‘වැටුණොත් එකසිය සතියක් නිරයේ’

‘වැටුණොත් එකසිය සතියක් නිරයේ’

නූතන බෞද්ධ අබෞද්ධ බොහෝ අය විමසන ප්‍රශ්නයක් තමයි අපාය දිව්‍යලෝකය කොහේ තියෙන එකක ද කියලා. දැනුමෙන් ඌනයන් මෙබඳු ප්‍රශ්න විමසුවත් බෞද්ධ දේශනාව පිළිගන්න බුද්ධිමත් අයට මෙබඳු ප්‍රශ්න පැනනගින්නේ නැහැ. අපේ ගුරුවරු උගන්වන දේ දැනුම වර්ධනය වෙන්න වර්ධනය වෙන්න කලින් කලට වෙනස් කරනව. බුද්ධ දේශනා ඒ වගේ කලින් කලට වෙනස් වෙන්නෙ නැහැ.

හොඳම නිදර්ශනය තමයි බුදුහාමුදුරුවන්ගෙ මංගල ධර්ම දේශනය. එහි ඇතුළත් වන අත්හල යුතු අන්ත දෙක, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, තිපරිවට්ට, ද්වාදසාකාරය වැනි කරුණු දේශනා කොට තමන් වහන්සේ මුලින් දේශනා කළ සූත්‍රය මේක. තමන් වහන්සේ මුලින් දේශනා කළ මේ දම්සක් පැවතුම් සූත්‍රයේ මේ මේ කරුණු ඉවත් කරන්න ඕන. මේ මේ කරුණු එකතු කරන්න ඕන. මේ මේ කරුණු සංශෝධනය කරන්න ඕන කියල බුද්ධ ජීවිතයේ අවුරුදු 45 ඇතුළත කිසිඳු තැනක දේශනා කරල නැහැ. බුද්ධ දේශනා කලින් කලට වෙනස්වෙන දේශනා නොවෙයි. මේ පිළිබඳව අනවබෝධයක් ඇති අයයි විවිධ ප්‍රශ්න මතු කරන්නෙ.

ලෝකයේ බොහෝ දෙනෙක් පිළිගන්නෙ ඇහැට පේන කණට ඇහෙන දේ පමණයි. ඒ ගැන විතරයි බොහෝ විට හිතන්නෙ. කථා කරන්නෙ, ලිඳේ ඉන්න මැඩිය දන්නේ ලිඳ ගැන විතරයි. මේ ලෝකෙ තියෙන විශාලම සාගරය මේක තමයි කියලයි ඌ හිතන්නෙ. පෘථග්ජන මිනිසුනුත් ඒ වගෙයි. බුදු හාමුදුරුවො ගැන, ධර්මය ගැන දෙව්ලොව, බඹලොව,, අපාය ගැන විශ්වාස කරන්නේ නැහැ. අවබෝධයේ ඇති ඌනත්වයයි ඉන් පේන්නෙ.

‘නිරයං පාප කම්මන්තා - පුඤ්ඤ කම්මාච සුග්ගතිං’

මේ අනුව අකුසල කර්ම කළොත් නිරයටත්, කුසල කර්ම කළොත් සුගතියට හෙවත් දිව්‍ය ලෝකයටත් පැමිණෙන බව බුද්ධ දේශනාවයි. අපාය කියන්නෙ සමහර විට අවුරුදු කෝටි ගණන් විඳවන, පැසවන ස්ථාන, ඒවායේ සැප විඳින්න ලැබෙන්නෙ නැහැ. සැප නැති නිසයි අපාය කියල කියන්නෙ. නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපා වලින් බොහෝ විට අපට පේන්නෙ තිරිසන් ලෝකය විතරයි. ඒත් තිරිසන් ලෝකයේ සියලු සත්වයන් අපට පේන්නෙ නැහැ. ප්‍රේත ලෝකය මනුස්සයන්ට පේන්නෙ නැහැ. ඒ මනුස්සයන් පිං කල අය නිසයි. අසුර අපාය ප්‍රේත ලෝකයේ ම කොටසක්. නරකයේ කොටස් 136 ක් තියෙනව.

සංජීව, කාලසුත්‍ර, සංඝාත, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යනුවෙන් අට මහා නරකයක් තියෙනව. මේ අට මහා නරකත් සමඟයි 136 ක් වෙන්නෙ. මේ මහා නරක අට හැරුණු විට නරක 128 ක් තිබේ. මේවා හඳුන්වන්නේ ඔසුපත් නරක යනුවෙන්. මේ මහා නරක අටෙන් එකක් ගත් විට එහි හතර පැත්තේ හතර බැගින් ඔසුපත් නරක (4 ය 4) 16 ක් තිබේ. මෙසේ අට මහා නරකයන් වටා ඔසුපත් නරක (16 ය 8) 128 ක් තියෙනවා.

මෙසේ එකසිය සතියක් නිරයන් දැක්වෙන අතර අකුසල් කරන සත්වයා පැසවන දුක්විඳින කෝටි ගණන් නිරයන් තිබෙන බව ව්‍යාසමුනීගේ ප්‍රනීත පද්ම පුරාණයෙහි දැක්වේ. එමෙන් ම වහ්නි පුරාණයෙහි විසි අටකෝටියක් (280000000) නිරයන් ඇතැයි සඳහන් වේ. මේ කෝටි ගණන් කෙසේ වෙතත් දැනට දුරවබෝධව පවත්නා

සිතුවත් බිය කරවන අරතර යේ
වැටුණොත් එකසිය සතියක් නිර යේ
බලවත් දුක් විඳිනෙය කරදර යේ
මදකුත් පිණකට නැත අවසර යේ

යනුවෙන් ලෝවැඩ සඟරාවේ දැක්වෙන විවිධ දිග පළලින් හා ගැඹුරින් යුක්ත නිරයයන් 136 මොනවාදැයි බලමු.

1. සංජීව 2. කාලසූත්‍ර

3. සංඝාත 4. තාපය

5. ප්‍රතාප 6. රෞරවය

7. මහාරෞරවය 8. අවීචිය

9. අබ්බුද 10. නිරබ්බුද

11. අබබ 12. අටට

13. අහහ 14. කුමුදු

15. සෞගන්ධික 16. උප්පල

17. පුණ්ඩරික 18. පදුම

19. ඛාරෝදිකා 20. සෝණඛාදක

21. ගිප්ඣකාක 22. සත්තිසුල

23. බග්ගසීරු 24. පහාස

25. සිත් 26. අඟුරුමැල

27. දළකොහොල්මැළ

28. පොකුරුපත් 29. සාකුණික

30. ඕරම්භීත 31. අසීලෝම

32. සත්තිලෝම 33. උසුලෝම

34. රථාවාරික 35. සුවක

36. ගාමකූට 37. ගූථකූප

38. මිල්හගබිභ 39. පාණහිංස

40. කාකෝල 41. වේලුනද

42. සක්‍ද්විච්චි 43. මහාජාල

44. ඒකකල්ප 45. ද්විකල්ප

46. තයෝකල්ප 47. වතූකල්ප

48. පඤ්චකල්ප 49. බාරසකල්ප

50. තේරසකල්ප 51. චුද්දසකල්ප

52. පඤ්වදසකල්ප

53. සෝළසකල්ප

54. අචිවන්ත වන්තර

55. උච්චාරුල්හ 56. ආරාමදුසක

57. හිදග්ගි 58. ගොමුත්තග්ගි

59. තසිතග්ගි 60. සයනග්ගි

61. තෙලග්ගි 62. නුට්ඨූභග්ගි

63. පරභණ්ඩාහර 64. විරහිතග්ගි

65. කෝධග්ගි 66. එරුසග්ගි

67. විලසග්ගි 68. උභතග්ගි

69. තෙලහත 70. ඝටිතග්ගි

71. යක්ඛග්ගි 72. මූසග්ගි

73. නිවාරිතග්ගි 74. උරචක්‍රමාලා

75. සුමතාප 76. නපුජග්ගි

77. තිප්පා කටුකග්ගි

78. කූක්කූටග්ගි

79. ලා භූපක්කම

80. කිලේසග්ගි

81. ඉන්ද්‍රිය අගුත්තද්වාර

82. කුසග්ගි 83. මංසපේශී

84. සුනඛ 85. කාලහත්ථි

86. මහායන්ත 87. සජෝති

88. සංසවක

89. අංගාර පබ්බත

90. ථුසනදි 91. කූටකාරි

92. සීතනදි 93. ගූථ

94. කුක්කුල 95. කුළුහිඹුල්වන

96. අසිපත්‍රවන 97. වේතරණි

98. ලෝකුඹු 99. අලුකුඹු

100. කිහිරඟුරු 101. රෝරුව

102. ගොපාන 103. පසුඝාත

104. සීතතරච්ජි 105. නිච්ජවි

106. මංකුලිත්ථාකා

107. ශකිලිනී 108. අසීසක

109. පරලාභ 110. නච්චවාදක

111. ඡ කල්ප 112. සප්තකල්ප

113. අටිඨකල්ප 114. නව කල්ප

115. දශකල්ප

116. ඒකාදශ කල්ප

117. මුත්තකරිසග්ගි

118. දුසමාලග්ගි

119. අනුපට්ටිතග්ගි

120. භූතග්ගි 121. විපරිතග්ගි

122. කුම්භග්ගි 123. මහඟුලෝම

124. දිට්ඨානුගතග්ගි

125. හස්සාධිප්පාය

126. පතිතාන දේහග්ගි

127. උදුන්ජාරිකා

128. මුප්පමුසලග්ගි

129. පත්තග්ගි

130. එලමූලග්ගි 131. ජඩ්ඩිතග්ගි

132. ඔසක්කතාප

133. අපච්චවෙක්ඛිතග්ගි

134. කුලදූසනග්ගි

135. වෙරළ 136. අයෝගුල

මෙහි දක්වා ඇති නරක 136න් 1 සිට 4 දක්වා ඇති නරක දිගින් යොදුන් දහසකි. පළලින් යොදුන් දහසකි. ගැඹුරින් යොදුන් දහසකි. පස්පව් දස අකුසල් කළ පුද්ගලයන්ගෙන් නිතර පිරී පවතියි. කළ අකුසල කර්මවල අනිසි විපාක ගෙවී අවසන් වන තෙක් කල්ප සිය දහස් ගණනක් මේ අපාවල දුක්විඳීමට සිදුවෙයි. පව්කම් නොකර කුසල් දහම් කිරීම සුගතියට හේතු වන බව දන්නා බුද්ධිමත් ජනතාවට අකුසල් කිරීමෙන් දුරුවෙයි.

නරක 5 සිට 91 දක්වා නරක 87 කි. දිග, පළල, ගැඹුර යොදුන් 100 බැගිනි. මේ නරකයන් සිසාරා ගිනිගෙන දිලිසෙන යොදුන් නමයක් ඝනකම ඇති යකඩ පවුරකින් හා යොදුන් නවයක් ඝනකම ඇති යකඩ පියනකින් ආරක්ෂිතය. මේ නරකයෙහි පැසෙන තිරිසතුන්ගේ ගිනිගෙන දිළිසෙන දුම් සලාවන් හෙවත් දුම් ගුලි මුඛයෙන් ඇතුළු වී මුුළු ශරීරයම දවා අළු කර නවදොරින් පිට කරයි. සත්වයා අකුසල කර්ම කිරීමෙන් නැවත නැවත මේ අපාවල ඉපිද කල්ප සිය දහස් ගණන් දුක් අනුභව කරන්නේ ය.

92 වන නරකය වන සිතනදි නම් නරකය දිගින් පළලින් හා ගැඹුරින් යොදුන් 50 බැගිනි. මෙහි උපදින සත්වයන්ට ද අසීමිත දුක් අනුභව කරන්නට සිදුවෙයි.

93 සිට 136 දක්වා ඇති 43 ක් වන අපාවල ද අනෙක් අපාවල මෙන් කල්ප සිය දහස් ගණනන් දුක් විඳීමට සිදුවන අතර මේවායේ දිග පළල හා ගැඹුර යොදුන් 60 බැගිනි.

සමස්තයක් වශයෙන් ගත්කල මේ අපාවල ඉපිද දුක් අනුභව කරන්නේ හුදෙක් මිථ්‍යා දෘෂ්ටිකයන්, මවුපියන් වරදවා තේරුම් ගත් අය, නිවැරැදි සංඝයා මැරූ හා මැරවූ ආදී අකුසල කර්මයන් කළ අයයි. විශේෂයෙන් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරජුගේ ඇඟේ ලේ සෙලවීම, හා පඤ්වානන්තරිය කර්ම කළෝ මැරී, දෙවෙනි භවයේ හෙවත් ඊළඟ භවයේ අනිවාර්යෙන් ම දෙවිදත් තෙරුන් ආදි අය මෙන් අපායේ ඉපිද කල්ප සිය දහස් ගණන් ඉතා බිය ජනක වූ දුක් අනුභව කරති. ආනන්තරිය පාපකර්ම නොකළත් වුති චින්තය අපිරිසුදු වීමෙන් අපාගත විය හැක. එහෙත් ආනන්තරිය පාපකර්ම නොකළේ නම් මියගොස් අපාගත වුවත් කෝසල මල්ලිකා බිසව මෙන් වැඩිකල් නොගොස් ඒ අපා භවයෙන් මිදී සුගතිගාමී වීමට හැකි වේ.

මෙහි දී හුදී ජනයා තේරුම්ගත යුතු වන්නේ සිත, කය, වචනය යන තිදොර දූෂ්‍ය කරගෙන කරන්නේ අකුසල කර්ම බවත්, එසේ අකුසල් රැස් කිරීම දුගතියට හේතුවන බවත්, තිදොර දූෂ්‍ය කර නොගෙන කරන යහපත් කුසල කර්මයන් හේතු කොට ගෙන අප කවුරුත් බලාපොරොත්තු වන සුගතිගාමී භවය හා අවසන නිවන් අවබෝධ කරගෙන දුක් කෙළවර කිරීමට හැකියාව තිබෙන බවත් ය.

ගාල්ලේ මහමෝදර කෝවිල ගොඩැල්ලේ ශ්‍රී ගුණෝදය මහ පිිරිවෙන්පති, මහමෝදර ශ්‍රී බුද්ධසිංහ විජයාරාමය, කළුවැල්ල ශ්‍රී වර්ධනාරාමය යන උභය විහාරාධිපති, සමස්ත ලංකා කෘත්‍යාධිකාරී පරිවෙණාධිපති සංගමයේ හා ගාල්ල දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී පරිවෙණාධිපති සංගමයේ භාණ්ඩාගාරිකහබරකඩ සෝරත නාහිමි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා