ඕස්ටේ‍්‍රලියා ලැව් ගින්න නිවන්න අමෙරිකා සහාය:

ඕස්ටේ‍්‍රලියා ලැව් ගින්න නිවන්න අමෙරිකා සහාය:

ගිනි භටයන් දැනටමත් යවලා

ඔස්ටේ‍්‍රලියානු ඉතිහාසයේ ඇති වූ දරුණු ම ලැව්ගිනි මගින් ඊයේ උදය වන විට 173ක් මියගොස් තිබිය දී අමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා විපතටපත් වූවන්ට සංවේගය පළකරමින්, ලැව්ගිනි මෙල්ල කිරීම සඳහා අමෙරිකාවේ සහාය ලබා දෙන බව ඔස්ටේ‍්‍රලියා අගමැති කේවින්රුඩ් ට දුරකතනයෙන් දැනුම් දී තිබේ.

මේ අනුව ඔස්ටේ‍්‍රලියා ගිනිනිවන හමුදාවට සහාය වීමට අමෙරිකානු ගිනිභටයන් 30කට වැඩි ප‍්‍රමාණයක් ඔස්ටේ‍්‍රලියාව බලා එමින් සිටින බව ප‍්‍රකාශ වී තිබිණි.

ලොව විශිෂ්ටතම ගිනි මර්දන සැලැසුම් පවතිද්දිත් වෙනස්වන වේගවත් සුළං අතර මැද පැතිරෙන ගිනි පාලනය කළ නොහෙන තත්ත්වයක් පැන නැගී තිබේ.

මේ මරණ සියල්ල සිදුව ඇති වික්ටෝරියා ප‍්‍රාන්තයේ සෙසු පෙදෙස් කරා එය පැතිරයා හැකි බවට අනතුරු ඇඟවී ඇත. චකිතයට පත් ව සිටින නේවාසිකයෝ ලැව්ගිනි තවතවත් දරුණු වෙතැයි බියට පත් ව සිටිති.

විවේකයකින් තොරව අඛණ්ඩව ගිනි නිවීමෙහි නියුක්තව සිටින ස්වෙච්ඡා භටයන් ද දැන් වෙහෙසට පත් ව සිටින බව පැවැසේ.

නගර ගම් පිටින් ගින්නෙන් වැනසී පවුල්පිටින් අඟුරු වී ගොස් ඇති අතර මේ සතිය අගවන විට මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි සැලකී තිබේ.

මියගිය 173 දෙනාගෙන් බහුතරයක් මෙල්බර්න් නගරයට ඊශානදිගින් පිහිටි ස්ට‍්‍රාදවන් හා සෙන්ට් ඇන්ඩෘස් යන කුඩා නගර දෙකට අයත් බව සඳහන් ය.

ලැව්ගිනි 24ක් පමණ ඊයේ වන විටත් ඇවිලෙමින් පැවැති අතර සුළඟින් අහසට නැඟෙන ගිනි රොටු හා පුළිගු ගින්න පැතිරීමට හේතු වී තිබේ.

ඔස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු සැසි අත්හිටුවා එරට සාමයික ඉතිහාසයේ අඳුරුම කාලපරිච්ඡේදයකට අවධානය යොමා ඇති බව ද ප‍්‍රකාශිතය.

මේ අතර මිනිසුන් පමණක් නොව අදාළ ප‍්‍රදේශයේ කැංගරුවන්, කෝලාවලසුන් ගවයන් හා බැටළුවන් ඇතුළු දහස් ගණන් සතුන් ද පිලිස්සී මියැදී ඇතැයි සඳහන් ව තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා