ශාසනාභිවෘද්ධියේ ඉතිහාසය සහ වත්මන් යුග මෙහෙවර

ශාසනාභිවෘද්ධියේ ඉතිහාසය සහ වත්මන් යුග මෙහෙවර

බුදු සසුනේ චිරරාත්‍රඥ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා රහතුන්ගෙන් සඟ සසුන ආරම්භ විය. ඒ සමඟම බුදු දහම මිනිසාගෙන් මිනිසාට ව්‍යාප්ත විය. බුදු රජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වූ සැරියුත්, මහ මුගලන් දෙනමගේ නායකත්වයෙන් සඟ පරපුර සිව්වනක් පිරිසගෙන් සමන්විත ධර්මධර සමාජයක් ලෝකයට බිහිවිණි.

සංවිධානයක් වශයෙන් මහා සංඝ සමාජය ආචාරිය - අන්තේවාසික - උපජ්ක්‍ධාය - සද්ධිවිහාරික වශයෙන් වත් පිළිවෙත් රැසක් මත බැඳුණු ආචාර ධර්ම ගරුක සුවිශේෂී සමාජයක් ලෙස ගොඩනැඟුණි. ආචාර්ය පරම්පරා අනුව එහි නිකායික ස්වරූපයක් විද්‍යාමාන විය. විනය පිටකය ගරු කොටගත් ථේරීය නිකායික පරපුර විනයධර භාවයම අග්‍රගන්‍ය කොට පිළිපැද්ද සඟ පිරිසක්ද විය. මෙම විනයධර භාවය මූලික පදනම සේ සළකා විනයධරයන්ගේ අග්‍ර තනතුරුධාරී විනය භාණක උපාලි මහ රහතන් වහන්සේ, සහවාසික දාසක, සෝණක, සිග්ගව, මොග්ගලීපුත්තතිස්ස යන සිව්නම සමඟ ශාසනානුශාසකත්වයෙන් තමන් වෙත පැවරුණු ශාසනික වගකීම හරිහැටි ඉටු කරමින් සඟ සසුනේ මුල්ම සංඝ පීතෘන් වශයෙන් ක්‍රියා කළහ.

සවැනි ශාසනානුශාසකවරයන් වූයේ උපාලි සඟ පරපුරට අයත් අනුබුදු මිහිඳු මාහිමියන් වහන්ස් ය. ශී‍්‍ර ලංකාවේ සම්බුදු සසුන සමඟ සඟ සසුන ද ආරම්භ කළේ මිහිදු මහ රහතන් වහන්සේ ය. ථේරීය වශයෙන් ශී‍්‍ර ලාංකීය භික්ෂූ පරපුර හෙවත් මහා විහාරීය ථේරීය වංශය ආරම්භ වූයේ සිංහල රජ පවුලේ සාමාජිකයෙකු වූ අරිට්ඨ කුමරුගේ පැවිද්දෙනි.

මෙය දේශීය සඟ සසුනේ ආරම්භක ශ්‍රේෂ්ඨතම අවස්ථාව ය. මහා විහාරීය ථේරීය පරපුරක ආරම්භය සේ සැළකේ. මහා අරිට්ඨ වංශය හෙවත් මහා විහාර ස්ථවිර පරම්පරාව වශයෙන් අභිමානයෙන් හැඳින්විය හැකිය.

මෙසේ ආරම්භ වී විකාශනය වූ මහා සඟ පරපුර ත්‍රිපිටකධාරීව ධෛර්ය සම්පන්නව ස්මෘති සම්පන්නව භාණක ක්‍රමයෙන්මුඛ පරපුරින් ත්‍රිවිධ ශාසනය රැකගෙන ආහ. පරසතුරු උවදුරු, සාගත බිය නිසා භාණක ක්‍රමයෙන් ත්‍රිපිටකය හා අටුවා ඉදිරියට රැකගැනීමේ අවදානමක් පෙනුණි. ඒ සඳහා ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර තැබීමේ අවශ්‍යතාවය ශාසන භාරධාරී තෙරවරුන්ට පෙනී ගියේය. ධර්මය ලේඛනගත කිරීමේ මෙම මහා කාර්යභාරය ග්‍රන්ථ සංගායනාවක් සේ සැලකේ.

අරිට්ඨ වංශික මහා විහාර පරපුරේ පංචාවාසික මහා ථෙරවරු ලෝවාමහා ප්‍රාසාදයට රැස්ව ත්‍රිපිටකය ලේඛණගත කිරීමේ තීරණයට එළඹුණහ. උන්වහන්සේලා අතර වැඩිදෙනා වහන්සේලා ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා වූහ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ කාර්යය සඳහා මාතලේ අළු ලෙනට රැස්වූහ. පන්සියයක් පමණ වූ එම මහ ථෙරවරු අතර සංඝස්ථවිරයන් වහන්සේ ශාසනානුශාසක පදවිය උසුළමින් මුලසුන හෙබවූහ. ඒ මහා විහාර ථූපාරාමයේ වැඩ විසූ කුන්තගත්තතිස්ස මහ තෙරුන් වහන්සේම ය.

බු. ව. 454 දී හෙවත් ක්‍රි.ව. 81 දී මෙම ලේඛණගත කිරීමසිදු වී ඇත. ඒ වළගම්බා රාජ්‍ය අවධිය යි. අනුරාධපුර යුගයේ ඉහත කී සංඝ නේතෲන් වහන්සේලා ආරාම පිරිවෙන් හා මූලායතනවලින් ත්‍රිවිධ ශාසනය නොකැළැල්ව, අඛණ්ඩව පැවතීමට අවශ්‍ය යුග මෙහෙවර කරන ලදහ. දිඹුලාගල මහා කාශ්‍යප මාහිමි ආදී මහ තෙරවරුන් සියවස් කිහිපයකට සසුන ජීවමානව පැවතීමට මඟ සලසන ලදහ.

නියමකන්ද, පැල්මඬුල්ල රජමහා විහාරය, රත්මලාන, පරමධම්ම චේතිය මාළිගාකන්ද විද්‍යෝදය, පෑළියගොඩ විද්‍යාලංකාරය ආදී මූලස්ථාන වලින් සංඝ ශාසනාභිවෘද්ධියත්, ධර්ම ශාස්ත්‍රීය උන්නතියත් සිදු වූ බව සඳහන් කළ යුතුය. ඉහත කී ආයතනික මහ තෙරවරුන්ගේ දීප ව්‍යාප්ත ශාසනික ක්‍රියාදාමය නිසා ධර්ම ශාස්ත්‍රීය පනරුදයක් උදා විය. අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේගේ නියමකන්ද ධර්ම ශාස්ත්‍රාලෝකය නිසා බුදු දහමත්, සඟ සසුනත් නව පුනර්ජීවනයක් ලැබීය. ඒ අතර දිවයිනේ සිව් දෙසට සම්භාව්‍ය වූ ධර්ම ශාස්ත්‍රීය පිරිවෙන් ආරම්භ වීය.

රත්නපුර පැල්මඬුල්ලේ රජමහා විහාරයේදී ගාල්ලේ මේධංකර මහ ථෙරපාණන්ගෙන් සබරමුවට පිරිවෙන් ආයතන ඇතිවීමට මූලාරම්භය වූහ. ක්‍රි. ව. 1826 - 1836 කාලයේ දී ය. ඉඳුරුවේ සුමංගල, වලානේ සිද්ධාර්ථ ආදී යතිවරයන් වහන්සේලා එහි ක්‍රියාකාරිකයන් වහනසේලා වූහ. වලානේ සිද්ධාර්ථ හිමි රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනත්, රත්මලානේ ධම්මාලෝක මාහිමියන් පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙනත්, හික්කඩුවේ ශී‍්‍ර සුමංගල මාහිමියන් මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනත්, බෙන්තර අත්ථදස්සි මාහිමියන් බෙන්තර වනවාසී විහාර පිරිවෙනත් ආරම්භ කර, ධර්ම ශාස්ත්‍රීය ව්‍යාප්තියේ මාවත ගොඩනඟන ලදී.

මෙම මූලායතන කේන්ද්‍ර කරගෙන ශාඛා ප්‍රශාඛා වශයෙන් ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන ආයතන බිහි වී, සංඝ සමාජයත් ජීවමාන වී ත්‍රිවිධ ශාසනය ආරක්ෂා වූ බව සඳහන් කළ හැකිය.

ශී‍්‍ර ලංකාවේ ථේරවාදී බුදු දහම ආරක්ෂා වී ඇත්තේ මෙවැනි ඉතිහාසයක් නිසාය. පරිපූර්ණ උගතුන්බිහිවී ඇත්තේ ද එම ඉතිහාසය තුලය. අනාගතයට ද එබඳු ගුණ නුවණින් පෝෂණය වූ ගිහි – පැවිදි පරපුරක් අවශ්‍ය. පර්යාප්ති, ප්‍රතිවේධ,, ප්‍රතිපත්ති යන ත්‍රිවිධ ශාසනයේ පැවැත්ම රැඳී ඇත්තේ ඒ තුළය.

අනුරාධපුර, පොළොන්නරු, කෝට්ටේ වැනි යුගයන්හි සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය සඳහා දේවානම්පියතිස්ස, දුටුගැමුණු, වළගම්බා, මහා පරාක්‍රම බාහු ආදී යුග කාරක නරපතියන් දායක වී ඇත. අනාගත ධර්ම ශාස්ත්‍රීය හා ශාසනාභිවෘද්ධිය සඳහා පිරිවෙන් අධ්‍යාපනය රැක ගැනීමටත්, ඒවා සංවර්ධනය කරගැනීමටත් යුග මෙහෙවර ඉටු කළ යුතු බව වගකිව යුතු ගිහි පැවිදි නායක කාරකාදින්ට සිහිපත් කරමු.

ගොඩකවෙල ශී‍්‍ර මහින්ද මහාවිහාර පිරිවෙනේ සභාපති,

කෝම්පිටියේ ශී‍්‍ර සුසීල හිමි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා