පාණදුර ගාලු පාරේ රිය අනතුරු වැඩිවෙලා

පාණදුර ගාලු පාරේ රිය අනතුරු වැඩිවෙලා

පාණදුර ගාලු පාරේ වාද්දුවේ සිට මොරටු මෝදර අලුත් පාලම දක්වා මාරක රිය අනතුරු සිදුවීම ඉකුත් සති තුන ඇතුළත වැඩි වී ඇතැයි වාර්තා වේ.

ජූනි පස් වැනිදා සිට මේ දක්වා සිදුවූ මාරක රිය අනතුරුවලින් හතරදෙනෙකු මියගොස් තිබේ.

මෝදර මොරටුව පාලම අසල ගාලු පාරේ යමින් සිටි පිය පුතු දෙදෙනා පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාණදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙසේ මියගියේ මොරටුව එගොඩඋයනේ පදිංචි ප‍්‍රැන්සිස් ෆොන්සේකා 48 සහ ඔහුගේ පුත් 16 හැවිරිදි සුජිත් ෆොන්සේකා යන දෙදෙනාය. ඔවුන්ව යට කරන ලද පෞද්ගලික බස් රථය පලාගොස් ඇත.

ඉකුත් බදාදා 03 දා රාතී‍්‍ර පාණදුර ගාලු පාරේ නල්ලුරුව දිබ්බැද්ද හංදිය අසල දී අඹු සැමි යුවලක් යටකර දැමූ සුදු පාට වෑන් රථයක් පලා ගියේය.

මේ අනතුරින් තුවාල ලැබූ කරුණාමුනි දයානන්ද සිල්වා (61) පාණදුර රෝහලට ඇතුළත් කළ වහාම මිය ගියේය. ඔහුගේ බිරිය වූ ගර්සි සුවිනිතා ද සිල්වා බරපතළ තුවාල ලබා පාණදුර රෝහලට ඇතුළත් කැර ඇත.

වාද්දුවේදී 2009.06.06 දින සිදුවූ රිය අනතුරකින් මොරටුව කටුබැද්දේ ලංකා ජර්මානු අභ්‍යාස විද්‍යාලයේ ගුරු උපදේශක ආර්. ඒ. ධර්මවිජය ගුණසේකර මහතා (34) මිය ගියේය.

පෞද්ගලික බස් රථයක් ඔහුගේ මෝටර් බයිසිකලයක් ගැටීමෙන් වාද්දුව ප‍්‍රදේශයේදී මේ අනතුර සිදුවී ඇත.

මේ මරණ හතර පිළිබඳව පාණදුර රෝහලේ දී පැවැත් වූ මරණ පරීක්ෂණවලදී තීන්දු වූයේ ගාලු පාරේ සිදුවූ හදිසි රිය අනතුරුවලින් එම මරණ සිදුවී ඇති බවයි.

පාණදුර, වාද්දුව සහ මොරටුව පොලිස්ථාන පරීක්ෂණ පවත්වති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා