භාවනාව

භාවනාව

භාවනාව යන තේරුම දෙන පාලි වචනයේ අදහස වන්නේ වැඩි දියුණු කිරීම සංවර්ධනය කිරීම වැනි අර්ථ ය. ඒ අනුව භාවනාවේ අරමුණ අපගේ ජීවිතය අධ්‍යාත්මික හා මානසික වශයෙන් සැනසුම් දායක සංසිඳුනු සංවර්ධනයක් සඳහා ගෙන යාමකි.

අපි බොහෝ විට ජීවිතය භෞතික ක්‍රියාවලියක් සේ කල්පනා කරමු. එයට හේතුව එය භෞතිකව මහා පරිමාණයෙන් පෙනීමයි. අපරදිග සම්ප්‍රදාය තුළ ජීවිතය හුදෙක් භෞතික ප්‍රතික්‍රියා රාශියක් හැටියට විශ්ලේෂණය හා සංස්ලේෂණය කොට ඇත. එහෙත් පෙරදිග සම්ප්‍රදාය මීට වඩා හාත්පසින් වෙනස් ආකාරයකට ජීවිතය අර්ථ කථනය කරයි. ඒ අනුව එහි භෞතික අංශයක් සේම අධ්‍යාත්මික අංශයක්ද පවතින බව අවධාරණය කෙරේ.

විශේෂයෙන් බෞද්ධ දර්ශනයේ දී ජීවිතය තේරුම් කර ඇත්තේ කායික හා මානසික ක්‍රියාවලියක් හැටියට ය. ඒ අනුව කයෙන් තොර මනසට ද මනසින් තොර කයට ද ක්‍රියාත්මක විය නොහැකිය. එම දැක්ම අනුව අප ජීවිතය භෞතිකව හෝ මානසිකව පමණක් සංවර්ධනය කිරීමට පෙළඹෙන්නේ නම් එය සංවර නොවන ඒකාන්ශික මිත්‍යා ප්‍රතිපදාවකි.

එහෙයින් අප ජීවිතයෙහි භෞතික අංශය ගැන තිබෙන අවධානය හා සැලකිල්ලේ ප්‍රමාණයට මානසික අංශය ගැනද සැලකිලිමත් විය යුතු වෙමු. ජීවිතය කායිකව කර්මිකව හා අප ගන්නා ආහාර පාන සමඟ වර්ණය ද වේ.

එහෙත් මනස යනු ස්වාභාවිකව උසස් තත්ත්වයක් කරා සංවර්ධනය වන්නක් නොවේ. අපි අපගේ මානසික සංවර්ධනය සඳහා මැදිහත් විය යුතු වෙමු. ඒ සඳහා මනස වැරැදි ගතිවලින් ක්‍රමයෙන් මුදාගෙන යහපත් පැත්ත කරා යොමු කළ යුතු වෙමු. අඛණ්ඩ මානසික සංවර්ධනයකින් තොරව ජීවිතය අර්ථවත් ආකාරයට කළමනාකරණය කළ නොහැකිය. විධිමත් මානසික කළමනාකරණයකින් ජීවිතය අර්ථවත්ව භාවිතා කිරීමේ කලාව භාවනාව හැටියට දැක්විය හැකිය.

අපගේ මනස ජීවිත මෙහෙයුම් ඒකකයයි. එසේම මූලස්ථානයයි. මෙම මූලස්ථානය නිරවුල් කර ගැනීමෙන් ජීවිතයද ඒ සම්බන්ධ සියල්ල ද නිරවුල් වේ. එහෙයින් භාවනාව යනු පුළුල් අර්ථයෙන් ගත් විට ජීවත් වීමේ කලාවයි.

අධ්‍යාත්මිකව හා භෞතිකව ජීවිතය සමබර කර එහි අසම තුළිත ගති ඉවත් කිරීමේ අධ්‍යාත්මික ක්‍රමවේදය භාවනාව හැටියට තවත් ආකාරයකින් අර්ථකථනය කළ හැකිය.

කුඩා වියේදී අප හිමිකර ගන්නේ ඉතා විවෘත බෙහෙවින් පිරිසුදු සිතකි. එසේ වූවද මේ විවෘත සිත ක්‍රමයෙන් නොයෙක් කිලිටි ගති වලින් ආවරණය වීමට පටන් ගනී. මෙසේ සිත ආවරණය කරන ආවරණ ධර්ම කොටස් දෙකකට අන්තර්ගත කළ හැකිය. ඒ අනුව පළමු වැන්න මෝහනය වන අතර දෙවැන්න මෝහය මුල් කරගෙන ඇති වන ක්ලේශ ධර්මය. එහෙත් මෙසේ ආවරණය වූ සිතකින් ජීවිතය ඵලදායි ආකාරයට යොදාගත හැකි නොවේ.

එනිසා අපි අපගේ මනස ආවරණය කරන එහි පැහැදිලි ගතිය කිලිටි කරන කරුණු මැනවින් තේරුම් ගෙන ඒ ක්‍රමයෙන් විවෘත කර ගැනීමට පෙලඹිය යුතු වෙමු. එසේ මනස විවෘත කර ගැනීමේ ක්‍රමවේදය භාවනාවයි. එක්තරා ආකාරයකින් අපගේ මනස යම් බිම් කඩකට සමාන කළ හැකිය. පාළුවට ගිය බිම් කඩක වල් පැලෑටි අමුතුවෙන් වගාකළ යුතු නොවේ. ඒවා අපගේ මැදිහත් වීමක් නොමැතිව බෝවේ. භාවනාවෙන් නොවැඩු සිත නැමැති මෙම බිම් කඩෙහි නොයෙක් වල් පැලෑටි දැනටමත් පැලවී ඇති අතර නිරන්තරයෙන් තව තවත් එබදු පැලෑටි බෝවෙන්න පටන් ගනී.

භාවනාව යනු මේ සිත් බිම් කඩෙහි දැනට බෝවී ඇති වල් පැලෑටි වැනි කිලිටි ගති හා බෝවෙමින් පවතින වල් පැලෑටි වැනි කිලිටි ගති මැනවින් හඳුනාගෙන ක්‍රම ක්‍රමයෙන් ඉවත් කිරීමේ හා මල් පලදරන සරු රුක් රෝපණය කිරීමේ අඛණ්ඩ සජීවි වැඩපිළිවෙළයි. අදුරු සිතුවිලි දූෂණය වූ හැඟීම් ආවේග තණ්හා සහගත බලාපොරොත්තු නැමැති වල් පැලෑටි ක්‍රමක් ක්‍රමයෙන් නසා පැහැදිලි සිතුවිලි දරාගැනීමේ ඔරොත්තු දීමේ මැදිහත් ගතිය වගා ක්‍රෝධයට පත් නොවීමේ සිත අනවශ්‍යය.

දැඩි බව වෙනුවට කාරුණික මෘදු ගතිය කපටි නැති බව හා අවංක බව මායාකාරී නොවන බව ගුණවතුන්ගේ ගුණ වැනීම ආදී කුසල බීජ (යහපත් බවේ බිජුවට) පියවරෙන් පියවර රෝපණය කළ යුතු වෙමු. එසේ වූ විට ඉතා තෘප්තිමත් සැනසුම්දායක ජීවිතයක් අපට අත් විදිය හැකි වනු ඇත. එය මුල මැද අග සියලු ආකාරයෙන් නිරවුල් යහපත් එකක්ද වනු ඇත. අපගේ ජීවිතය අතීතයෙන් හා අනාගතයෙන් මිදුනු වර්තමානය තුළ අර්ථවත් වන එකක් වනු ඇත.

භාවනාව යනු නිරන්තරයෙන් ප්‍රගුණ කළ යුතු ශික්ෂණයකි. නිරන්තරයෙන් භාවිතා කළ යුත්තකි. අත්හදා බැලිය යුක්තකි. පියවරෙන් පියවර වැඩිය යුත්තකි. අත්හදා බැලිය යුත්තකි. සමහරු මහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් භාවනා කරති. මෙය වැරැදි සහගත සිතුවිල්ලකි. ඔබට සාර්ථක භාවනා යෝගියෙකු වීමට අවශ්‍ය නම් භාවනාවෙන් ලැබේ යැයි ඔබ අපේක්ෂා කරන ප්‍රතිඵල පිළිබඳ සිහිනය සිතෙන් ඉවත් කරන්න. ඉන්පසු භාවනාව ආරම්භ කරන්න. සැබවින්ම ඔබ පළමුව කළ යුත්තේ භාවනාව කිරීම පමණි.

ඊට වඩා කිසිම දෙයක් ගැන නොසිතන්න ප්‍රතිඵල අපේක්ෂාවෙන් භාවනා කරන්නාගේ සිත නොසන්සුන් තාවයට පත් වේ. සිත සමාධියෙන් ඈත් වේ. එහෙයින් භාවනාව හුදෙක් සැනසීම සන්සිදීම මානසික නිරවුල් බව සඳහාම කරන්න තවත් සමහරු කාලය සීමා කරගෙන කාලය ගැනම සිතමින් භාවනා කරති. මෙයද වැරැදි ක්‍රමයකි. ඔබ විනාඩි තිහක් හෝ පැයක් භාවනා කරමිනැයි කාලය සීමා කරගෙන භාවනා කිරීමට වාඩි වූණා යයි සිතන්න.

එවිට ඔබගේ සිත දිව යන්නේ කාලය ගත වීම පිළිබඳව මිස භාවනාව ගැන නොවේ. ඔබ ඔබට පුළුවන් කාල සීමාවක් භාවනා කරන්න. සමහර විට එම වෙලාව සුළු වෙලාවක් විය හැකිය.

එහෙත් වැදගත් කාරණය ඔබගේ සිත තේරුම් ගත හැකි ප්‍රමාණය හා මනා සිහියෙන් සමාධි ගත වීමේ කුසල තාවයි. දෑස් වසාගෙන නිසොල් මනේ සිටි පමණින් භාවනාවක් සිදු නොවේ.

ඔබ ආධුනිකයෙක් වශයෙන් භාවනාවට යොමුවන විට සුදුසුකම්ලත් ගුරුවරයෙකු යටතේ යම් විදිමත් පුහුණුවක් ලබා ගැනීම අත්‍යවශ්‍යය කාරණයකි. එහෙත් ඔබ දිගින් දිගටම කොටු වී භාවනා කළ යුතු යැයි සිතන්නේ නම් එය වැරැදි සිතුවිල්ලකි. භාවනාව යනු ජීවත් වීමේ කලාවයයි මුලින් සඳහන් කලෙමි. එහෙයින් භාවනාව ජීවිතයේම අනිවාර්ය අංගයක් කරගත යුතුවේ. භාවනාව ජීවිතයෙන් වෙන් නොකරන්න.

එය ජීවිතය බවට පත්කර ගන්න. එවිට ඔබට භාවනා කිරීමට නිශ්චිත ඉරියව්වක් හෝ නිශ්චිත කාල සීමාවක් අවශ්‍ය නොවනු ඇත. මක්නිසාද යත් භාවනාව ජිවිතයේ ම අංගය කරගත් විට එය තව දුරටත් එදිනෙදා ජීවිතයට මුහුණ දීමේ නිවැරැදි ක්‍රමය වන හෙයිනි.

භාවනා යෝගියෙක් වශයෙන් ඔබට අවශ්‍ය මූලික සුදුසුකම මේ මොහොත ගැන වූ මනා සිහියයි. අවදිමත් බවයි. බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන ආකාරයේ මනා සිහියයි. එහි වැඩිදුරටත් සාකච්ඡා වන ආකාරයට අපට නොමනා සිහියක්ද ඇත. එම නොමනා සිහිය ක්‍රියාත්මක වන්නේ අපගේ ජීවිතයේ අයහපත් පැත්ත වෙනුවෙනි. සත්ත්ව ඝාතනයේ යෙදෙන කෙනෙක් ගැන සිතන්න. ඔහුට සිහියක් නොමැති නම් ඝාතනයක් කළ නොහැකිය. එහෙත් එය නොමනා සිහියකි. එසේ නම් මනා සිහිය යනු කෙබදු එකක්ද ? නොමනා සිහිය අමුතුවෙන් වැඩිය යුත්තක් නොවේ. එහෙත් මනා සහිය යනු වර්ධනය කළ යුතු එකකි. සිතෙහි නිවැරැදි සිහිය වර්ධනය නොකර එහි කිසිම සංවර්ධනයක් ඇතිකරගත නොහැකිය. සිහිය සියලු යහපතේ පදනම වේ.

සීලයෙන් පටන් ගන්න

භාවනාව යනු ක්‍රමාණුකූල වැඩපිළිවෙළක් බව මුලින් සඳහන් කළෙමි. එහිලා මූලිකව සම්පූර්ණ කළ යුතු කරුණු කීපයක් ඇත. සීලය එහිලා මූලික ය. බුදුරජාණන් වහන්සේ සීලය අපගේ අධ්‍යාත්මික ගමන් මගෙහි මූලික පියවර හැටියට අවධාරණය කර ඇත. සීලය යනු හික්මීම, මූලික සංවරය, කායික වාචසික නිරවද්‍යතාවය, කායික වාචසික ක්‍රියාවල නොඇද ගතිය, කය වචනයේ පිරිසුදු බව යනාදි අර්ථ දීපනය කරන්නකි.

ඒ අනුව සීලය යනු ආත්ම සංවරයයි. ආත්ම දමනයයි. ආත්ම දමනයක් නොමැති පුද්ගලයාට අධ්‍යාත්මික වෙනසක් මානසික දියුණුවක් ඇතිකරගත නොහැකිය. එහෙයින් කායික වාචසික සංවරය අධ්‍යාත්මික සංවරය ඔබේ පදනමයි.

කය වචනය සංවර කර ගැනීමෙන් සිතේ මූලික සංවරයක් ඇති වේ. කය වචනය සංවර වන්නේ මූලික පියවර දෙකක් යටතේ ය. එහි මූලික පියවර අයහපත් ක්‍රියාවලින් හා වචනවලින් වැළකීමයි. දෙවැනි පියවර තමන්ටත් අනුන්ටත් පීඩාවක් නොවන යහපතක්ම ඇති කරන හොඳ ක්‍රියාවල යෙදීම හා හොඳ වචන කථා කිරීමයි. උදාහරණයක් වශයෙන් ඔබ මුසාවාදයෙන් වැළකීම පමණක් ප්‍රමාණවත් නොවේ. අනිවාර්යයෙන් සත්‍ය වචනද කථා කළ යුතුවේ. මෙසේ ශීලයේ චාරිත්‍ර යනු හොඳ ක්‍රියාවල යෙදීම වන අතර චාරිත්‍ර යනු නරක ක්‍රියාවලින් වැළකීමයි.

තවත් උදාහරණයකින් පැහැදිලි කළොත් ප්‍රාණඝාතනයෙන් වැළකෙන පුද්ගලයා එසේ වැළකීම සේම අන්‍යයන්ගේ ජීවිත සුරක්ෂා කිරීමද කළ යුතුය. මෙසේ ශීලය සමබර පිළිවෙතකි. මෙසේ අවබෝධයෙන් යුතුව සිල්වත්වීමෙන් ඔබට ඔබගේ මනසද යම්තාක් දුරකට පාලනය කරගත හැකිය. සිල්වත් වීමේදී මනස නිරායාසයෙන් පෙළඹෙන ක්‍රියාවලින් අප වළකින අතර එය එතරම් නොකැමැති යහපත් ක්‍රියා කිරීමට පෙළඹෙමු.

සමහරු ආගමික චාරිත්‍රයක් සේ සීලය ගැන සිතකි. තවත් සමහරු එය හුදු පුරුද්දක් සේ සිතති. තවත් අය එය බලෙන් ආරක්ෂා කළ යුතු දෙයක් සේ සිතති. එහෙත් මේ අදහස් තුනම වැරැදියි. ඔබගේ අවබෝධය තරමට ඔබට සිල්වත් විය හැකිය. ඔබ සිල්වත් විය යුත්තේ එය ආගමික චාරිත්‍රයක් හෝ පීඩාවක් ලෙස සලකා නොව ඔබගේ නිරවුල් දිවි පැවැත්මට අත්‍යාවශ්‍ය කාරණයක් සේ සලකමිනි.

පහේ් දහම් පොත් වල සීලයෙහි ආනිසංස මෙසේ දක්වා ඇත.

සිල්වත් පුද්ගලයා කායිකව මානසිකව සැපවත් වන්නෙකි.

නින්දා අපහාස වලින් මිදෙන්නෙකි.

සමාජයේ කවර හෝ තැනකට නොබියව නොපැකිළිව ගමන් කිරීමට හැකියාව ඇත්තෙකි.

මනා සිහියෙන් ක්‍රියා කරන්නෙකි.

යහපත් සැපවත් මරණයක් ලබන්නකි.

මෙම කරුණු සලකා බලන විට ඉස්මතු වන වැදගත්ම දේ නම් සීලය මගින් අපට අපගේ හෘදය සාක්ෂිය නිවැරැදි කර ගැනීමට අවස්ථාව තිබීමයි. ඔබට ඔබගේ හෘදය සාක්ෂිය චරිතය සම්බන්ධයෙන් ලැබෙන මහඟු අනුමැතියයි. ඔබගේ් හෘදය සාක්ෂිය ඔබට චෝදනා කරන්නේ නම් ඔබ ගොඩනඟාගෙන සිටින චරිතය ප්‍රතික්ෂේප කරන්නේ නම් එය උපවාදයට පත් කරන්නේ නම් එයින් ඔබගේ මනස අවුල් වනු ඇත. නොසන්සුන් වනු ඇත. නොසන්සුන් අවුල් මනසකින් අධ්‍යාත්මික ගමනක් යා නොහැකිය. මක්නිසාද යත් ඔබට ඔබ විසින්ම චෝදනාව කරුණු ලබන විට බලවත් පසු තැවීමකින් මුළු සිතම අඩපණ වන හෙයිනි.

මෙම කරුණු අනුව සීලය විසින් ලබාදෙන ආලෝකය අධ්‍යාත්මික ගමනෙහි පෙරගමන් කරුවේ. සමහර විට ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. එකවර සිල්වත් වන්නේ කොහොමද යනුවෙනි. කලබල වෙන්න එපා එකවර සිල්වත් වෙන්න කියා අපි ඔබට කියන්නේ නැහැ. අප විසින් කරනු ලබන්නේ සීලයෙහි වැදගත්කම අවධාරණය කිරීම පමණි. එසේ විනා එකවර සිල්වත් වන්නයයි බුදු දහමද අවධාරණය නොකරයි. එය පියවරෙන් පියවරට යායුතු ගමන් මඟක් අපට පැහැදිලි කරයි. ඒ අනුව ඔබ ක්‍රමයක් ක්‍රමයෙන් සිල්වත් වන්න. ඔබේ ක්‍රියාවල වචනවල අඩුපාඩු කර වැරැදි ටික ටික හදාගන්න. ඔබ ටික ටික නිවැරැදි වෙන්න. එවිට ඔබ නොදැනුවත්ව නිවැරැදිවෙලා ඇත.

සමහර විට කෙළිලොල් සංචාරක ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔබට සීලය මහ වදයක් සේ හැගෙනු ඇත. සැබැවින්ම සීලය මානසික වදයක්ද ? ජීවිතය නිදහස සීමාකරන්නක් ද ? නිදහසේ සැබෑ අර්ථය තේරුම් ගත් විට ඔබට ඒ සඳහා නිවැරැදි පිළිතුරක් ලැබෙනු ඇත. ඔබ බාහිරව කෙතරම් නිදහස් වූවත් අධ්‍යාත්මිකව මානසිකව සිරගත වී ඇත්නම් එම බාහිර නිදහසේ තේරුම කුමක් ද ? ඇත්තටම ඔබ සිල්වත් වූ විට ඔබ සැබෑ නිදහස් මිනිසෙක් වනු ඇත.

සිල්වත් පුද්ගලයා පසු පස හඹා එන අශිෂ්ට දුසිරිත් ක්‍රියාවල දෝංකාරයෙන්ද මානසික අසහනයෙන්ද පශ්චාත්තාපයෙන්ද ඔබ මිදෙනු ඇත. ඇත්තටම ඔබ පසු පස හඹාගෙන එන වැරැදි ඔබට කොතරම් පීඩාවක් ද ? සීලය මෙම වැරැදි වලින් ඔබ මුදවයි. සමහරු අසීමිත නිදහස අත් විදින්නට යාමෙන් ඒඩ්ස් වැනි සමාජ රෝගවල හිමිකරුවෙක් බවට පත්වෙති. එහෙත් ඒ අය තුළ සිල්වත් බවක් තිබුණ නම් යම් හික්මුණු බවකින්ද නිදහස පරිහරණය කිරිමට ඔවුන් පෙළෙබෙනු ඇත.

සිල්වත් වීමෙන් ලැබෙන සතුට අප්‍රමාණය දුසිල්වත් වීමෙන් ලැබෙන මායාකාරී වින්දනය ඉතාම තාවකාලිකය. සීලය ඔබේ භාවනාවේ පදනම වන්නා සේම ඔබේ සමස්ත ජීවිතයේම ස්ථාවර පදනම වේ. එය ඔබ ආරක්ෂාකාරි පුද්ගලයකු කරයි. සීලයෙන් නොහික්මුණු පුද්ගලයාගේ ජීවිතය ඉතාම අනාරක්ෂිතය. ඔහුගේ ජීවිතය ඕනෑම අවස්ථාවක විපතකට කරදරයකට පත් විය හැකිය. ඔහු ඕනෑම මොහොතක වරදක් කළ හැකි පුද්ගලයෙකි. ඒ නිසා එම ජීවිතය අවුල් ජාලයකි. මෙබදු අවුල් ජීවිතයක් ඇති පුද්ගලයා කෙසේ නම් ඉහළ අධ්‍යාත්මික අරමුණක් සඳහා ගමන් කරයිද ? සමහරවිට ඔබ ගොඩනඟාගත් හික්මුණු ජීවිතය යම් යම් කාරණයන් නිසා බිද වැටෙන්නට පුළුවනි.

 කලබල නොවන්න. ඔබ පසු තැවීමට පත් නොවන්න. ඔබට නැවත නැගිටිය හැකිය. ඔබ කළ යුත්තේ පළමුව ඔබ අධ්‍යාත්මික පිරිහුණු ආකාරය තේරුම් ගැනීමයි. ඉන් පසු පියවරෙන් පියවර සිල්වත් බව ඇතිකර ගන්න. සමහරවිට ඔබේ මනස ඔබට බල කරනවා ඇති. සිල්වත් බව අතහරින්න කියා එවිට ඔබ එහි වටිනා කම ඔබට මෙතෙක් අත්වුණු යහපත සිහිපත් කරන්න. මහා අර්ථකථාචාර්ය බුද්ධ ඝෝෂ තෙරුන්වහන්සේ සිල්වත් බවෙහි වටිනාකම එහි ප්‍රතිඵල මෙසේ පැහැදිලි කරති.

සීලය වනාහි සියලු දෙනාගේම පිහිටයි. පංචමහා ගංගාවන්ගේ ජලයෙන් ලබන පිරිසුදු බවට වඩා පිරිසුදු බවක් සීලයෙන් ලැබේ. සත්ත්වයන්ට පීඩාගෙන දෙන පරිදාහය සීලය නිසා පහව යයි. සිල් සුවඳ දස අතටම විහිදී යයි. සීලය සියලු යහපතේ මගය. නිවන් මඟට විවෘත කළ දොරටුවකි. සීලය සැමට වඩා බබළන ආභරණයකි. සිල්වත් ආත්ම උපවාදයෙන් මිදෙයි. එබදු බයක් ඔහුට නොමැත. සීලය ඔහුට කීර්තියද ප්‍රශංසාවද ඇති කරයි. (විසුද්ධි, මග්ග, සීලනිද්දේසය)

සිල්වත් වීමේ මූලික පියවර වශයෙන් ඔබ පංචශීලය ගැන පළමුව අවධානය යොමු කරන්න.

සියලු ආකාරයේ ප්‍රාණඝාත වලින් වළකින්න.

සොර කමින් වළකින්න.

කාම මිත්‍යාචාරයෙන් වළකින්න.

දැන දැන බොරු කීමෙන් වළකින්න.

මදයට, ප්‍රමාදයට හේතුවන මත් වතුර හා මත් ද්‍රව්‍ය ගැනීමෙන් වළකින්න.

පංච ශීලය මූලික මනුෂ්‍යය ආචාරධර්ම පහකි. එය මනාව තෙරුම් ගත් විට ක්‍රියාවට නැගීම පිළිබඳ ප්‍රශ්නයක් අති නොවනු ඇත. එය ඔබ මිනිසෙක් වශයෙන් සපුරාලිය යුතු මූලික සුදුසුකම් පහක් පිළිබඳව පැහැදිලි කරයි.

පංච සීලය ඉතාම ප්‍රායෝගික පිලිවතකි. එදිනෙදා ජීවිතයේ ඔබ මුහුණ දෙන බොහෝ ප්‍රශ්න උත්ගත වන්නේ ඔබ තුළ පන්සිල් නොමැති වීම හේතුවෙනි. ඇත්තටම ඔබ පන්සිල් වලින් හික්මුණු කෙනෙක් නම් නිරවුල් ජීවිතයක් සේම මහත් සමාධියක් ඔබට හිමිවනු ඇත. බොහෝ මානසික කිලිටිගති ඔබට පීඩාකාරි සේ ඉස්මතු නොවනු ඇත.

ඔබ සිල්වත් වෙන්න, නැවත නැවතත් සීලයේ ස්ථාවර වන්න. සීලය ඔබගේ අධ්‍යාත්මික ජීවිතයේ ආරක්ෂක වැටසේ සලකන්න. එය ඔබගේ තෘප්තිමත් භාවයේ ද සන්තුෂ්ටියේද මූල ධර්මය කරගන්න. එවිට ජීවිතය ඉතාම ප්‍රබෝධමත් නැවුම් අත් දැකීමක් සේ ඔබට අත් විදිය හැකි වනු ඇත. ඔබගේ ජීවිතය අර්ථවත් ආකාරයට කළමනාකරණ කර ගැනීමේ ආරම්භය සීලය බව තේරුම් ගන්න. සීලයෙන් කළමනාකරණයට පත් වූ ඔබේ ජීවිතයේ හැම මොහොතක්ම ඔබගේ මානසික සංවර්ධනය සඳහා පිටුවහලක්ම වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා