පටිපත්ති සාසනය

පටිපත්ති සාසනය

පාලි භාෂාවෙන් පටිපත්ති යන පදය සඳහා ප්‍රතිපත්ති යනුවෙන් සිංහලෙන් අර්ථ සපයා ඇත. එකී පදයේ පහසු අවබෝධය පිණිස “පටිපත්ති” පදය පාලියේ භාවිතව ඇති අවස්ථා කිහිපයක් පහත දක්වමු.

01. පටිපත්ති – පිළිවෙත් හා බැඳී ඇත. ප්‍රතිපත්ති ධර්මයට අනුරූප වූ, ප්‍රතිපත්ති ශාසනය. (දම්පියා අටුවා ගැට පදය)

02. පටිපත්ති ක්‍රමය – ප්‍රතිපත්ති මාර්ගය, පතිපත්ති විධි, පිළිවෙත් මග, පිළිපැදිය යුතු ක්‍රම (ශී‍්‍ර සද්ධර්ම කෝෂය)

03. පටිපත්ති වග්ග - සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ වග්ග අතරින් එකකි. එහි සමස්ත වග්ග සංඛ්‍යාව 10 කි.

04. පටිපත්ති සද්ධම්ම – ත්‍රිවිධ ශාසනයෙන් එකකි. ප්‍රතිපත්ති ශාසනය යි. පිළිවෙත් සසුනයි.

05. පටිපත්ති සූත්‍රය - සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ පටිපත්ති වග්ගයේ සූත්‍රයකි. මෙහි මිච්ඡා දිට්ටි හා සම්‍යක් දෘෂ්ටි, ප්‍රතිපත්ති පිළිබඳව වදාරණ බුදුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටි ඇතුළු අංග අටක මිත්‍ය දෘෂ්ටි ලෙස ද, සම්‍යක් දෘෂ්ටිය ප්‍රධාන අංග අට (ආර්ය අෂ්ටාංගික මාර්ගය) සම්‍යක් ප්‍රතිපත්ති ලෙස දක්වා ඇත.

බුදු සමය වූ කලී බොහෝ සෙයින් ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දෙන දර්ශනයකි. ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්ඛ පවත්තන සූත්‍රයේ දී චතුරාර්ය සත්‍යයෙහි පරිවෘත තුනක් (තිපරිවට්ටං) බැගින් සත්‍ය සතර දොළොස් ආකාර බව වදාළහ.

1. දුක පිළිබඳ ඥානය. එය පිරිසිඳ දත යුතු වීම. පිරිසිඳ ගැනීම.

2. සමුදය පිළිබඳ ඥානය. එය ප්‍රහීන කළ යුතු වීම. ප්‍රහීන කිරීම.

3. නිරෝධය පිළිබඳ ඥානය. එය සාක්‍ෂාත් කළ යුතු වීම, සාක්‍ෂාත් කිරීම.

4. අරිඅටඟි මග පිළිබඳ ඥානය. එය වර්ධනය කළ යුතු බව, වර්ධනය කිරීම.

උක්ත සතර කාරණාව හුදෙක් ම දාර්ශනික උපන්‍යාස නොවෙයි. ප්‍රායෝගික වටිනාකමක් ඇති උපයෝගිකාත්මක දහමක් ලෙස අවධාරණය කෙරෙයි. “පරිඤෙඤය්‍ය, පරිඤඤාක, පහාතබ්බ, පහීන, සච්චිකාකබ්බ, භාවික” යුනවෙන් අනාගත කාල කර්ම කාරක කෘතන්ත පද භාවිත කොට තිබීමෙන්ම එය මැනවින් ප්‍රත්‍යක්‍ෂ ය.

සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උප සම්පදා

සචිත්ත පරියො දපතං - ඒතං බුද්ධාන ශාසනං

මේ අනුව බුදු සමයෙහි උපයෝගිකාත්මක ලක්‍ෂණය මැනවින් ප්‍රකට වෙයි. සියලු බුදුවරුන්ගේ අනුශාසනය වූයේ සියලු පවින් වැළැකීම ය. කුසල් වැඩි දියුණු කිරීමය. සිය සිත දමනය කිරීමය. එවිට සිතට වසඟ වන තමන් තමන්ට අවශ්‍ය පමණට සිත වසඟ කර ගැනීමට සමත් වෙයි.

”තුමෙහව කිච්චං ආතස්සං - පාකධාකාරො තථාගතා

පටිපන්නා මොඣන්ති – ඣායිතො මාර බධතා (ධම්ම පදය 276)

ප්‍රතිපත්ති ශාසනයට කවර ස්ථානයක් හිමිවීදැයි අවබෝධයට උක්ත ගාථාව ම වුව ප්‍රමාණවත් ය. තොප විසින් උත්සාහයෙන් කෘත්‍යයන්හි මැනැවින් යෙදිය යුතුය. තථාගත වරු මග කියන්නෝ පමණක් වෙති. මගට පිළිපන් ධ්‍යානීහු මාර බන්ධනයෙන් මිදෙති යනු එහි සරලාර්ථය යි.

ධම්ම දායාද සූත්‍රයෙහි වඩාත් අවධාරණය කරනුයේ “මහණෙනි! මේ රුක්මුල් සෙනසුන් කරා එළඹ භාවනා කරව්. පසුව විපිළිසර නොවව්” යනුවෙනි.

බුදුන් වහන්සේ අලගද්දූව සූත්‍රයේ දී තමන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පහුරකට උපමා කළ සේක. එය අවශ්‍ය වන්නේ ගඟ තරණය කිරීම සඳහා ය. මෙසේ විවිධ සූත්‍ර දේශනා තුළ බුදුන් වහන්සේ නිර්වානාවබෝධය ලබන තුරුම සේක හෙවත් ශෛක්‍ෂ නමින් මාර්ගස්ථ පුද්ගලයා හැඳින්වීමෙන් ඔහු හික්මීමෙන්, ප්‍රතිපත්ති පුරමින් සිටින, සිටිය යුතු අයකු ලෙස ය. අසේක හෙවත් අශෛක්‍ෂ නම ලබන්නේ ප්‍රතිපත්ති ජීවිතයේ කූට ප්‍රාප්ත අවස්ථාවේදීය. රහත් ඵලයට පත්වූ විට ය.

01. පරියත්ති – ධර්මය

02. පටිපත්ති – ධර්මාවබෝධය ලබන ප්‍රතිපදාව පිළිවෙත

03. පටිවේද – ධර්මාවබෝධය

මෙහි ධර්මය යන්න සත්තිස් බෝධිපාක්‍ෂ ධර්ම, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්‍ෂණය, පටිච්ච සමුත්පාදය ආදී විවිධ නම්වලින් හැඳින්වීමට වෙරදරා ඇත. ප්‍රභේද කොට දක්වා ඇත. ඒ කවරක් වුව අවබෝධ කර ගන්නා ක්‍රමවේදය හැඳින්වූයේ ප්‍රතිපදාව නමිනි. එය ප්‍රතිපත්ති පූජාව නමින් ද වෙසෙසා දැක්වූ අවස්ථා හමුවෙයි.

01. අනුපුබ්බ සඣා

02. අනුපුබ්බ කිර්යා

03. අනුපුබ්බ පටිපදා යනුවෙන් එය ද ත්‍රිවිධාකාරය. මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ ගණන මොග්ගල්ලාන සූත්‍රයේ දී ගණ මොග්ගල්ලාන බමුණා බුදුන්ගෙන් පියවරෙන් පියවර ගමන් කරන අනුපිළිවෙළක් ඇද්දැයි විමසූ අවස්ථාවේදී ඉන්ද්‍රිය සංවරය, හා පුණ්‍ය සන්තිශි‍්‍රතයෙන් පටන් ගෙන පඤ්ච නීවරණවලින් වෙන්ව ධ්‍යාන වඩා නිවන් පසක් කිරීම දක්වා ඇති අනුපිළිවෙළ බුදුහු වදාළහ.

ශී‍්‍ර සද්ධර්මය කට පාඩමින් හෝ ග්‍රන්ථ වශයෙන් හෝ ගොනු කොට තබා ආරක්‍ෂා කිරීමට ඇති දෙයක් නොව ප්‍රතිපදා මාර්ගයට යොමු කොට, ජීවිතය සකස් කර ගැනීමට සසර කෙටි කර ගැනීමට තම නුවණින් දැකීමට ම ඇති දෙයක් බව ධම්ම පදයේ එන

බහුම්පිචෙ සහිතං භාසමාතො - නතක්කරණ හොති නරො පමත්කො

ගොපෝව ගාවො ගණයං පරෙසං - න භාගවා සාමඤ්ඤස්ස හොති

ගාථාවෙන් පැහැදිලි වෙයි.

නුවණැති ප්‍රතිපත්ති ගරුක බෞද්ධයා සාංසාරික වශයෙන් තම සිතෙහි බැඳී කෙලෙස් මල ටිකින් ටික මොහොතින් මොහොත ලෝකුරුවෙකු රිදියෙහි මල හරින්නා සේ කෙලෙස් මල බැහැර කරන බව, බැහැර කළ යුතු බව

”අනුපුබ්බෙන මේධාවී - ථොක ථොකං ඛණෙ ඛණෙ

කම්මකාරො රජතස්සෙව - නිද්ධමේ මල මත්තනො” යන්නෙන් කියවෙයි.

බුදු දහම ජීවිතයට ප්‍රායෝගික ප්‍රතිඵල ලබා දෙන දහමක් බව මහා කස්සප, මහා මොග්ගල්ලාන, මහාචුන්ද වැනි බොජ්ඣංග සූත්‍රවලදී පැහැදිලි කෙරෙයි. සති, ධම්මවිඩය විර්ය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්‍ඛා යන බෝධි අංග වැඩීමෙන් බහුලව ප්‍රගුණ කිරීමෙන් සම්බෝධිය, නිවන පවා ලැබිය හැකිය. ධර්මය සන්දිට්ඨික, අකාලික, ඒහි පස්සික, පච්චත්තං වේදිතබ්බ යනාදී විශේෂණ වලින් හැඳින්වීමට වූයේ එබැවිනි. එහි ප්‍රායෝගික වටිනාකම හේතුවෙනි. ප්‍රතිපත්තියක් ලෙස පිරිය යුතු බැවිනි. ඒ පිළිවෙත් පුරණ තරමට “සුද්ධි අසුද්ධි පච්චතිකං නාඤ්ඤමඤ්ඤං විසොධයේ” පිරිසිදු බව හෝ අපිරිසිදු බව තමාම ඇති කර ගනියි.

චක්ඛුපාල කථා වස්තුවේදී ග්‍රන්ථ දුරය හා විදර්ශනා දුරය යැයි දුර දෙකක් දක්වා ඇත. ඉන් විදර්ශනා දුර ලෙස දක්වා ඇත්තේ මේ පටිපත්ති ජීවිතය යි. විදෘග් ධාතුවත් නිපන් විදර්ශනාව විශේෂ දැකීම ලබා දෙයි. මිත්‍යා දෘෂ්ටියෙන් මම ය, මගේ ය යන බැඳීමෙන් වළකයි.

අන්තගාමී ප්‍රතිපදාවෙන් වෙන්වූ මධ්‍ය ප්‍රතිපදාව හෙවත් මැදුම් පිළිවෙත බෞද්ධ ප්‍රතිපත්ති ජීවිතයේ මූලය යි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස ද නම් කරයි.

මෙ අරි අටගි මග ම “සම්මා” යන උප පදයකින් වෙසෙසා ඇත. ඉන් ගම්‍ය වන්නේ එකී අංග අටම විශේෂයෙන් අවධානයට යොමු විය යුතු බවයි. පළමු පියවර ලෙස මෙහි දක්වා ඇත්තේ සම්මා දිට්ඨිය යි.

එම ගිහි නියතිවාදී හා භෞතිකවාදී දෘෂ්ඨින් ප්‍රතික්‍ෂේප වෙයි. අනතුරුව කර්මය හා සංසාරය යන නිවැරැදි දෘෂ්ටි කරා යොමු කරවයි. එවිට චර්යා වර්ධනය චින්තනයේ නිවැරැදි බව ඇතිවෙයි. “චේතනා” ලෙස බුදු සමය හඳුන්වන මෙම මානසිකත්වය තෘෂ්ණාවෙන් මිදුණු අව්‍යාපාද ලක්‍ෂණ සහිත ය. එය කායිකව, මානසිකව හා වාචසිකව ප්‍රකට විය යුතුය.

අව්‍යාපාදයේ දෙවැන්න සම්මා කම්මන්තය යි. එකී අංගයෙන් සිදුවන වැරැදි නිසා සමාජ අපචාර රාශියකට මුලපිරෙයි. ඉන් වැලැකුණු කල්හි කරුණාව, මෛත්‍රීය, මෘදු බව වැනි සමාජ ප්‍රගතියට අදාළ චර්යා වර්ධනය වෙයි. සම්මා ආජීවයෙන් පෙන්වා දෙන්නේ මිනිස් ජීවිතය කිසියම් අරමුණක් කරා පවත්වාගෙන යාමේ වැදගත්කමයි. එහිදී භෞතික සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය ද අපේක්‍ෂිත ය. සම්මා වායාම හෙවත් නිවැරැදි වෑයම ඒ සඳහා ය.

තමා සිදුකරන ඕනෑම ලොකු කුඩා කුසලාකුසල කර්ම සඳහා සම්මා සතිය හෙවත් මනා අවධානය යොමු විය යුතුය. එවිට ඉලක්කයෙන් නොමිදී සතර අගතියෙන් වෙන් වී කටයුතු කිරීමේ භාග්‍යය උදාවෙයි. එය අකුසල ප්‍රහාණයට මෙන්ම කුසල වර්ධනයට අවශ්‍ය ප්‍රඥාව ළඟාකරයි. එපමණක් නොව සම්මා සමාධිය හෙවත් එකඟ සිත ද ඇතිකරයි. පුද්ගලයාට ඤාණ දර්ශනය ලැබ ගත හැක්කේ එමඟිනි. එවිට සත්‍යයේ හා අසත්‍යයේ වෙනස ද ප්‍රකට ය.

කළුතර දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක බස්නාහිර පළාත් සභාවේ සංස්කෘතික අමාත්‍යංශයේ දහම් පාසල් ගුරු හා ශිෂ්‍යනායක කටයුතු පිළිබඳ සම්පත් දායක බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ භාෂා ප්‍රවර්ධනය පිළිබඳ කථිකාචාර්ය,

ආර්. ඒ. විමල් ප්‍රේමතිලක

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා