ත‍්‍රස්තවාදය මුළු ලෝකයෙන්ම අතු ගා දැමීමට ආශිර්වාද කළ යුතුයි

ත‍්‍රස්තවාදය මුළු ලෝකයෙන්ම අතු ගා දැමීමට ආශිර්වාද කළ යුතුයි

- පෝරුව දණ්ඩේ සුමනහිමි

අවුරුදු තිහක කාලයක තිස්සේ පැවැති ත‍්‍රස්ත‍්‍රවාදය මෙරටින් අතුගා දමන්නට ජනාධිපති ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරු සමත් වුණ බවත් ජාත්‍යන්තර වශයෙන් ද ත‍්‍රස්තවාදය තවමත් ලෝකයේ රටවල්වල පවතින නිසා ඒ රටවල්ද මේ සටනේදී අපට සහාය වුණා බවත් එම රටවලින් ද ත‍්‍රස්ත‍්‍රවාදය තුරන් කරලීමට අප ආශීර්වාද කළ යුතු බවත් මදුරාවල ප‍්‍රාදේශීය ශාසනාරක්ෂණ මණ්ඩලයේ සභාපති පෝරුව දණ්ඩේ සුමන හිමියෝ පැවැසූහ.

වරකාගොඩ ගල්ලෙන රාජමහා විහාරස්ථ මෛතී‍්‍ර වැඩිහිටි සමිතිය හා ගල්ලෙන රජමහා විහාරස්ථ පිරිවෙන මඟින් රජයට ජනාධිපතිතුමා ඇතුළු ති‍්‍රවිධ හමුදාවට සෙත් පැතීම සඳහා එම විහාරස්ථානයේ පැවැති බෝධි පූජා පින්කමේදී අනුශාසනාවක් කළ විහාරාධිපති සුමන හිමියෝ එසේ පැවැසූහ. එහි දී තවදුරටත් අනුශාසනා කළ සුමන හිමියෝ මෙසේ ද පැවසූහ.

කිසිදාක ප‍්‍රභාකරන් පරාජය කළ නොහැකි යැයි කියූ අයද මෙරටේ සිටියා. අපේ විරෝධාර රණවිරුවන් ජීවිත පූජාවෙන් තමයි මේ ජයග‍්‍රහණය ලබා ගත්තේ. ඒ නිසා අප සැවොම ඔවුන්ට ණය ගැති ය.

මේ සමාජය රණවිරුවන් අභිමානයෙන් යුතුව සැලකිය යුතු වෙනවා. මේ සටනේ දී මවුපියන්ට දරුවන් අහිමි වුණා. බිරින්දෑවරුන්ට සැමියන් අහිමි වුණා. දරුවන්ට පියවරු අහිමි වුණා. සහෝදර සහෝදරියන් , අහිමි වුණා. ජීවිත දහස් ගණනක් මේ සටනේදී අහිමි වුණා.

පැරැණි රජදවස රජවරු රටේ කැරැල්ලක් ඇති වූ අවස්ථාවලදී සතුරා පරාජය කිරීමෙන් පසු රට සංවර්ධනය කළා. අද කළ යුත්තේ ද එයයි.

යුද්ධය නිසා රට අවුරුදු පනහකට වැඩි කාලයක් ආපස්සට ගිහින්. එම අවුරුදු පනහේ කාලය සංවර්ධනය යළි ලබාගත යුතුයි. රටේ තරුණ පිරිස් මෙහි දී පෙරමුණගෙන කටයුතු කළ යුතු වෙනවා.

ජාතින් අතර සමඟියෙන් කටයුතු කළ යුතු අතර දමිළ කියා වෙනසක් නොකළ යුතුයි. දමිළ අයද අද පන්සලට එනවා යනවා. ඒ නිසා සිංහල දමිළ කියා වෙනසක් නොකර සමඟියෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට පුරුදු විය යුතු ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා