරීමට මඩවල ගම්වාසීහු සමත් වූහ.

ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ධර්මසිරි රත්නායක මහතා ගම නැඟුමට ප‍්‍රාදේශීය දේශපාලන නායකත්වය සම්බන්ධ කෙළේ ජනාධිපති තුමා අපව කොළඹට ගෙන්වලා ගම නැඟුමෙන් රට හදන වැඩපිළිවෙළට දායක වෙන්ට කියා දැන්වූවා. ඒ අනුව අපට ගම්මාන නම් කිරීමට අවස්ථාව ලැබුණා. මා ගම්මාන දෙකක් නම් කළා. ඒ දෙකෙන් එකක් තමයි මඩවල ගම්මානය.

මඩවල කියන ගම මඩවලක් වගෙයි තිබුණේ. පොඩි වැහි පොදයක් ගියත් ගම සේරම මඩ වෙනවා. පාරවල් සියල්ල ම අබලන් වෙලායි තිබුණේ.

ගම්වාසීන්ට ගම හදා ගැනීමේ වුවමනාව තදින් ම තිබුණා. අපි වැඩ සටහන ජය ගත්තා.

මුලින් ම ලැබුණු ලක්ෂ 10 න් උපරිම වැඩ කොටසක් කළා. ඊට පසුව තවත් ලක්ෂ 20 ක් ලැබුණා. දිසාපතිතුමිය ඇවිත් පැහැදිලා තවත් ලක්ෂ 18 ක් දුන්නා. ලක්ෂ 48 කට හැකි උපරිම මට්ටමෙන් අපේ පාර හදා ගත්තා. මගනැඟුමෙනුත් රුපියල් 5’70,000ක් ලැබුණා. ඒ අරමුදල්වලින් තවත් අතුරු පාරවල් දෙකක් හදා ගත්තා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැළ 10,000ක් ලබාගෙන ගම්වාසීන් අතරේ බෙදාදුන්නා. මහා සංඝයා වහන්සේත් පාසල් දරු දැරියනුත් එකතු කැර ගෙන එකම දවසක රුක් රෝපණ වැඩසටහනක් කි‍්‍රයාත්මක කළා. තේක්ක, මහෝගනී, පිහිඹියා පැණි වරකා ගස් සිටවූවා.

මඩවලගමේ ඉඩම්වල ප‍්‍රධාන වගාව පොල්, පොල් වගාවේ පැළ සිටුවීමට පොල්පැළ 2,000ක් ගමට බෙදා දුන්නා. පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් මේ පොල් පැළ ලැබුණා.

සමෘද්ධි වැඩසටහන යටතේ ගෘහස්ථ කුකුළු පාලනයට පවුල් 15 කට කුකුළු පැටවුන් ලබාදීමට හැකිවුණා. රුපියල් 25,000/= බැගින් පවුල් 15කට ගඩොල් ව්‍යාපෘති කිරීමට ආධාර ලබා දීමට හැකිවුණා.

ගම්මානයේ පවුල් 216ක ගෙවතුවගාව කි‍්‍රයාත්මක කළා. පවුල් 15 කට මී මැසි පෙට්ටි 15 ක් දුන්නා.

ජනසභාවෙන් ගෙවතුවගාවට අවශ්‍ය පලතුරු එළවුළු බීජ ලබාදීමට පියවර ගත්තා.

ග‍්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ඇමැති එස්.බී නාවින්න මහතා මඩවල ගම්මානය මැටි කර්මාන්තයට සුදුසු ගම්මානයක් ලෙස නම් කළා.

අතුරු මාර්ග සංවර්ධනයට රුපියල් ලක්ෂ 30 ක් නාවින්න ඇමැතිතුමා ගමට දුන්නා. මැටි කර්මාන්තය කිරීමට කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමටත් රුපියල් ලක්ෂ 80 ක් නාවින්න ඇමැතිතුමා ලබාදීලා තිබෙනවා.

මඩවල ගම්මානයේ අවට ගම්මානවලත් විදුලිය අඩු - පාඩු සම්පූර්ණ කැර ගැනීමට ජාතිය ගොඩනැඟීමේ අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 17 ක් ලබාදුන්නා.

ගම්මානයේ තිබෙන පොල් අතු නිවාස සංඛ්‍යාව 20ක් වෙනවා. ඒ වෙනුවට ස්ථිර නිවාස ඉදිකිරීමට ජාතිය ගොඩනැඟීමේ ඇමැති සාලින්ද දිසානායක මහතා කටයුතු කළා. ඒ එක් නිවසකට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 20 ක් ලබා දීලා තිබෙනවා. නිවාස ලාභියාගේද දායකත්වයෙන් රුපියල් ලක්ෂ 2 ක් පමණ වටිනා නිවසක් මේ මුදල්වලින් ඉදිකැරදීමට අප බලාපොරොත්තු වෙනවා.

ගමට අවශ්‍ය බිත්තර වී නිපදවා ගැනීමේ වැඩපිළිවෙළකුත් ආරම්භ කළා. මේ කන්නයේ අක්කර දෙකක බිත්තර වී නිපදවීමට පටන් ගත්තා. ලබන කන්නයේ ඒ ප‍්‍රමාණය වැඩිකරනවා.

ආයුර්වේද බෙහෙත්ශාලාව දැනට ගමේ කෙනෙකු පරිත්‍යාග කළ ගොඩනැගිල්ලකයි පවත්වාගෙන යනු ලබන්නේ. අපි අපේ ගමේ ආයුර්වේද ඖෂධ පැළෑටි වගාකිරීමටත් පටන් ගත්තා. තිස්ස කරලියද්ද ඇමැතිතුමා ගමට ස්ථිර ආයුර්වේද මධ්‍යස්ථානයක් මේ අවුරුද්දේ ලබා දෙනවා කීවා.

මඩවල ගමේ පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ පටන්ගෙන තිබෙනවා. මේ සඳහා ලක්ෂ 60ක් වැය වෙනවා. මුදල් කොටසක් ලැබුණා. මෙතැන ජනසභා ලේකම් කාර්යාලය, කෝප් සිටි එකක්. නැණසල මධ්‍යස්ථානයක් පමණක් නොවෙයි. මධ්‍යම බෙහෙත් ශාලාවකුත් සාදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මධ්‍යම බෙහෙත් ශාලාවට නිමල් සිරිපාල ද සිල්වා සෞඛ්‍ය ඇමැතිතුමා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබාදීමට පොරොන්දු වුණා.

මඩවල ගම්මානයේ අලුත් ම ආකාරයේ ඉතිරිකිරීමේ ක‍්‍රමයක් කි‍්‍රයාත්මක වේ. සෑම නිවසකම එකතුවෙන වෙළෙඳ වටිනාකමක් ඇති භාණ්ඩ එක්රැස් කැර ඒවා වෙළෙඳපොළට ගෙන ගොස් අලෙවි කිරීමේ වැඩසටහනක් ද මඩවල ගම්මානයේ කි‍්‍රයාත්මක වේ.

ඒ වැඩසටහන නිසා නිවාසවල එකතුවෙන පොල්කටු, පොල්ඉරටු වැනි දේවලට පවා ගම්වාසීන්ට ආදායමක් ලබාගැනීමට හැකිවී තිබේ. ගම්වාසීන් 9 දෙනෙකු ගමේ නිවාස 216 බෙදාගෙන සෑම නිවසකට ම ආදායම් ලැබෙන ආකාරයෙන් මේ වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවයි.

ගමේ ඉදිකිරීම්වලට ලැබුණු මුදල්වලින් රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි මුදලක් ඉතිරි කැර ගැනීමට අපට හැකිවුණා. ඒ මුදල් ජනසභාවේ නමින් බැංකු ගිණුමක තැන්පත්කැර තිබෙනවා.

මඩවල පුරාණ රජමහා විහාරස්ථානයේ තිබෙන බණ මඩුව දෙවැනි රාජසිංහ රජතුමා විසින් කරවූ ඉපැරණි එකක්. මේ තත්ත්වය පූජාභූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දුන්න. මේ අවුරුද්දේ පූජා භූමි සංවර්ධන අමාත්‍යංශය මඩවල විහාරස්ථානයේ සංවර්ධනයට මුදල් ප‍්‍රතිපාදන ලබා දෙන බවට පොරොන්දු වුණා.

මඩවල ගමේ කුඹුරු අක්කර 280ක් පමණ තිබෙනවා. මේ කුඹුරුවලට පායන කාලයට අන්තිම මුරය වතුර ටික බැඳගන්ට වතුර ගන්ට මොරටුකන්ද වැව අලුත්වැඩියා කැර ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. වැව හදන්නට යන මුදල් ප‍්‍රතිපාදන සාලින්ද දිසානායක ඇමැතිතුමා ලබාදීමට එකඟවී සිටිනවා.

ගැටලුවක් වී තිබෙන්නේ, වැවට අවශ්‍ය ඉඩම් ප‍්‍රමාණය රජයෙන් නිදහස් කැර ගැනීම යි’ වැව හදලා දුන්නොත් සමෘද්ධිලාභී පවුල් 186ක් රජයට සමෘද්ධි කාඩ් භාරදීමට කැමැත්තෙන් ඉන්නවා.

ජේ.ඒ.විපුලසේන මහතා - (58)

අපි දන්නා කාලයේ ඉඳලා මඩ වගුරු මැදින් තමයි අලව්වට ගියේ. එක පාලමක් වත් හදලා තිබුණේ නැහැ.

ඒ කාලයේ අපේ ගම්වල බුලත්, පුවක්, මාළු පොල් ඇතුළු සියලුම දේ විකුණන්ට අරගෙන ගියේ අලව්ව සති පොළටයි.

කරත්තවල පටවලා බඩු අරගෙන යන කොට ඒවා අයිතිකාරයන්ටත් කරත්තේ සමඟ යන්ට වෙනවා. සෑම මඩවලකම කරත්තවලින් බඩු බානවා. ගොන් බාන සමඟ හිස් කරත්තය මඩවලවල්වලින් එගොඩ කරලා මඩවලවල් මැදින් ගමේ අය කරබරින් බඩු අරගෙන ගිහින් ආයෙත් කරත්තෙට පටවා ගන්නවා. එහෙම තමයි සැතපුම් හත අටක් පමණ දුරින් පිහිටි අලව්ව ගමට අප ගමන් කෙළේ.

ගමනැඟුම වැඩසටහනින් අපට පාරත් හැදුණා. ගමට තවත් වැඩ ගොඩක් කෙරුණා. අප දන්න කාලයක මේ වගේ වැඩ ගොඩක් එක ගමකට කෙරුණේ නැහැ. අපේ ජනාධිපතිතුමාත් ගමෙන් ආපු කෙනෙක්නේ. අප ගැන සිතා වැඩ කරන ජනාධිපතිතුමාට අප සැමගේ ගෞරවය හා ආදරය පිරිනමනවා.

ස්තුතිය :-

තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ. දිසානායක, ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.කේ.කේ. කුමාරසිරි, මාධ්‍ය අධ්‍යක්ෂ කපිල ආරියවංශ යන අයට

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා