ප්‍රතිවේධ සාසනය

ප්‍රතිවේධ සාසනය

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත යුතු දහමකි. (පචිචත්තං වේදිතබ්බො විඤ්ඤූ) නිවන් දැකීම යනු ධර්මාවබෝධයයි. ධර්මාවබෝධය සඳහා පළමු ත්‍රිපිටක බුද්ධ වචනය දැනගත යුතුය. එය පරියත්තියයි. එසේ දැනගත් ධර්මය පිළිපැදීම ප්‍රතිපත්තියයි. පරියත්ති, ප්‍රතිපත්ති ප්‍රගුණ කිරීමෙන් පසුව ලබාගන්නා අවබෝධය ප්‍රතිවේධයයි. එනම් මාර්ගඵල ලැබීමයි. නිවන් දැකීමයි.

ධර්මය දැකීම හා පිළිපැදීම (පරියත්ති, ප්‍රතිපත්ති) තුªළින් සිතේ පවත්නා කෙළෙසුන් දුරුකළ හැකිය. මෙකී සියලුම කෙලෙසුන් දස සංයෝජනවලට ඇතුළත් වේ. එම දස සංයෝජන නම්, 1. සක්කාය දිට්ඨි, 2. විචිකිච්චා, 3. සීලබ්බත පරාමාස, 4. කාමරාග, 5. ව්‍යාපාද, 6. රූපරාග, 7. අරූපරාග, 8. මාන, 9. උද්ධච්ච, 10. අවිද්‍යා යන දහයයි.

සක්කාය දිට්ඨි යනුවෙන් දැක්වෙන්නේ තම ශරීරය හා සම්බන්ධ අංග පිළිබඳව සිතෙන් අල්වා ගැනීමයි. හෙවත් මම මගේ් යන හැඟීමයි. (අහංකාරය හා මමංකාරයයි) මජ්ඣිම නිකායෙහි චුල්ලවේදල්ල සූත්‍රයෙහි සක්කාය දිට්ඨි යනු රූප, වේදනා, සඤ්ඤාා, සංඛාර, විඤ්ඤාණ යන පස්වැදෑරුම් උපාදානස්ඛන්ධ බව දැක්වේ. පඤ්චස්ඛන්ධය රහතන් වහන්සේට ද පවත්නා නමුත් උපාදාන වශයෙන් (මම මගේ යන හැඟීමෙන්) අල්වා ගැනීමක් රහතන් වහන්සේට නැත.

විචිකිච්චා යනු සැකයයි. ආය¸ ශාසනයෙහි සැකය අට වැදෑරුම්ය. එනම්, 1. බුදුන් කෙරෙහි සැක කිරීම, 2. දහම කෙරෙහි සැක කිරීම, 3. සංඝයා කෙරෙහි සැකකිරීම, 4. තෙරුවන් කෙරෙහි සැකකිරීම, 5. පෙර සසර සිටීම ගැන සැකකිරීම, 6. මතු සසර ඉපදීම ගැන සැකකිරීම, 7. පෙර හා මතු සසර ගැන සැකකිරීම, 8. පටිච්ච සමුප්පාදය හෙවත් සත්වයාගේ සසර සැරි සැරීම ගැන සැකකිරීමය. සැකය බුදුදහමේ පාපයක් ලෙස නොදැක්වෙතත් සැකය පවත්නා කළ ඉදිරි ගමණක් නොපවත්නා බැවින් නිර්වාණගාමී පුද්ගලයා සැකය (විචිකිච්ඡාව) දුරු කළයුතුය.

සීලබ්බත පරාමාස යනු විමුක්තිය අපේක්ෂා කරන කැමැත්තෙන් විවිධ ආගමික සීල හා වෘත අනුගමනය කිරීමයි. බුද්ධකාලයේ ගෝසීල, අජසීල, ගෝවෘත, ආදී වැරදි සීල හා වෘත අනුගමනය කළ අය විසූහ. මෙකළ ද විවිධ ආගම් හා දර්ශනවල පිහිටා වැරදි සීල හා වෘත සමාදන් වූවෝ සිටිති. බෞද්ධයන් විවිධ දෙව් දේවාතාවන්ට පුද පඬුරු තබා බාරහාර වීම, ඇදහීම සීලබ්බත පරාමාස සංයෝජන ධර්මයට අයත් නොවේ. තමාට වඩා විශේෂ බලයක් ඇතැයි සිතා ලෞකික දියුණුව සඳහා ඔවුන් දෙවියන් ඇදහුවත් දෙවියන් මගින් නිවන් පතන්නේ නැත. කාමරාග යනු රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශය පංචකාම සම්පත් විඳීමට ඇති කැමැත්තයි.

කාම ලෝකයන්හි වෙසෙන පුහුදුන් සත්වයා (කාම ලෝක යනු මිනිස් ලොව, දිව්‍යලෝක හය හා අපාය හතරයි.) පස්කම්හි ඇලෙති. කැමති වෙති. එහෙත් එහි ගිජුවීම විනාශයට, පිරිහීමට හේතුවකි. ව්‍යාපාදය යනු ක්‍රෝධයයි. වෛරයයි. අපි‍්‍රය අරමුණක් නිසා පුහුදුන් සිතෙහි කෝපයක් උපදියි. නැවත නැවත අපි‍්‍රය වශයෙන් දැකීම තුළින් බලවත් ව්‍යාපාදයක් සිතෙහි උපදියි.

රූප රාග යනු රූපය කෙරෙහි ඇති ඇල්මයි. රූපාවචර ධ්‍යාන ලබන පුද්ගලයා කසිණය මුල්කොට ඇති වන කසිණ ආලෝකය කෙරෙහි ඇලීම නිසා රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින බව විසුද්ධි මාර්ගයෙහි ආරුප්ප නිර්දේශයේ දැක්වේ. රූපය පිළිබඳව පවත්නා මානසික බැඳීම නිසා මනසින් රූපය පිළිබඳව ඇති ඇලීම රූප රාගයයි. කාමරාගය දුරු කළත් රූපය පිළිබඳ ඇති කැමැත්ත නිසා රූප බ්‍රහ්ම ලෝකවල සත්වයා උපදී. ඔවුහු රූපයක් සහිතව වෙසෙති.

අරූප රාග යනු ආකාස විඥාන අභාව යන පදාර්ථ පිළිබඳව සිතින් බැඳීමයි. ඔවුන් තුළ සංඥාව හා වේදනාව පවතී. ඒ මගින් ආශ්වාදය ලබති. ඔවුහු අරූප බ්‍රහ්ම ලෝකවල උපදින අතර ඔවුන්ගේ ශරීරය ඉතා සියුම්ව පවතී. සිතම ප්‍රමුඛව පෙනේ. මානයනු මැනීමයි හෙවත් අහංකාරයයි. තමා අනුන්ට වඩා උසස්යැයි මැනීම ලක්ෂණයයි. සිතේ ඇතිවන නොසන්සුන් බව උද්ධච්චයයි. සිත එක අරමුණක රඳවා ගැනීමට නොහැකි බවයි. අවිජ්ජා යනු චතුරාර්ය සත්‍ය නොදැනීමයි.

මෙම ද සංයෝජන අතරින් සක්කාය දිට්ඨි, විචිකිච්චා හා සීලබ්බත පරාමාස යන සංයෝජනනැති කිරීම මඟින් සෝවාන් බව ලබති. සෝවාන් හෙවත් සෝතාපන්න යන වචනයේ අදහස ආය¸ මාර්ගය නමැති සැඩ පහරට හසු වූ තැනැත්තා යන්නය. සෝතාපන්න තැනැත්තා නියත වශයෙන්ම භව සතකට මෙපිට සකෘදාගාමී, අනාගාමී මාර්ග ඵල ලබා රහත් බව ලබති. සෝවන් වූ අය කිසිවිටකත් අපාගාමී නොවෙති.

අනතුරුව කාමරාග හා ව්‍යාපාද යන සංයෝජනයන් යටපත් කිරීම මඟින් සකෘදාගාමී මාර්ග ඵලවලට පත්වේ. එක්වරක් පමණක් කාම ලෝකවල උපදියි යන්න සකෘදාගාමී වචනයේ අදහසයි.

ඔවුහු නැවත උත්පත්තිය ලැබුවොත් බ්‍රහ්ම ලෝකයක ඉපිද එහිදී අනාගාමී හා අර්හත් මාර්ග ඵල ලබති. කාමරාග, ව්‍යාපාද යන සංයෝජනයන් සපුරා නැති කිරීම අනාගාමී බව ලැබීමයි. ඔවුහු කිසිවිටකත් කාම ලෝකවල නො උපදින අතර රහත් බව නොලැබුව හොත් මරණින් පසු බඹලොව ඉපිද රහත්ව නිවන් දකිති.

රූපරාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජනයන් දුරු කිරීම රහත්වීමයි. හෙවත් නිවන් දැකීමයි. අර්හත් යන්නට විවිධ අර්ථ දැක්වෙතත් එහි ප්‍රමුඛ අර්ථය සියලු කෙළෙසුන් දුරුකළ තැනැත්තා යන්නය.

ත්‍රිවිධ ශාසනය යනු පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන සම්බුද්ධ දේශනාවයි. පරියත්ති, ප්‍රතිපත්ති ශාසනය මඟින් ලබන ඵලය ප්‍රතිවේධය හෙවත් කෙළෙසුන් දුරුකොට නිවන් දැකීමයි. එය පරම සැපතයි. නිබ්බානං පරම් සුඛං.

අධ්‍යාපන අධ්‍යක්ෂ(පිරිවෙන්)

වලස්වැවේ ඤාණරතන හිමි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා