රහතන් වහන්සේ ගේ කතා සහ උදාන ගීත

රහතන් වහන්සේ ගේ කතා සහ උදාන ගීත

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ.

දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි. ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි.

“ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ.

විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

උතුම් ඇසුර සතුට සදයි

නාලන්දාවේ සාරිගමේ පටු මඟක ගමන් කරමින් සිටි සුසාරදට මහ මැදුරකින් වැලපුම් හඬක් ඇසිණ. ඒ මැදුර සුසාරදගේ නෑ බැම්නියකට අයිතිය. ඇගේ නම සාරිය.

ඔහු ඒ මැදුරට ගියේ ය.

‘ඇයි නැන්දේ අඩන්නේ’ ඔහු ඇසුවේය.

“අඬන්න දේවල් ද නැත්තේ? සාරි බැමිණිය කීවා ය.

“මා දන්නවා. නැන්දාට අඬන්න දේවල් තියෙනවා. ඒත් අද නැන්දා හුඟක්ම දුකෙන් ඉන්නේ”

“අද උදේ වෙච්ච දේ ඇසුවේ නැද්ද? මගේ බාල දුවත් පැවිදි වෙන්න ගියා.”

“සිසූපචාලා?”

‘ඔව්. සිසූපචාලාත් ගියා. මගේ පුතාලා හතර දෙනයි. දූලා තුන් දෙනයි. ඔක්කොම මට නැතිවුණා. අන්තිමට මං හිත හදාගෙන හිටියේ බාල දූ ඉන්නවා නේද කියලා. ඈත් ගියා. මේ ඔක්කොම වුනේ අර උපතිස්ස නිසා. උපතිස්ස කළ දේ පාඩමට අරගෙන මල්ලිලාත් නංගිලාත් ඒ අඩි පාරේම ගියා. මට දැන් කහ සිවුරු පෙන්නන්න බැහැ. සාරිගමට පිඬුසිඟා ආ භික්ෂුවකට මං ඊයේ බැන්නා.”

“නැන්දා හිත හදා ගන්න. උපතිස්ස අයියා දැන් සාරිපුත්ත නමින් දඹදිවම ප්‍රසිද්ධයි. කවුරුත් දන්නවා. නැන්දාගේ නමින් තමයි ප්‍රසිද්ධ. නැන්දාට පුතා ගැන ආඩම්බර නැද්ද?’

‘මට ඔය කතා ඇහෙන කොට යකා වැහෙනවා. මෙතනින් යනවා යන්න. ඔය ප්‍රසිද්ධියෙන් මට වැඩක් නැහැ. මගේ ළමයි ඔක්කොම මට නැතිවුණා.’

සුසාරද මැදුරෙන් පිටතට ආවේ ය. ඔහුට ඇය ගැන දුකක් ඇතිවිය.

වීදියෙ දී ඔහුට රජගහනුවර වේළුවනාරාමයට වැඩම කරන භක්ෂු පිරිසක් හමුවිය. එක් භික්ෂුවක සමඟ සුසාරද කතාවට වැටුණේ ය.

“මේ ගම හරහා අප යන්නේ හරි සතුටින්” උන්වහන්සේ කීහ.

“ඇයි ඒ ?’

‘අපගේ බුදු රජාණන් වහන්සේගේ අනු ශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගම මේ. උන්වහන්සේ වැනි උත්තමයකුගේ ගමට පැමිණීමත් වාසනාවක්. අපි දැක්කා ඒ උත්තමයා උපන් නිවස’

‘ඒ නිවසට ගියාද ?’

‘නැහැ. ගියා නම් අපට සාරි බැමිණි තුමියගෙන් සමහර විට බැට වදින්නත් තිබුණා. අපි ගියේ නැහැ. ගෙය බලාගෙන වීදිය දිගේ ආවා.’

‘ඔබ වහන්සේලා කොහේ ඉඳලද මේ වඩින්නේ?’

‘සැවැත් නුවර ජේතවනාරාමයේ ඉදල. මාස ගණනක ඉදල එනවා. සැවැත් නුවරදී අපට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දකින්නට ලැබුණා. උන්වහන්සේ ගේ ධර්ම දේශනාවකටත් සවන් දෙන්නට අපට හැකිවුණා. හරිම පුදුමයි. දහසකට වැඩි පිරිසක් ගිහි පැවිදි මහ පිරිසක්. ශාන්ත දාන්තව බණ ඇසුවා. කිසිම කසු කසුවක් නැහැ. උන්වහන්සේ හරිම මිහිරි හඬින් බණ දෙසුවා.එතන සිටි වංගීය හාමුදුරුවෝ බණ අවසානයේ නැඟිට මෙසේ කීවා. උන් වහන්සේගේ හඬත් හරිම මිහිරියි.

‘පිවිතුරු ගැඹුරු නුවණීන්, යුතු මඟ නොමග හොඳින් දත්, ප්‍රඥාවෙන් අග්‍ර ධර්ම සේනාධිපති සැරියුත් මහ රහතන් වහන්සේ ගේ සද්ධර්ම දේශනාවට මම සවන් දී සිටියෙමි.

උන්වහන්සේ කෙටියෙන් ද ධර්මය දේශනා කරති. විස්තර වශයෙන් ද දේශනා කරති. සැලළිහිණියකුගේ මධුර ස්වරය ඒ දේශනය තුළින් මට ඇසේ. ඊට සවන් දෙන අතර අපේ ධර්මාවබෝධය මුහුදු රළ මෙන් ඉහළට පැන නගී. ඒ ගැඹුරු දහම මිහිරි හඬින් අපි අසමු. සියලු සවන් ඔබ වහන්සේ ට යොමුව පවතී. ‘

ඔන්න වංගීස හිමියන් උන්වහන්සේ ධර්ම දේශනය ඇගයූ හැටි. හරිම පුදුමයි. හරිම අර්ථවත්. අප සියලු දෙනාම ඒ බණ අසා සසරින් එගොඩ වුනා. ඔබ මේ සාරිගමේ ද?’

‘එහෙමයි. මා උන්වහන්සේගේ ඥාතියෙක්.’

‘’ඔබ එහෙනම් බමුණෙක්. තාමත් බ්‍රාහ්මණ ආගම අදහනවාද?’

‘ඔව්, සාරි බැමිණිතුමිය වගේම මාත් තාම අපට උපතින් ලැබුණු ආගම අත් හැරියේ නැහැ. නමුත් මෑතක සිට මට විටින් විට භික්ෂූන් කරන දේශනා නිසා අපේ ආගම ගැන සැක මතුවෙනවා.’

‘තව ටිකක් සිතා බලන්න. මාත් උපතින් බමුණෙක්. මට පසු කලෙක සත්‍යය වැටහුණා. මා බුදුන් සරණ ගියා. පැවිදි වුණා. ඔබ ඉක්මන් නොවී සිතා බලන්න.’

සුසාරද නිවසට ගොස් කලපනා කරන්නට විය. සැරියුත් හිමියන්ගේ මහා ප්‍රඥාව ගැන කවුරුත් කතා කරනවා. උන්වහන්සේ ගේ මහා කරුණාව ගැන ද ඒ වගේම කතා කරනවා. උන්වහන්සේගේ ගමේ උපන් මා, උන්වහන්සේගේ නෑයකුවන මා ගඟට බැස තාමත් පව් සෝදනවා. මේ මඟ වෙනස් විය යුතුයි. ඔහු දැඩි තීරණයකට බැස්සේ ය. සුසාරද සැවැත් නුවර ඡේතවනාරාමයට ගියේ ය. සැරියුත් හිමි හමුවී පැවිදි බව ලබා ගත්තේ ය. උන්වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දෙමින් ධර්ම ඥාණය ලබා ගත්තේ ය.

‘සුසාරද හිමියන්ගේ ධර්ම ඥාණය ඉහළයි. ‘ගිහි පැවිදි පිරිස් සුසාරද හිමි පැසසූහ.

කලක් ගතවිය. දහම් දැනුමෙන් පිරීගිය උන්වහන්සේ සැරියුත් හිමියන්ගෙන් කමටහන් ලබාගෙන විදසුන් වඩන්නට වූහ. බොහෝ කලක් වීර්යය වැඩීමෙන් පසු අර්හත්බව ලබා ගත්හ.

සුසාරද රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළ කළහ.

දහමෙහි සිත බැඳුණු උතුම්
අය දැක්මත් සිත සනසයි
ඔවුන් ඇසුර නැණ නංවයි
සැක දුරලයි, සතුට සදයි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා