30කගේ දිවි බේරා දුන් මුයෙල්මා බිලිඳියක් ගොඩගන්නට දිවි පුදයි

30කගේ දිවි බේරා දුන් මුයෙල්මා බිලිඳියක් ගොඩගන්නට දිවි පුදයි

පිලිපීන ජල ගැල්මේදී 18 හැවිරිදි මුයෙල්මා මැගල්ලානස් ඊට ගොදුරු වූ 30 දෙනෙකුට වැඩි පිරිසක් බේරා ගැනීමෙන් අභීත බව පෑවද අවසානයේදී ගසා ගෙන යන බිලිඳියක බේරා ගැන්මට තැත් කිරීමේදී එය ඔහුගේ ජීවිතයේ අවසානයද වී ඇත.

ගොඩනැගිලි කම්කරුවකු වන ඔහු නිසා දිවි ගලවාගත් පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල අය වීරයෙකු කොට සැලකූ මේ පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරව දක්වන අයුරු ඊයේ දක්නට ලැබිණ. ඔවුන්ගේ විනාශ වූ ගම්මානයේ තාවකාලික කඳවුරු බිමක ඔහුගේ දේහය තැන්පත් කෙරී තිබිණ.

ගසාගෙන යන හයමස් වියැති බිලිඳිය බේරා ගත් මැගල්ලානස් ඇය මාපියනට බාර කලඳ ජල ප්‍රවාහයට අසුවී ඔහු ගසා ගෙන ගියේය.

ඔහුගේ නිවසින් මීටර් 800 ක් දුරින් පිහිටි ගංගාවේ ඉවුරු බිඳී යාමෙන් ඇතිවූ ජල ගැල්මෙන් ඔහුගේ නිවසද යට විය. සිය සොයුරු සොයුරියන් ලණුවලින් ගැට ගසා තමාට සම්බන්ධ කැරගත් ඔහු ඔවුන් බේරා ගැන්මෙන් පසු සිය වැඩිමල් සොයුරෙකු ගේ ආධාර ඇතිව ජලයේ ගසා ගෙන යන බොහෝ දෙනකු බේරා ගැන්මට සමත් විය.

30 දෙනෙකු පමණ බේරා ගැනීමෙන් පසු වහලයක් මත ගිමන් හරින ඔහුට තවත් කෑ ගැසීමක් ඇසී ක්‍රියාත්මක වීමට සිදු වූයේ ඉහත කී සමස් බිලිඳිය බේරා ගැන්මටය.

ඒ වන විටත් මවත් බිලිඳියත් ජල ප්‍රවාහයේ ගිලෙමින් සිටි අතර දෙදෙනාම බේරා ගැන්මට ඔහු සමත් වුවද වෙහෙසට පත්ව සිටි ඔහුට තවදුරටත් වේගවත් ජල ප්‍රවාහය සමග පොර බැඳීමට නොහැකිව ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා