මේ මැතිවරණයේදී එජාපයට ජනතාව හොඳ පාඩමක් උගන්වාවි

මේ මැතිවරණයේදී එජාපයට ජනතාව හොඳ පාඩමක් උගන්වාවි

අනුරුද්ධ රත්වත්ත හිටපු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය

පොදු පෙරමුණු ආණ්ඩු සමයේ ප‍්‍රබල කැබිනට් අමාත්‍යංශ රැසක අමාත්‍යවරයා ලෙස කි‍්‍රයා කළ ජෙනරාල් අනුරුද්ධ රත්වත්ත මහතා ඉතා දීර්ඝ කාලයක් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කි‍්‍රයා කෙළේය. ශී‍්‍රලනිප ජාතික සංවිධායකවරයාද වන ඔහු කළක් කි‍්‍රයාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටියේ ය. එහෙත් මෙවර තම පුත් ලොහාන් රත්වත්ත මහතා මධ්‍යම පළාත් සභා මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත්වීමත් සමග හෙතෙම යළිත් දේශපාලන කතාබහට ලක්ව ඇත. අනුරුද්ධ රත්වත්ත සමඟ "දිනමිණ" කළ සංවාදයයි මේ.

මධ්‍යම වයඹ මැතිවරණයට තව දින කිහිපයයි තිබෙන්නේ. රජය මේ සඳහා කෙසේද මුහුණ දෙන්නේ ?

මේක කිසිම තරගයක් නැති මැතිවරණයක්. අපිත් එදා අවුරුදු 17 ක් විපක්ෂයේ හිටියා. ඒත් අපි ඒ කාලයේ කිසි ම මැතිවරණයකට අද විපක්ෂය වගේ මුහුණ දුන්නේ නැහැ. එදා ආපු හැම මැතිවරණයකට සාර්ථකව මුහුණ දී අපි හොඳ තරගයක් ලබා දුන්නා.

විපක්ෂය මැතිවරණ කි‍්‍රයාදාමයේ යෙදිය යුත්තේ ආණ්ඩුවටත් වඩා වැඩි ජවයකින් වුවත් ඒ වගේ කිසි දෙයක් අද එජාපයේ දක්නට නැහැ. මැතිවරණ කාර්යාල එකක් දෙකක් දක්නට ලැබුණත් ඒවත් පාලු අම්බලම් වගේ තමයි තියෙන්නේ ඒවායේ පාක්ෂිකයන් නැහැ.

විශේෂයෙන් මධ්‍යම පළාත හඳුන්වන්නේ එජාපයේ බළකොටුවක් ලෙසිනි. ඒ නිසා ඔබ නියෝජනය කරන මධ්‍යම පළාත පිළිබඳ රජයට සැහැල්ලුවෙන් සිතිය නොහැකියි නේද ?

ඇත්තෙන්ම එහෙම තත්ත්වයක් එදා 94 පෙර තිබුණා. අද ඒ වගේ තත්ත්වයක් ගැන හිතන්නවත් බැහැ. මධ්‍යම පළාතේ එජාපය අද මුළුමනින් ම කඩා වැටිලා. එනිසා එජාපයේ එදා තිබුණු ඒ මතයේ අද කිසිම වලංගුභාවයක් නැහැ.

දමිළ මුස්ලිම් ජනතාව අද එජාපයෙන් මුළුමනින්ම ඈත් වෙලා. මධ්‍යම පළාතේ වතුකරයේ සිටින ජනතාව අද ජනාධිපතිතුමා වටා රොක් වෙනවා. මුස්ලිම් ජනතාව පුදුමාකාර විදිහට අද එජාපයෙන් ඉවත් වී රජයට එක්වෙනවා. පසුගියදා ජනාධිපති මන්දිරයට පැමිණි මුස්ලිම් ජනතාවගෙන් එය හොඳට ම පැහැදිලියි. මෙවර මධ්‍යම පළාතෙන් සන්ධානය ලබන ජයග‍්‍රහණය මඟින් මධ්‍යම පළාතේ යළි එජාපයට ඉඩක් නොමැති බැව් තහවුරු වෙනවා.

මේ රටේ දේශපාලනයේ ඉතාම ඉහළ දේශපාලන චරිතයක්ව සිටි ඔබ කෙටිකලක් නිහඬව සිට මෙවර මැතිවරණය සඳහා වැඩිමහල් පුතු ඉදිරිපත් කැර තිබෙනවා. හදිසියේ ම මේ තීරණය ගනු ලැබූවේ ඇයි ?

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් වැඩිමහල් පිරිස් මෙන් ම විශේෂයෙන් තරුණ පිරිසගේ විශාල ඉල්ලීමක් තිබුණා. ලොහාන්ව මැතිවරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒත් අපි ඒ ගැන තීන්දු කෙරුවේ නැහැ. එහෙත් අවසන් මොහොතේ ජනාධිපතිතුමාත් ඉල්ලීමක් කළා. ඒ අනුව ලොහාන්ව පළාත් සභා මැතිවරණ සඳහා ඉදිරිපත් කළා. ලොහානුන් මැතිවරණයට ඉදිරිපත් වන සූදානමකින් හිටියෙ නැහැ.

මේ දේශපාලනය නිසා මගේ පුත්තු දෙන්නත් එක්ක වසර ගාණක් මං හිරේ හිටියා. ඒ අත්දැකීම් එක්ක ලොහාන් දේශපාලනයට එන්න කැමැති වුණේ නෑ. ව්‍යාපාරිකයකු ලෙස ඔහු හොඳ තැනක හිටපු අයෙක්. එහෙත් නාමයෝජනා භාර දෙන්න දිනකට පමණ පෙර ජනාධිපතිතුමා අපට කතා කරලා ඉල්ලීමක් කළා ලොහාන්ව ඉදිරිපත් කරන්න කියලා.

මගේ පුතණුවන් ලොහාන්, ඔබගේ සේවකයා ලෙස මම ඔබට දායාද කරමි කියා තමයි මං ඔහුව ජනතාව අතරට එවා තිබෙන්නේ. තනතුරු ගන්නවත්, ලාභ ප‍්‍රයෝජන ගන්නවත් වැඩි මනාප ගන්නවත් නොවෙයි ඔහුව මේ මැතිවරණයට ඉදිරිපත් කෙළේ.

ඉතා දීර්ඝ කාලයක් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කි‍්‍රයා කළ ඔබ ත‍්‍රස්තවාදය පරාජය කරමින් අද ගෙන යන වැඩපිළිවෙළ දකින්නේ කොහොමද ?

ත‍්‍රස්තවාදය පරාජය කරමින් අද ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මං ඉතාමත් සතුටු වෙනවා. ඇත්තෙන් ම මං හිතන්නේ මං තරම් සතුටු වන අයෙක් ඉන්නවාද කියලත් හිතෙනවා. මොකද අපි විශාල බලාපොරොත්තුවකින් අධිෂ්ඨානයකින් මේ රට බේරා ගැනීමට ඒ කාලයේ කි‍්‍රයාපද්ධතියේ යෙදුණා.

එදා අපිට යාපනය බේරා ගැනීමට හැකි වුණා. එහෙම නැත්නම් එදා ප‍්‍රභාකරන් ඊළමක් ප‍්‍රකාශයට පත් කරලා ඉවරයි. අපිට එදා යුද්ධය අවසන් කරන්න බැරිවුණු හේතු කිහිපයක් තිබුණා. රණවිරුවන් කොරතම් සටන් කළත් අපට අවි ආයුධ උපකරණ ගුවන් යානා ලැබුණේ නැහැ.

භාණ්ඩාගාරය මුදල් දුන්නේ නැහැ. ඒක විශාල ප‍්‍රශ්නයක් වුණා. මොකද අපි මාස 4-5 ක් යුද්ධ කැරගෙන ගිහින් හය මාසයක් නිකන් ඉන්න ඕනෑ මුදල් වෙන්කරනකම්. ඒ වගේ අඩුපාඩු තිබුණා. ඒ අඩුපාඩුකම් තිබුණත් එදා අපිට යාපානය නිදහස් කැර ගන්න හැකි වුණා.

විශේෂයෙන් ජනාධිපතිතුමාගේ නිසි නායකත්වයෙන් කිසිවකු ගේ බලපෑම්වලට යට නොවී එඩිතර තීන්දු තීරණ ගනිමින් මේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වෙනවා. විදේශීය බලපෑම්වලට යට නොවී තීන්දු තීරණ ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙළ ඉදිරියට සාර්ථකව ගෙන යාම පැහැදිලියි. ඒක ලොකු ශක්තියක්.

ඉතා ම ඉක්මනින් යුද්ධය අවසන් කිරීමට අද අවස්ථාව ලැබී තිබෙනවා. මං ප‍්‍රාර්ථනා කරනවා මෙය ඉක්මනින් අවසන් වෙන්න කියා. නිහතමානීව ආඩම්බර වෙනවා අපිත් එක්ක වැඩකරපු අය නේද මේක කරන්නේ කියා.

යුද ජයග‍්‍රහණ රජය දේශපාලන වාසියට යොදා ගන්නා බවට එජාපය හා ජවිපෙ චෝදනා නගනවා නේද ?

යු.එන්.පී. යට අද කියන්න දෙයක් ඉතිරිවෙලා නෑ. ඒ වගේමයි ජවිපෙත් ඒ තත්ත්වයට වැටිලා. ඒ නිසා ඔවුන් මේ වගේ කිසිම පදනමක් නැති ප‍්‍රකාශ කරනවා. කිසි කෙනෙක් මේ අය කියන දේවල් ගණන් ගන්නේ නැහැ. මැතිවරණ 14ක් පැරදිලා ඉන්න එජාපය 15වැනි වතාවටත් පරදිනවා. එක්සත් ජාතික පක්ෂය ඇති කරපු සටන් විරාමය නිසා තමයි මේ වගේ යුද්ධයක් අද කරන්න සිදු වෙලා තිබෙන්නේ.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය අද මහජනතාවට පේනවා. ජනතාව එනිසා එහි ගෞරවය නිරයාසයෙන් රජයට ලබා දෙනවා. කොළඹ බෝම්බ පුපුරවා, ත‍්‍රස්තවාදියා නගරයට ඇවිත් ආදී ප‍්‍රචාර ගෙන යද්දී පවා ජනතාව එදා රජයට ඡන්දය ලබා දුන්නා.

ඒක නිසා පුස් දේශපාලනයකට වැටිලා කියන්න දෙයක් නැතිවුණාම මේ වගේ දේවල් කියනවා ඒවාට ජනතාව නිසි පාඩම් උගන්වයි. ආණ්ඩුවක් ජනතාවට යම් ජයග‍්‍රහණයක් ලබා දෙන විට ජනතාව සිය ගෞරවය ආණ්ඩුවට නිරායාසයෙන් ම ලබා දෙනවා. ඒ නිසා අද අපට යුද්ධයෙන් වාසි ලබා ගන්න අවශ්‍ය නෑ.

තොප්පිගල, සිලාවතුර, මුලතිව්, කිලිනොච්චි වැනි ප‍්‍රදේශ හමුදාවන් අත්පත් කැර ගනිද්දී එම ප‍්‍රදේශ එතරම් වැදගත් නොවන බව ඇතැම් එජාප නායකයන් ප‍්‍රකාශ කළා. ඇත්තෙන් ම මේ ජයග‍්‍රහණ එතරම් වැදගත් නැද්ද ?

ඒ අය හිතන්නේ කොළඹ හත තමයි ලංකාව කියලා. ඔවුන් රට ගැන දන්නේ නැහැ. එහෙම නැත්නම් කොටහේන සේදවත්ත තමයි මුළු මහත් ලංකාවම කියලා ඔවුන් හිතනවා. කිලිනොච්චි මුලතිව් සිලාවතුර මන්නාරම මේ හැම තැනම හමුදාවේ ලුතිනන් කාලයේ සිටම මං රාජකාරි කළා.

ඒ වගේ ම ආරක්ෂක නියෝජ්‍ය ඇමැති කාලයේ උතුරු නැගෙනහිර හැම තැනම මං ගියා. අපේ රටේ හැම අඟලක් පාසාම අපිට වැදගත්. රටට ආදරය නැති රට ගැන හිතන්නේ නැති අයට මේවා තේරෙන්නේ නෑ. ඕවා බංකොළොත් දේශපාලනයේ යෙදෙන අය කියන කතා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා