සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු පංච මහා බලවේගයම .....

බියගම තෛ‍්‍රනිකායික භික්ෂු සංවිධානය පිහිටුවීම

සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු පංච මහා බලවේගයම ජනපති සමගයි

- බියගම ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායක ශාලිත විජේසුන්දර


තැඹිලිගස්මුල්ල ශ‍්‍රී ධීරානන්ද පිරිවෙන්පති පානකාවේ පේමරතන හිමියෝ මහා සංඝරත්නය පිළිගනිමින් කථා කළ අවස්ථාව බියගම ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායක ශාලිත විජේසුන්දර මහතාද මෙහි සිටී
ඡායාරූපය - බියගම විශේෂ

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයම දැන් 1956 දී මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග එකතු වී සිටිනවා යැයිද එසේම දේශපාලන පක්ෂද විශාල සංඛ්‍යාවක් එකතු වී සිටිනවා යැයිද එහෙත් ඒ සියලු බලවේග අතුරින් මහා බලයක් පවතින්නේ මහා සංඝරත්නය නම් බලවේගයට යැයිද බියගම ශ‍්‍රී. ල. නි. ප. ප‍්‍රධාන සංවිධායක අධිනීතිඥ ශාලිත විජේසුන්දර මහතා ප‍්‍රකාශ කෙළේය.

බියගම තෛ‍්‍රයි නිකායික භික්ෂු සංවිධානයේ ගිහි අනුශාසක ද වන ශාලිත විජේසුන්දර මහතා එසේ ප‍්‍රකාශ කෙළේ බියගම තෛ‍්‍රයිනිකායික භික්ෂු සංවිධානය පිහිටුවීම නිමිත්තෙන් පැවති උත්සව සභාවේදීය. තැඹිලිගස්මුල්ල ශ‍්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේදී එය පැවැත්විණි.

විහාරාධිපති කොළඹ හලාවත දෙදිසාවේ උප ප‍්‍රධාන සංඝනායක ධීරානන්ද පරිවේණාධිපති පානකාවේ පේමරතන හිමියෝ වැඩම කළ මහා සංඝ රත්නය සභාවට හඳුන්වා දුන්හ.

ඒ අනුව ශ‍්‍රී ලංකා ස්වේජිං නිකායේ මහා නායක කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ඉඟරුවත්තේ පියනන්ද, දෙල්ගොඩ කල්‍යාණි ප‍්‍රදීප පිරිවෙන්පති වෑබඩ ධම්ම පාල, සපුගස්කන්ද ශ‍්‍රී මහා විහාරාධිපති අධිකරණ සංඝනායක දරණගම ඤාණසිරි, ගොළුම්මහර ශ‍්‍රී සුභද්‍රාරාමාධිපති පණ්ඩිත වතුරුවිල හේමාලෝක, මාකොළ කල්‍යාණවංගිකාරාමාධිපති මාකොළ රතනවංශ අමර ශ‍්‍රී ළමා නිවාසයේ අධ්‍යක්ෂ බෙලිගල අමරසිරි, අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක ඕමාරේ කස්සප, නැගෙනහිර පළාත් ප‍්‍රධාන සංඝනායක කිරිඳිවැල සෝමරතන නාහිමි ඇතුළු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටීම විශේෂ සිද්ධියක් විය.

ශාලිත විජේසුන්දර මහතා එහිදී තවදුරටත් මෙසේද ප‍්‍රකාශ කෙළේය.

බියගම ආසනයේ විහාරස්ථානවල වැඩ වසන සියලුම භික්ෂු මහා සංඝරත්නයට මා ආරාධනා කෙළේ කුමන නිකායේද කියා තෝරා බේරාගෙන නොවෙයි. එහෙත් බියගම ප‍්‍රථම වරටයි මෙබඳු තෛ‍්‍රයි නිකායික මහා සංඝ පීතෘන් වහන්සේ පිරිසක් ඒකරාශී වී තිබෙන්නේ. මට ඉහවහා යන සතුටක් දැනෙනවා.

මුළු ආසනයේම මහා සංඝ රත්නය එකම තැනකට වැඩම කිරීම ගැන. මේ පැමිණීම මට මහත් ආශිර්වාදයක්. මේ මහ සඟරුවන කුමන දේශපාලන පක්ෂ මතධාරී ද කියන එක මට වැදගත් නැහැ.

මේ රටේ ඇති සියලුම බලවේග වලට වඩා සියලු ආශිර්වාද වලට වඩා වටින්නේ මහා සංඝරත්නය බව මා තේරුම් ගෙන තිබෙනවා.

වසර 2600 සම්බුද්ධ ජයන්ති සංවත්සරය ඉතා ඉහළින් පැවැත්වීම ගැන අනුශාසනා ලබා ගැනීමටත් ජාතිය වෙනුවෙන් මගෙන් ඉටු විය යුතු සේවය ගැන අනුශාසනා ලබා ගැනීමත් මෙහි අරමුණයි. මහින්ද චින්තන අර්ථවත් කිරීමේදී මහා සංඝ රත්නයේ අනුශාසනා අවවාද ඉතාම ඵලදායක වෙනවා.

රුහුණු රට භික්ෂු පෙරමුණේ ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඕමාරේ කස්සප හිමි

ජාතික අර්බුදයක් ඇතිවූ හැම අවදියකම මහා සංඝරත්නය අදෘශ්‍යමාන හස්තයක් ලෙස රාජ රාජ මහාමාත්‍යාධීන්ට ශක්තිය ලබාදී තිබෙනවා.

ඒ අයුරින් ජනාධිපතිතුමන් ත‍්‍රස්තවාදීන් මෙල්ල කරද්දී තෛ‍්‍රයිනිකායික මහා සංඝරත්නය කිසිදු බේදයකින් තොරව ආශිර්වාද කළා. ශක්තිය ලබා දුන්නා.

දුටුගැමුණු යුගයේ වලගම්බා යුගයේ පමණක් නොව රජුන් නැති යුගයේ රජුන්තනන්නටත් මහා සංඝරත්නය කටයුතු කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් පත් කර ගන්න ඒ විදියටම කි‍්‍රයා කළා.

උගුරට බෙහෙත් ගාමින් රැස්වීම් වල කථා කරල ජනතාව දැනුවත් කළා. ඒ අපි දේශපාලනය කරන්න නොවෙයි. මේ නායකයා රටේ ප‍්‍රධානියා කර ගන්න බැරි වුණොත් රට විනාශයි කියලා අපට තේරුණ නිසයි. උතුරු නැගෙනහිර ප‍්‍රධාන සංඝනායක අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියෝද අදහස් දැක්වූහ

බියගම තෛ‍්‍රයිනිකායික භික්ෂු සංවිධානයට නව නිලධාරී මණ්ඩලයක් ද මෙහිදී පත් කර ගැනිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා