තලේබාන් නායකයන් අල්ලා දෙන්නන්ට පකිස්තානයෙන් තෑගි

මරා හෝ නොමරහෝ

තලේබාන් නායකයන් අල්ලා දෙන්නන්ට පකිස්තානයෙන් තෑගි

වයඹ දිග පාකිස්තානයේ බන්නු හා පෙෂවෝ නගරයන්හි ඉකුත් සෙනසුරාදා පුපුරා ගිය රිය බෝම්බ දෙකෙන් මිය ගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ යද්දී තලේබාන් සටන්කාමි නායකයින් පස් දෙනෙකු මරා හෝ නොමරා අල්ලා දෙන අයට විශාල ත්‍යාග පිරිනමන බව පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ කැර ඇත.

රිය බෝම්බ පිපිරීම් වලදී පෙෂවෝ නගරයේ 11 දෙනෙකු ඝාතනය වී 70 දෙනෙකු තුවාල ලබා තිබිණි. බන්නු නගරයේදී 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 9 දෙනෙකු පොලිස් නිලධාරීන්ය.

සිවු දෙනෙකු සිවිල් වැසියන්ය. මේ සිවු දෙනාගෙන් එක් අයකු අට හෝ නව හැවිරිදි ළමයකු බව සඳහනි.

පාකිස්තාන තලේබාන් සංවිධානය බෝම්බ පිපිරුමේ වගකීම බාරගෙන ඇති අතර ඔවුන්ගේ නායක බයිතුල්ලා මේෂුඩ් ඝාතනයට එරෙහිව තව තව පළිගන්නා බවද කියා තිබේ.

මේ අතර මරා හෝ නොමරා අල්ලා ගැනීමට අවශ්‍ය යැයි ප්‍රකාශිත පස් දෙනාම කයිබර් ප්‍රදේශවාසීන්ය. මේ ප්‍රදේශය ඇෆ්ගන් දේශ සීමාබද අවනීතිය රජයන ප්‍රදේශයකි.

මේ අවශ්‍ය පුද්ගලයන්ගෙන් එක් අයකු වන්නේ තහනම් ලෂ්කර් ඉස්ලාම් සංවිධානයේ නායක මන්ගල් ඛාන්ය. ඔහු වෙනුවෙන් ඩොලර් 60,000 ක ත්‍යාගයක් වෙන්ව තිබේ.

තවත් ලෂ්කර් නායකයින් දෙදෙනකු හා තලේබාන් නායකයින් දෙදෙනකු වෙනුවෙන් රුපියල් මිලියන දෙක බැගින් ත්‍යාග මුදල් වෙන්ව ඇත.

මේ සියල්ලන්ම වධක මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් අහිංසක මුස්ලිම් වැසියන් ඝාතනය කිරීමට වරදකරුවන් බව ප්‍රකාශ කරන බලධාරීන් ඔවුන් ග්‍රහනයට ගැනීමට තොරතුරු ලබාදීමෙන්ද මුදල් ත්‍යාග ලබා ගත හැකි බව කියා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා