පරියත්ති සාසනය

පරියත්ති සාසනය

ප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මොනවට දේශනා කළ ධර්මය , ශොභන වූ හෙයින් ද ශාන්තාතිශාන්ත වූ හෙයින් ද පවිත්‍ර වූ සාධු ධර්මයක් වූ හෙයින් ද “සද්ධම්ම” (සද්ධර්ම) නමින් හැඳින් වේ’ “සාසන” නමින් ද හැඳීන්වෙන මෙම ශ්‍රී මුඛ දේශනාව ත්‍රිවිධා කාර වේ’

එනම් ! පරියත්ති සාසන 2. පටිපත්ති සාසන හා පටිවේධ සාසන යනුවෙනි. ප්‍රගුණ කළ යුතු ත්‍රිපිටක බුද්ධ වචනය පරියත්තිය වශයෙන් ද , පරියත්තියට අයත් ධුත ගුණ , ආචාර සීල , අධිසීල , අධිචිත්තත , විපස්සනා වශයෙන් දැක් වූ භික්ෂුන් වහන්සේ විසින් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති සමූහය පටිපත්තිය වශයෙන් ද , එම පිළිවෙත් පිරීමෙන් ලබන සොතාපත්ති ආදී මාර්ග ඵල සහ නිර්වාණය පටිවේධ වශයෙන් ද සැකෙවින් දැක්විය හැකිය.

මෙම ත්‍රිවිධ ශාසනයෙන් ප්‍රමුඛ වනුයේ “පරියත්ති” යයි. ඒ බව “පරියත්තියෙව හි සාසන ස්ස මූලං” යන අටුවා පාඨයෙන් ප්‍රකට වේ. එසේම පරියත්තියෙන් පටිපත්තියත් පටිපත්තියෙන් පටිවේධයත් සිද්ධ වන බව දත යුතුය.

ශ්‍රී මුඛ දේශනාව හෙවත් පරියත්තිය ධර්ම – විනය වශයෙන් දෙවදෑරුම් ද විනය පිටකය , සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය යනුවෙන් තෙවදෑරුම් ද වේ. විනය පිටකය – පරාජික පාළි පාචිත්තිය පාළි, මහාවග්ග පාළි , චුල්ලවග්ග පාළි සහ පරිවාර පාළි වශයෙන් ග්‍රන්ථ 05 කින් ද සූත්‍ර පිටකය – දීඝ නිකාය, මජක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය සහ ඛුද්දක නිකාය වශයෙන් ග්‍රන්ථ 05 කින් ද අභිධර්ම පිටකය – ධම්ම සංගණි ප්පකරණය විභංග ප්පකරණය , කථාවත්ථුප්පකරණය , පුග්ගල පඤ්ඤත්තිප්පකරණය, ධාතු කථාප්පකරණය , යමකප්පකරණය හා පට්ඨානප්පකරණය වශයෙන් ග්‍රන්ථ 07 කින්ද සංග්‍රහ කොට ඇත.

මෙම ලිපියෙන් පරියත්ති සාසනය හෙවත් පර්යාප්ති ශාසනය පිළිබඳව විමසනු ලබන්නේ භික්ෂු අධ්‍යාපනය හෙවත් පිරිවෙන් අධ්‍යාපනය සර්ව ප්‍රකාරයෙන් ම ගොඩනැගී ඇති ආකාරයයි’

භික්ෂු අධ්‍යාපනයේ නිර්දේශය

දීඝනිකායේ ‘මහා පරිනිබ්බාණ සූත්‍රයේ ‘ දැක්වෙන පරිදි වසවර්තිමාරයා විසින් බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන ලෙස ඇරයුම් කළ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශය පර්යාප්තිය භික්ෂු අධ්‍යාපනයේ පදනම බව වටහා දෙන්නකි.

”න තාවාහං පාපිම, පරිනිබ්බායස්සාමි, යාවමේ භික්ඛු තරසාවකා භවිස්සන්ති වියත්තා විනීතා - පෙ – උප්පන්නං පරප්පවාදං සහ ධම්මේන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පට්ටිපතරියං ධම්මං දෙසස්සත්ති”

”පවිටු මරුව , යම්තාක් මගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ව්‍යක්ත , විනීත , විශාරද , බහුශ්‍රැත , ධර්ම ධර, ධර්මානු ධර්ම ප්‍රතිපන්න , සාමීචි ප්‍රතිපන්න, අනු ධර්මචාරී ශ්‍රාවකයෝ නොවන්නා හූ ද , ස්වකීය ආචාර්ය වාදය ඉගෙන නොකියන්නා හූ ද , නොදෙසන්නාහු ද , නො පණ වන්නාහු ද , විවෘත කොට නොදක්වන්නා හූ ද , බෙදා නොදක්වන්නා හූ ද , නොදක්වන්නා හූ ද පහළ වූ පරප්‍රවාදය කරුණු සහිතව මැඬලා ප්‍රාතිහාර්ය සහිත (නෛයර්්‍යාණික කොට) දහම් නොදෙසන්නා හූ ද ඒ තාක් නො පිරිනිවෙන් නෙමි”

මේ ප්‍රකාශය තුළින් සිවුවණක් පිරිස ධර්ම ධරව පරවාද මථනය කිරීම සඳහා ධර්මය දේශනා කළ බව ප්‍රකට වෙයි. ඒ අනුව භික්ෂු අධ්‍යාපනයේ පදනම අන්කිසිවක් නොව පර්යාප්තියමැ යි.

මහා පරිනිබ්බාණ සූත්‍රයේ දීම , බුද්ධ ශ්‍රාවකයා ශාසනස්ථිතිය උගත යුතු දහම් කොටස් මෙසේ නිර්දේශ කොට ඇත.

“තස්මා තිහ භික්ඛවෙ යෙ තෙ මයා ධම්මා අභිඤ්ඥා දෙසිතා තෙ වො සාධුකං උග්ගහෙත්වා , අසෙවිතත්තබ් , භාවෙතබ්බා - පෙ – අත්ථාය හිතාය සුඛාය දේවමනු ස්සානං” යන පාඨයෙන් භික්ෂු අධ්‍යාපනයේ නිර්දේශය කෙසේ සමන්විත විය යුතු දැයි අපට පැහැදිළි වේ.

සතර සතිපට්ඨාන , සතර සම්‍යක් ප්‍රධාන , සතර ඍද්ධි පාද , පංච ඉන්ද්‍රිය , පංච බල , සත්ත බොප්ඣංග , ආර්යය අෂ්ටාංගික මාර්ගය යන බොධිපාක්ෂික ධර්ම 37 ඉගෙන පුරුදු පුහුණු කිරීමෙන් ම සසුන පවතින බවත් , දෙවි මිනිස් බොහෝ දෙනාට හිත වැඩ පිණිස පවතින මෙම දේශනාවෙන් පැහැදිළි වේ.

”සබ්බ දුක්ඛ නිස්සරණ තිබ්බාණ සච්ජිකරණත්වාය .......” සියලු දුක් නැතිකොට නිවණ සාක්ෂාත් කිරීම පැවිද්දේ පරමාර්ථයයි. එහෙයින් භික්ෂු (පිරිවෙන්) අධ්‍යාපනයේ පරමාර්ථය ද භික්ෂුන් වහන්සේගේ පරමාධ්‍යශය වූ මාර්ග ඵලාවබෝධයට යොමු වූවක් විය යුතුය. 1979 පිරිවෙන් අධ්‍යාපන පණතේ දක්වා ඇති පිරිවෙන් අධ්‍යාපනයේ අරමුණු හා පරමාර්ථ මෙම බුද්ධ දේශනයට අනුකූලව ඇතුළත් කර ඇත.

එකී පරමාර්ථ සාධනය කරගනු පිණිස ප්‍රමුඛ වශයෙන් ත්‍රිපිටක ධර්මය හැදෑරීම අත්‍යවශය වෙයි. විශේෂයෙන් අධිශීල ශික්ෂා සමාදානයට විනය පිටකය ද , අධි චිත්ත ශික්ෂා සමාදානයට සූත්‍ර පිටකය ද අධි ප්‍රඥා ශික්ෂා සමාදානයට අභිධර්ම පිටකය ද උපයෝගි කරගත් ශ්‍රාවකයාම පරවාද මර්දනයෙහි සාමාර්ථය ලබනු ඒකාන්තය. භික්ෂුන් වහන්සේ නමකට බ්‍රහ්මජාල , මූල පිරියාය , මහා සීහනාද , මූළ සීහ නාද , සච්චක , මහා සච්චක ආදී සූත්‍ර හැසෑරීමෙන් ම පරවාදමථනය කිරීමේ කෞශල්‍යය වර්ධනය කර ගත හැකිය.

ධර්මය හැදෑරීමේ අරමුණ සාමිස වූවක් නොව නිරාමිස වූවක් බව අවධාරණය කළ යුත්තකි. ආර්ථික ලාභය මත ලෞකික අධ්‍යාපනය රදා පවතින මුත් ධර්මාධ්‍යාපනය එසේ නොවේ. ඒ බව පර්යාප්ති ධර්මයට අයත් නවාංග ශාස්තෘ ශාසනයට අයත් ඉගැන්වීම් පුහුණු කරවීම හා පරවාද මර්දන කෞශල්‍යයට ඉඩ සලසා තිබීමෙන් ද පැහැදිළි වේ.

අලගද්දූපම සූත්‍රයට “ අනුව ධර්මය උගත යුත්තේ අලගද්ද පර්යාප්තියෙන් නොව නිස්තරණ පර්යාප්තියෙන් හෝ ධර්ම භාණ්ඩාගාරික පර්යාප්තියෙනි.

රහතන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික , පර්යාප්තියෙන් ද, සප්තවිධ ශෛක්ෂයන් නිස්කරණ පර්යාප්තියෙන්ද , පෘථග්ජනයන් අලගද්ද හා තිස්කරණ පර්යාප්තියෙන් ද ධර්මය හදාරණ බව එම සූත්‍රාන්තයෙහි සඳහන් වේ.

පෘථග්ජනයන් අතරට පාරමී පුරණ බෝධි සත්ත්වයෝ ද ඇතුළත් වෙති. ඔවුනගේ අපේක්ෂාව ඉහාත්මයෙහි සසර දුකින් මිදීම නොවේ. එසේම සෙසු පෘථග්ජනයෝ ද මතු භවයක හෝ සසරින් එතර වීමේ අදහසින් ම ධර්මය හැදෑරිය යුත්තාහ. යමෙක් චීවරාදි සිවු පසය අපෙක්ෂාවෙන් හෝ සිවු පිරිස් මැද ප්‍රසිද්ධවනු රිසියෙන් ධර්මය උගනී නම් එය “අලගර්ද පර්යාප්තිය “ යි මෙය මාර්ග ඵලාවබෝධයට ඉවහල් නොවන බැවින් බුදුරජාණන් වහන්සේ විසින් ගර්හාවට ලක් කරණ ලද්දකි.

පර්යාප්තිය හෙවත් භික්ෂු අධ්‍යාපනය ශ්‍රද්ධාව මුල් කොට පවතින්නක් බව“සද්ධාජාතො උපසංකමති” යනාදී අධ්‍යයන පටිපාටියෙන් පැහැදිළි වේ. ඒ අනුව ශිෂ්‍යයා ශ්‍රද්ධාවෙන් ගුරුවරයා වෙත පැමිණීම , එසේ පැමිණ ගුරුවරයා ඇසුරු කිරීම , කන්’ යොමු කිරීම , ඇසූ ධර්මය සිතෙහි තැන්පත් කර ගැනීම , එසේ ධාරණය කළ ධර්මය නුවණින් විමසා බැලීම , අර්ථය විමසා වටහා ගැනීම , වටහා ගත් ධර්මයට රුචිය දක්වා උත්සාහ කිරීම , උත්සාහ කොට සසදා බැලීම සසදා බලා දැඩිව වෑයම් කිරීම , දැඩිව වෑයම් කොට පරමාර්ථ සත්‍යය කයින් සාක්ෂාත් කිරීම සහ කයින් පසක් කළ පරමාර්ථ සත්‍යය ප්‍රඥාවෙන් ප්‍රතිවේධ කිරීම ධර්මය උගත යුතු පිළිවෙළ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත.

භික්ෂු අධ්‍යාපනයේ ප්‍රධාන භාෂාව මාගධී හෙවත් පාලි පාලි භාෂාව වන අතර , හැකි තරම් භාෂා උගත යුතු බව“පටි සම්භිදා අට්ඨකථා” වේ සඳහන් වේ. එහි සඳහන් වන පරිදි අධ්‍යාපනයට ඉවහල් වන කරුණු අතර “සසර පුරුද්ද ඇති බව, බහුශ්‍රැත භාවය , භාෂා 100 ක් පිළිබඳ දක්ෂතාවය , බුද්ධ ධර්මය පිළිබඳ දැනුම , අර්ථ විචාරීම , මාර්ග ඵල අවබෝධ කිරීම , බහුශ්‍රැත ප්‍රතිභා සම්පන්න ගුරුවරුන් ඇසුරු කිරීම හා බහුශ්‍රැත ප්‍රතිභා සම්පන්න කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ද යන කරුණු අර්ථ , ධර්ම , නිරුක්ති , ප්‍රතිභාන යන චතු පටි සම්භිදාවන් ලබා ගැනීමට හේතු වේ.

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහිම සැකසුණු භික්ෂු අධ්‍යාපනය මහින්දාගමනය සමග ලක් දිව ද ආරම්භ විය. පර්යාප්ති ශාසනය නො ඉක්මවූ එය යුගයෙන් යුගය විවිධ නැගීම් බැසීම් වලට මුහුණ පෑ අතර වර්තමානයේ භික්ෂු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වශයෙන් ශසනාරක්ෂාව වෙනුවෙන් අපමණ සේවාවක් සිදුකරන බව පැහැදිළි කරුණකි. “පිරිවෙන් පුනරුදය” හා ජාතික පිරිවෙන් දිනය සැමරීමේ දී පර්යාප්ති ශාසනය මැනවින් සපුරාලීමට කාගේත් අවධානය යොමු වීම වැදගත්ය.

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ

පත්බේරියේ විමලඤාණ නාහිමි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා