පාපන්දු තරගවල නීති විරෝධී ක්‍රියා ඉහළ යයි

පාපන්දු තරගවල නීති විරෝධී ක්‍රියා ඉහළ යයි

විනය කඩන ක්‍රීඩකයන්ට සම්මේලනයෙන් රතු එළියක්

ඩයලොග් අනුග්‍රහයෙන් පැවැත්වෙන චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ ගෙවීගිය සති අන්තයේ පැවැති තරග 6 කදී නීති විරෝධී ක්‍රීඩා විලාශය හේතුවෙන් රතු කාඩ්පත් අවවාද ලැබී ක්‍රීඩකයන් දෙදෙනකු ක්‍රීඩා පිටියෙන් නෙරපා ඉදිරි එක් තරගය බැගින් තහනම් කළ අතර ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුට කහ කාඩ්පත් අවවාද 30 ක් ද පෙන්වා ඇත.

එහෙයින් මේ තරගාවලියේ ඉදිරි තරගවලදී දැඩි විනය ක්‍රියාමාර්ග අනුගමය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අවධානය යොමු වී ඇතැයි එහි මාධ්‍ය අධ්‍යක්ෂ රුක්මාල් පෙරේරා මහතා ‘දිනමිණ’ ට පැවැසීය. විනිසුරු තීන්දුවලට අභියෝග කරන පාපන්දු ක්‍රීඩකයන් පිළිබද විශේෂ අවධානයකින් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

නිගම්බු යූත්ට ප්‍රථම ජය

නිගම්බු යූත් පිල මේ තරගවාරයේ ප්‍රථම ජය වාර්තා කරමින් ගෝල් 2 – 1 කින් පොලිස් පිල පැරදවීය. මාරිස්ටෙලා පිටියේ පැවැති මේ තරගයේ දී නිගම්බු යූත් වෙනුවෙන් යූ. සී. කුමාර ගොල් 2 ක් ද පොලිස් පිලේ ඩී. එස්. පතිරණ ගෝලයක් ද වාර්තා කළහ.

රිනවුන් – ඕල්ඩ් බෙන්ස් අතර තරගයේ උණුසුම් අවස්ථාවක්.
ඡායාරූපය:– පි‍්‍රන්ස් ගුණසේතර

යුද – බ්ලුස්ටාර් ජය පරාජයෙන් තොරයි

ගොල් 3 බැගින් දෙපිලම වාර්තා කිරීම හේතුවෙන් කැලණිය පාපන්දු පිටියේ පැවැති යුද හමුදා – බ්ලුස්ටාර් තරගය ජය පැරදුමෙන් තොරව නිමා විය. මේ තරගයේ දී බ්ලුස්ටාර් පිලේ මොහොමඩ් ෆර්සීන් හා යුද හමුදා පිලේ එස්. බී. කන්නා රතු කාඩ්පත් ලැබීය.

රිනවුන් දෙවැනි තැනට

රිනවුන් ක්‍රීඩා සමාජය හා ඕල්ඩ් බෙන්ස් අතර කැලණිය පාපන්දු සංකීර්ණ පිටියේ පැවැති තරගයෙන් ගෝල් 4 – 2ක ජයක් රිනවුන් පිල සතුවිය. මේ ජයග්‍රහණයෙන් පසුව රිනවුන් පිල ප්‍රසාද ලකුණු 10ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැනට පත්විය. තරගයේ ප්‍රථම භාගය නිමාවෙද්දී රිනවුන් ගෝල් 3 – 0ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

රිනවුන් පිලේ මොහොමඩ් අනම් (22 මිනිත්තුව), මොහොමඩ් සෆ්රාස් (26 මිනිත්තුව), මොහොමඩ් ෆසාල් (39 මිනිත්තුව) හා මොහොමඩ් නස්රුල්ලා (84 මිනිත්තුව) ගෝල් වාර්තා කළහ. ඕල්ඩ් බෙන්ස් වෙනුවෙන් මුරුගන් යෝගරාජා (72 මිනිත්තුව) හා මනිරාජා නික්සන් (75 මිනිත්තුව) ගෝල් වාර්තා කළහ.

සොන්ඩර්ස්ට ජය

සෝන්ඩර්ස් පිල ගෝල් 2 – 1 කින් ජුපිටර්ස් පැරදවිය. සිටිලීග් පිටියේ පැවැති මේ තරගයේ දී සෝන්ඩර්ස් පිලේ ජී. ටී. කුමාර , සුදාර මධුසංඛ හා ජුපිටර්ස් පිලේ ඩබ්ලිව්. බී. සිල්වා ගෝල් වාර්තා කළහ.

ගුවන් හමුදාවට ජය

කොළඹ සිටිලීග් පිටියේදී පැවැති තරගයේදී ගුවන් හමුදා ක්‍රීඩකයෝ රත්නම් ක්‍රීඩා සමාජය පරදා පෙරමුණට පැමිණියහ.

රත්නම් – ගුවන් හමුදා තරගය ආරම්භ වී මිනිත්තු 5ක් පමණ ගතවෙද්දී ගුවන් හමුදා පිලේ ජානක චමින්ද ගෝලයක් වාර්තා කෙළේය.

චතුර ගුණරත්නගෙන් ගෝල් ත්‍රිත්වයක්

වෙන්නප්පුවේ පැවැති දොන් බොස්කෝ - නිව් යංග්ස් අතර තරගයේ දී දොන් බොස්කෝ පිලේ චතුර ගුණරත්න ගෝල් තුනක් ලබා දොන් බොස්කෝ ජය තහවුරු කෙළේය. තරගයේ ප්‍රථම භාගයේදී ගෝල් 1 – 0ක් ලෙස දොන් බොස්කෝ ඉදිරියෙන් සිටි අතර චතුර ගුණරත්න කැපී පෙනෙන දස්කම් දැක්විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා