ඇන්ජලා දෙවැනි වරටත් ජර්මන් චාන්සලර් පදවියට

ඇන්ජලා දෙවැනි වරටත් ජර්මන් චාන්සලර් පදවියට

ජර්මන් මැතිවරණයේ ප්‍රතිඵල අනුව දෙවැනි වරටත් එරට චාන්සෙලර් පදවිය හිමිවීමේ වරම වත්මන් චාන්සෙලර් ඇන්ජෙල් මර්කෙල්ට හිමිව තිබේ.

පසුගිය සිවු වසර තිස්සේ චාන්සෙලර් පදවිය දැරූ 55 හැවිරිදි මර්කෙල් ගේ ක්‍රිස්තියානු ප්‍රජාතන්ත්‍රවාදි සංගමය හා බැබේරියානු ක්‍රිස්තියානි සමාජ සංගමයේ එකතුවෙන් සැදි කොන්සර්වැටිව් කණ්ඩායම 33.8% ක ජනවරක් ලබා ඇතත් එය 2005 ලක් 35.2% ක ප්‍රමාණයෙන් පහළ බැස තිබේ. මෙය පශ්චාත් යුද සමයේ ඔවුන් ලත් අඩුම ජනවරමයි.

එහෙත් 14.5% ක ජනවරමක් ලත් නිදහස ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග සභාග ගතවීමෙන් මර්කෙල්ට මධ්‍ය දක්ෂිණාංශික රජයක් පිහිටුවීමට හැකියාව ලැබී ඇත.

මර්කෙල් ගේ කොන්සර්වැටිව් කණ්ඩායම හා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් පාර්ලිමේන්තුවේ ආසන 622න් 332ක්ම දිනාගෙන තිබේ.

මෙවර ජර්මන් මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයද සිවු වසරකට පර පැවැති 77.7% ප්‍රමාණයට එරෙහිව 70.8% දක්වා අඩුවී තිබේ. 2005 මැතිවරණයෙන් පසු මර්කෙල් ගේ පක්ෂය සමග සන්ධානගතව රජයට එක්ව සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙවන ලෝක යුද්ධයෙන් පසු ලත් දරුණුම පරාජයට හිමිකම් කියමින් 23%ක ඡන්ද වරමක් ලබා ඇත.

මේ අනුව මර්කෙල් සමග සිවුවසරක හා ඊට කලින් හරිත පක්ෂය සමග හත්වසරකද වශයෙන් 11 වසරක් රජයට බද්ධ වී සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් මෙවර විරුද්ධ පක්ෂයට එක්වන්නේය.

මේ ඡන්ද ප්‍රතිඵල අනුව සිවුවසරක් අකමැත්තෙන් සන්ධානගතව සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් වෙනුවට ව්‍යාපාර හිතවාදී නිදහස් ප්‍රජාතන්ත්‍රවාදීන් සමග සභාග රජයක් පිහිටුවීමට මර්කෙල්ට හැකිවනු ඇතැයි පැවසී තිබේ.

ෆෝබස් සඟරාව ඇය හඳුන්වා තිබුණේ මහපොළෙවේ බලවත්ම ගැහැනිය ලෙසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා