අයි.සී.සී තරගාවලියේ ආරක්‍ෂක වැඩපිළිවෙළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියටත්

අයි.සී.සී තරගාවලියේ ආරක්‍ෂක වැඩපිළිවෙළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියටත්

දකුණු අපි‍්‍රකාවේ මේ දිනවල පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීමට පැමිණෙන විදෙස් ක්‍රීඩා ලෝලීන් අපරාධකරුවන් හෝ ත්‍රස්තවාදීන්ට ඉලක්ක නොවීමට ක්‍රියාත්මක කොට තිබෙන ආරක්ෂක වැඩපිළිවෙළ ලබන 2010 වසරේ දකුණු අපි‍්‍රකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දීත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බව දකුණු අපි‍්‍රකානු පොලිසිය පවසයි.

කෙසේ වෙතත් තරග පැවැත්වෙන ස්ථානවලින් බැහැර පෙදෙස්හි සැරිසරන්නට යන ක්‍රීඩා ලෝලීන්ට පොලිසිය අනතුරු අගවා සිටී. අනෙකුත් ප්‍රදේශයන්හිදී ද ආරක්ෂාව තර කිරීමට පොලිසිය දැන් වැඩපිළිවෙළක් සැලසුම් කර ගෙන යතත් ක්‍රීඩා ලෝලීන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැක්කේ නිල වශයෙන් ලබා දෙන උපදෙස් පිළිපැද භයානක හුදෙකලා ප්‍රදේශයන්හි ඔවුන් අයාලේ නොගියොත් පමණක් බව දකුණු අපි‍්‍රකානු පොලිසිය දන්වා සිටී. “ක්‍රීඩා ලෝලීන්ට අනතුරක් වෙන්නේ නැහැ. නමුත් ආරක්ෂා වීම ඔවුන්ගේ වගකීමයි” පොලිසිය කියයි.

2010 පාපන්දු ලෝක කුසලාන ආරම්භ වනවිට අපේ රට නිදහස් ඉසව්වක් බවට පත් කිරීමටයි අපි සැලසුම් කරන්නේ. අපි ක්‍රීඩා ලෝලීන්ට කියන්නේ ‘දකුණු අපි‍්‍රකාවට එන්න, ඇවිත් ලෝක කුසලානයේ සිරිය අපිත් එක්ක විඳ ගන්න. ආරක්‍ෂාව ප්‍රශ්නයක් කර ගන්න එපා.

ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් තිබුනද දකුණු අපි‍්‍රකාවේ සිදුවන අපරාධවල අනුපාතය තිබෙන්නේ ලොව අනෙකුත් රටවලට වඩා ඉහළ මට්ටමකය. වාහන පැහැර ගැනීම් හා මහමග සිදු කෙරෙන මංකොල්ලකෑම් පිළිබඳව විදේශිකයන්ගේ වැඩි අවධානය යොමුව තිබේ.

දිනකට පුද්ගලයන් 50 දෙනෙකුට වඩා දකුණු අපි‍්‍රකාවේ දී ඝාතනයට ලක්වන අතර මේ නිසා හිංසාව හා අපරාධ වෙනුවෙන් එරටට අනවශ්‍ය ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී තිබේ. කෙසේ වෙතත්, අන් සියලු රටවලට වඩා දකුණු අපි‍්‍රකාවේ දී විදේශිකයන් අනතුරට විවෘත බවට කෙරෙන ප්‍රකාශ වැරදි මතයක් බව දකුණු අපි‍්‍රකානු පොලිස් සේවයේ අධ්‍යක්‍ෂවරයෙකු වන ඒරන් හැරී පවසයි.

විදෙස් ත්‍රස්තවාදීන් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනු ඇතැයි දකුණු අපි‍්‍රකානු පොලිසිය විශ්වාස නොකරයි. “දකුණු අපි‍්‍රකාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ඉලක්කයක් යැයි මා සිතන්නේ නැහැ. නමුත් එය සිදුවිය හැකියි. එහෙත් ඊට වඩා ලොකු අභියෝගය වන්නේ දිනෙන් දින සිදුවන අපරාධ මැඩ පැවැත්වීමයි.”

තත්ත්වය මෙසේ තිබියදී දකුණු අපි‍්‍රකානු පොලිස් ඇමැති නාති මෙතෙත්වා වසරකට දෙවතාවක් නිකුත් කරන අපරාධ දත්ත වාර්තාවල අළුත්ම සටහනකට අනුව මිනිසුන් මරා දැමීමේ අනුපාතයේ අඩුවක් දක්නට ලැබුනත් ව්‍යාපාරික ස්ථාන හා නිවෙස් කොල්ලකෑම් සංඛ්‍යාවේ ඉහළ නැගීමක් පෙන්නුම් කරයි.

2008/09 දත්තයන්ට අනුව අපරාධ මුහුණුවරේ අඩුවීමක් පෙන්නුම් කෙරෙන අතර ලිංගික හිංසාව, සොරකම්, ව්‍යාපාර හා වාණිජ අපරාධ හා වාහන පැහැර ගැනීම් යන අංශවල සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබේ. ලිංගික අපරාධ සියයට 10 කින් ඉහළ ගොස් තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා