යුද්ධයට මුල්වූ සාධකවලට සාධාරණ විසඳුමක් දිය යුතුයි

යුද්ධයට මුල්වූ සාධකවලට සාධාරණ විසඳුමක් දිය යුතුයි

- ඇමැති ඩිව් ගුණසේකර

අවුරුදු තිස් ගණනක් යුද්ධය සමඟ ජීවත්වී අද යුද්ධය අවසන්ව ඇතත් යුද්ධය ඇතිවීමට තුඩුදුන් විෂය මූලක සාධක අදත් සමාජයේ දක්නට ලැබෙන බවත්, යළි මෙවන් භයානක තත්ත්වයක් ඇති නොවීමට නම් මේ විෂය මූලික කරුණු කෙරෙහි වහා අවධානය යොමු කළ යුතු බවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සහ ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර මහතා කීය.

ඇමැතිවරයා එසේකීවේ “යුද්ධයෙන් පසු කළ යුත්තේ කුමක්ද?” මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පසුගියදා පැවැති සම්මන්ත‍්‍රණයකදීය.

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අනුස්මරණ කේන්ද්‍රය සංවිධානය කළ මේ සම්මන්ත‍්‍රණය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඩිව් ගුණසේකර මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

යුද්ධය දැන් අවසන්. එහෙත් අවතැන් වූවන් තම නිවෙස්වල පදිංචියට යැවීමට තවමත් හැකියාවක් නැහැ. ඒ ප‍්‍රදේශවල බිම් බෝම්බ වළලා. මේ වන විටත් බිම් බෝම්බ විසි ලක්ෂ හැත්තෑහය දහසක් ගොඩ ගෙන තිබෙනවා.

එම ප‍්‍රදේශවල අලුතින් පොලිසි පිහිටුවා සිවිල් පරිපාලනය යළි ඇති කළ යුතුව තිබෙනවා. ත‍්‍රස්තවාදී කි‍්‍රයා වැළැක්වීම සඳහා තවත් කාලයක් යනතුරු හදිසි නීතිය පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන අවදියේ දැඩි ලෙස රෝගාතුරව සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ලෙඩ ඇඳ් සිට එය කියවා බලා ඒ පිළිබඳ ගැඹුරු විවේචනයක් කළා.

එය කි‍්‍රයාත්මක කළහොත් සිදුවනු ඇති බවට ඔහු කී සෑම අනාවැකියක්ම පසුගිය වසර 30 ඇතුළත සැබෑවී තිබෙනවා. එම ආණ්ඩුක‍්‍රමය විශ්ලේෂණය කළ ඔහු තරම් අනාගතය දුටු වෙනත් පුද්ගලයෙක් නැහැ.

ඉන්දියානු මහ මැතිවරණයේ ප‍්‍රතිඵල වෙනස් වුණා නම් ශ‍්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන තත්ත්වය මෙයට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා. රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව නොහිටියානම් මානව හිමිකම් කොමිෂම ඇතුළු ජාත්‍යන්තර උපක‍්‍රමවලට මුහුණ දෙන්න අපහසුයි.

දෙමළ ජනතාවගේ එකම නියෝජිතයායි කියූ අය තමන්ට විරුද්ධ දෙමළ ජාතික සෑම නායකයෙක්ම මරා දැම්මා. දක්ෂිණාංශික බලවේග සමග සබඳතා පැවැත්වූ එල්. ටී. ටී. ඊ යට අවසානයේ ජනතාවගේ ආරක්ෂාව යටතේ ඉන්න සිදුවුණා.

ආණ්ඩුවේ සිටින වමේ කණ්ඩායම හැටියට 2007 ජූලි 15 වැනිදා සිට රජයේ සේවකයන්ට දෙමළ භාෂාව ඉගෙනීම අනිවාර්ය කිරීමට අපට හැකි වුණා. මේ අනුව දෙමළ කතා කරන අය අතරේ දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමට ඔවුන්ට හැකි වෙනවා. මෙය 1948 දී කළා නම් මේ තරම් ජාතිවාදී ප‍්‍රශ්න මතු වෙන්නේ නෑ.

ඉතිහාසය විසින් අපිව තීරණාත්මක සංධිස්ථානයකට ගෙනැවිත්. මේ වෙලාවෙ අනෙකුත් භේද සියල්ල පසෙක දමා ප‍්‍රධාන පක්ෂ දෙක එක මතයකට ඇවිත් යුද්ධය ඇති වීමට වීමට තුඩු දුන් සාධකවලට සාධාරණ විසඳුමක් ලබා දීමට කටයුතු කළ යුතුයි.

කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමිද, සර්වෝදය ව්‍යාපාරයේ නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාද අදහස් දැක්වූහ.

මේ අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ ඇමැති තිස්ස විතාරණ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා මහත්වරුද සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා