සල් සෙවණේ උපන් අසමසම විප්ලවවාදියාණෝ

සල් සෙවණේ උපන් අසමසම විප්ලවවාදියාණෝ

විප්ලවය’ යන වචනය ඇසුණු සැණෙන් කෙනෙකුට ඇඟ හිරිවැටෙන තරම් බියක් ද, කෙනෙකුට දෙවුර හැකිලෙන තරම් හිරිකිතයක් ද, තවත් කෙනෙකුට සවන පිනවන මිහිරක් ද දැනෙනු ඇත. එය විප්ලවය පිළිබඳ සමාජ දෘෂ්ටීන්වල වෙනස්කම් නිසා සිදු වන්නකි. ‘විප්ලවය’ (Revolution) යන වචනය දර්ශනය පිළිබඳ ඔක්ස්ෆෝඩ් ශබ්දකොෂයේ දැක්වෙන්නේ මෙසේය. ‘පැරණි ආයතනයක හා සමාජ සම්බන්ධතා වෙනුවට අලුත් දේශපාලන හා සමාජමය සම්බන්ධතාවක් ආදේශ කිරීමයි.

එසේම බලය හා බලධාරීන් පිළිබඳ නව සම්බන්ධතා ගොඩනැගීම විප්ලවය නම් වේ. විප්ලවය හිංසාකාරී හෝ හිංසාකාරී නොවූ එකක් ද විය හැක’ මේ අනුව බුදුන් වහන්සේ භාරතීය සමාජ තුළ සමාජ විඤ්ඤාණය තුළ ගොඩනැගූ විප්ලවීය පරිවර්තනය කෙබඳු එකක්ද ? ඒ සඳහා බුදුන් වහන්සේ ලොවට හෙළි කළ දාර්ශනික පදනම කුමක් ද ? යන්න පළමුවෙන් පරීක්ෂා කර බැලිය යුතුය.

හේගල් නම් වු ජර්මන් දාර්ශනිකයා (1780 – 1871) විසින් ඉදිරිපත් කළ අපෝහක තර්ක ක්‍රමය විඤ්ඤාාණවාදී එකක් විය. කාර්ල්මාක්ස් (1818 – 1883) හේගල් ඉදිරිපත් කොට තිබූ ‘තර්ක න්‍යාය’ උඩු යටිකුරු කරමින් අපෝහක භෞතිකවාදී න්‍යාය ගොඩනගමින් ඒ ඔස්සේ සමාජ විප්ලවයකට අවශ්‍ය විද්‍යාත්මක න්‍යාය ගොඩ නැගුවේය. වී. අයි. ලෙනින් (1870 – 1924) විසින් මාක්ස් මිය ගොස් වසර හතළිහකට පසු මාක්ස්ගේ න්‍යාය භාවිතා කොට සෝවියට් සමාජවාදී විල්පවය සිදු කළේය.

එමගින් සිදුවූ සමාජ විප්ලවය ලෝකයේ බලපැවැත්වූයේ අඩසියවසකටත් අඩු කාලයකි. සෝවියට් දේශයෙහි නිලධාරීවාදය නැගී සිටීම නිසා විප්ලවය අසාර්ථක විය. එය පිරිහුණු කම්කරු රාජ්‍යයක් බවට පත් විය. අප මේ ඉතිහාසය සඳහන් කළේ ඇයි ? බුදුන් වහන්සේ බිහිවුණේ මාක්ස් හා ලෙනින් ඉපදීමට වසර 2400 පෙරයි. බුදුන් වහන්සේ විසින් භාරතීය බ්‍රාහ්මණ සමාජය උඩු යටිකුරු කරමින් ගොඩනැංවූ සංඝ සමාජ සංවිධානය වසර 2500 කට වැඩි කාලයක් විද්‍යාමානව පැවතීමේ රහස සෙවීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

බුදුන් වහන්සේ යෝජනා කළ සමාජ විප්ලවයේ ආදර්ශය Model of the Social Revolution  වන්නේ මේ සංඝ සමාජ සංවිධානය යි. සංඝ යන වචනයේ අර්ථය වන්නේ  Communityපොදු, සමූහ යන්නයි. එහි ඇත්තේ පෞද්ගලික දේපළ නොව සාංඝික දේපළ නම් වූ කමියුනිස්ට් ක්‍රමයයි. මේ සංඝ සමාජ ව්‍යුහය මාක්ස්වාදයේ එන ක්‍රමය හා අරමුණු වරදවා තේරුම් නොගත යුතු ය.

බෞද්ධ සංඝ සමාජ ;ගාඩනැගෙන්නේ නිර්වාණය නම් වූ විමුක්තිය පිළිබඳ අරමුණක් ඔස්සේ බැවිණි. එහෙත් මෙම සංඝ සමාජ ආදර්ශය තුළ සමාජ විප්ලවයකට අවශ්‍ය බොහෝ ගති ලක්ෂණ ඇති බව අප වටහා ගත යුතුය. මෙසේ දිගුªකලක් මෙම සමාජ සංස්ථාව පැවතීමේ හේතූන් සෙවීම මෙහිලා විශේෂයෙන් වැදගත් වනු ඇත. බුදුන් වහන්සේ විසින් සංඝ සමාජය භාරතීයෙහි ගොඩනැගීම සැබවින්ම විප්ලවීය පරිවර්තනයකි.

බෞද්ධ සංඝ සමාජය වනාහි බ්‍රාහ්මණ සමාජ ක්‍රමයෙහි සර්වබලධාරී බ්‍රහ්මන් විසින් මැවුවායැයි පිළිගැනෙන පදනම් රහිත කුල ක්‍රමය වූ චතුර්වර්ණ සමාජක්‍රමය, සම්පූර්ණයෙන් බිඳ දමා ගොඩ නැගූ නවතම සමාජ සංවිධානයකි. සතර වර්ණ වෙනුවට භික්ෂු භික්ෂූණී උපාසක උපාසිකා යන සතර ආයතන වලින් මෙම සංඝ සමාජය සමන්විත කෙරුණි. මෙහි ඇත්තේ කුලවාදී පදනම ඉවත් කොට ස්ත්‍රී - පුරුෂ හා ගිහි – පැවිදි වෙනස වැනි බාහිර සම්මුති වෙනසක් පමණි.

ජීව විද්‍යාත්මක වශයෙන් මිනිස් වර්ගයේම ඒකත්වය විවිධ සූත්‍ර වලින් අවධාරණය කළ බුදුන් වහන්සේ ජාති, කුල, පංති වෙනසකින් තොර ව මෙම සංඝ සමාජය ගොඩ නැගූහ. සංඝ සමාජයට ඇතුළත් වන කවර ආකාරයේ කවර තරාතිරමක කෙනෙක් වුණද නම් ගොත් වලින් බැහැර වී ඒකීය සංඝ සමාජයට ඇතුළත් වන්නේය.

බෞද්ධ සංඝ සමාජය යනු භික්ෂූන් වහන්සේ පමණකැයි ඇතමෙක් සිතති. සංඝ සමාජය යනු භික්ෂු සංඝ හා ශ්‍රාවක සංඝ යන දෙපිරිසෙන් සමන්විත පුළුල් සමාජයයි. භික්ෂු වශයෙන් ගැනෙන්නේ භික්ෂු - භික්ෂුණී වන අතර ශ්‍රාවක සංඝයා ලෙස උපාසක – උපාසිකාවන් දෙපිරිස අයත් බව අප තේරුම් ගත යුතු ය. බෞද්ධ සංඝ සමාජය මෙසේ දිගු කලක් පැවතියේ එය පුද්ගල නායකත්වයෙන් මෙහෙයවන සංවිධානයක් නොව ධර්මයේ ව්‍යවස්ථාපිත නායකත්වය යටතේ, එනම් ධර්මය හා විනය අනුව පාලනය වන සංවිධානයක් වන නිසාය. ගුණාත්මක වශයෙන් යම් යම් ලක්ෂණ වලින් පිරිහී ගියද මේසා දිගු කාලයක් මේ බ්‍රාහ්මණ සමාජ සංස්ථාවට විකල්ප වශයෙන් ගොඩනැගූ සංඝ සමාජයේ විප්ලවයට හේතු වූ න්‍යායික පදනම කෙරෙහි මීළඟට අපගේ අවධානය යොමු කරමු.

බුදුන් වහන්සේ භාරතීය දර්ශන ඉතිහාසයට පමණක් නොව මානව චින්තනයට අලුතෙන් එක්කලා වූ දාර්ශනික සංකල්ප වූයේ පටිච්චසමුප්පාදය නම් වු හේතුඵල වාදය යි. කර්මය පුනරුප්පත්තිය, මෝක්ෂය සීල සමාධි වැනි සියලු වචන හා ඉගැන්වීම් බුදුන් වහන්සේ පහළ වීමට පෙරත් ආගමික හා දාර්ශනික ක්‍ෂේත්‍රය තුළ භාවිතා විය. එහෙත් පටිච්ච සමුප්පාදය යන වචනය හෝ එබඳු ඉගැන්වීමක් බුදුරදුන් පහළ වීමට පෙර නොතිබිණි. පරිච්ච සමුප්පාදය නවතම ඉගැන්වීමක් වූවා පමණක් නොව ඒ වන විට පැවති (62) හැට දෙකක් දෘෂ්ටිවාදයන්ද එමගින් ඛණ්ඩණය කරන ලදී. මිනිසා නිරතුරු අන්ත දෘෂ්ටි ;දකක් භජනය කරයි. ‘ද්වං නිස්සිතෝ අයං ලොකෙ අත්ථිතංච නත්‍ථතංච එතෙ තෙ උභො අන්තෙ අනුපගම්ම මජෙඣන තථාගතො ධම්මං දෙසෙකි.

‘මිනිස් වර්ගයා සැමදා ‘අස්ති’ හා ‘නාස්ති’ ඇත හා නැත යන අන්ත දෙක භජනය කරයි. එහෙත් තථාගතයන් වහන්සේ මේ අන්ත දෙක ප්‍රතික්ෂේප කොට මධ්‍යම තත්ත්වයෙන් ධර්මය දේශනා කරති. මෙයින් පැහැදිලි කෙරෙන්නේ ලොව පුහුදුන් පුද්ගලයා කිසියම් දෘෂ්ටියක එල්බ සිටින බවයි. භෞතිකවාදී දෘෂ්ටිය කෙනෙක් දරන අතර තව කෙනෙක් විඤ්ඤාණවාදී දෘෂ්ටිය දරති. ශාශ්වත හෙවත් සදාකාලික ආත්ම කෙනෙක් පිළිගන්නා අතර තව කෙනෙක් උච්ඡේදය හෙවත් මරණින්මතු සියල්ල අවසාන වේ යන දෘෂ්ටියේ පිහිටා සිටිති.

එහෙත් බුදු දහම මේ සියලු දෘෂ්ටිවාද ප්‍රතික්ෂේප කරන්නේ සියල්ල හේතූ®න්ගෙන් හටගන්නා බැවින් නිරන්තරයෙන් වෙනස් වෙමින්, අලුත් වෙමින් තිබෙන දෙය තවත් දෙයක් බවට පත් වෙමින් ප්‍රවාහයක් ලෙස ක්‍රියාත්මක වන නිසාය. එම අන්ත වලින් තොරව ලෝකය දෙස බැලිය යුතු යයි ද එය මධ්‍යම දර්ශනය ලෙසද හැඳින්වේ. ප්‍රතිවිරුද්ධාර්ථ බැහැර කිරීම අපෝහක තර්කයේ ලක්ෂණය යි. ලෝකය පිළිබඳ භෞතිකවාදී ආකාරයන් හා විඤ්ඤාණවාදී අන්තයන් දෙකම පටිච්ච සමුප්පාද ධර්මයෙන් ප්‍රතික්ෂේප කෙරෙයි.

භෞතික වාදීහු ද්‍රව්‍යයට, ප්‍රමුඛත්වය දෙමින් ද්‍රව්‍යයෙන් සිත (ජීවය) හටගත් බව අවධාරණය කරයි. විඤ්ඤාණවාදී දෘෂ්ටිගතිරයා සියල්ල මනසෙන් නැතහොත් ආත්මයෙන් එසේත් නැතහොත් සර්ව බලධාරී දෙවියන්ගෙන් පටන් ගත් බව පිළිගනී.

ආත්මය මනස හෝ දෙවියන්වහන්සේ සියල්ලෙහි මූල හේතුව සේ සලකන විඤ්ඤාණවාදී දෘෂ්ටියත්, ඉහතින් දැක්වූ භෞතිකවාදී දෘෂ්ටියත් යන දෘෂ්ටි දෙකම බෞද්ධ හේතුළු වාදයෙන් ප්‍රතික්ෂේප වේ. මක් නිසාද යත් මනස ද්‍රව්‍යය අපේක්ෂා කරමින්ද, ද්‍රව්‍ය මනස අපේක්ෂා කරමින් ද පවතින බැවිනි. එනම් කයින් තොරව මනසටත් මනසින් තොරව කයත් පැවතිය නොහැකි බව පටිච්ච සමුත්පාද ධර්මයෙන් සනාථ කෙරෙයි. මේ නිසා භෞතිකවාදී අන්තය හා විඤ්ඤාණවාදී අන්තය යන දෙකම එකසේ ප්‍රතික්ෂේප කරන බැවින් ප්‍රතිවිරුද්ධාර්ථ බැහැර කරන පටිච්චසමුප්පාද ධර්මයෙන් මතුවන්නේ ‘අපෝහක යථාර්ථවාදයයි’ බෞද්ධ සමාජ විප්ලවයේත් අධ්‍යාත්මික විප්ලවයේත් න්‍යාය වන්නේ් මේ අපෝහක යථාර්ථවාදයයි. එය මාක්ස්වාදයේ අපෝහක භෞතික න්‍යාය සමාජවාදී සමාජ විප්ලවයට පදනම් වූවාක් මෙනි.

මිනිසා නාම රූප දෙකෙහි සමවායෙන් හටගනී. එනම් භෞතිකය හා මනස යන දෙකෙහිම එකතුව මිනිසා වේ. එසේ නම් මිනිස් සමාජයද භෞතික මානසික යන අංශ දෙකෙහිම එකතුවක් වන බැවින් විප්ලවය සමාජ ආර්ථික වාදයෙහි පරිවර්තනයකින් පමණක් සම්පූර්ණ නොවේ. එය අධ්‍යාත්මික අංශයෙහිද පරිවර්තනයක් විය යුතුය. බුදු දහම පරිපූර්ණ විප්ලවයක් ලෙස යෝජනා කරන්නේ මෙයයි. බෞද්ධ සංඝ සමාජ සංවිධානය මගින් පිළිබිඹු කරන්නේ අධ්‍යාත්මික හා භෞතික යන උභය අංශයෙහිම විප්ලවය යි. වසර දෙදහස් පන්සියයකට වැඩි කාලයක් විවිධ හැල හැප්පිලි ඔස්සේ (යම් යම් ගුණාත්මක ලක්ෂණ ගිලිහී ගියත්) එහි පැවැත්ම මගින් කියා පාන්නේ බෞද්ධ සමාජ විප්ලවයේ න්‍යාය හා ව්‍යවහාරය වඩාත් නිවැරැදි බවයි.

සංඝ සමාජය වැනි ආගමික සන්දර්භයක පිහිටි සමාජ සංස්ථාවක් බ්‍රාහ්මණ සමාජ සංවිධානය උඩු යටිකුරු කරවමින් ගොඩනැගීමට බුදුන් වහන්සේට හැකියාවක් තිබුණත් ඊට වඩා පුළුල් වූත් බැරෑරුම් වූත් දේශපාලන ආර්ථික හා සමාජීය රටාවකින් වෙනස් කිරීමට බුදු දහමේ සමාජ විප්ලවීය න්‍යාය පොහොසත් වූවාද යන්න කෙනෙකුට ප්‍රශ්න කළ හැක. මේ සඳහා බුදුරදුන් පහළ වූ වකවානුවේ පැවැති සමාජ ආර්ථික දේශපාලන පරිසරය පිළිබඳ යම් අවබෝධයක් තිබීම ද අවශ්‍යයි. බුදුන් වහන්සේ මනුලොව ඉපදීම සඳහා පස්මහ බැලුම් බැලූ අවස්ථාවක් බෞද්ධ සම්ප්‍රදායෙහි දැක්වේ. කාලය, දේශය, දීපය, කුලය, මව යන මේ පස් මහ බැලුම් හි ඇත්තේ බුදු කෙනෙකුගේ පහළවීමට අවශ්‍ය වූ සමාජයක පූර්ව කොන්දේසි සමූහයක් බව පෙනේ.

බුදුන් වහන්සේ නිශ්චිත වූ පරිසරයක උපත ලබද්දී බුදු කෙනෙකු බිහි වීමට අවශ්‍ය වූ ආගමික, ආධ්‍යාත්මික හා භෞතික පරිසරයක් මේ යුගයෙහි උත්තර භාරතය තුළ ගොඩ නැගෙමින් පැවතුණු බව පෙනේ. මීට ඉහතින් දැක්වූ පරිදි 62 දෘෂ්ටිවාද හා යම් ශාස්තෘන් ඇතුළු නානා විධ ශ්‍රමණ කණ්ඩායම් රැසක් එකම වකවානුවක එකම ප්‍රදේශයක එකවරම පහළ වී තිබුණේ් කිසියම් සමාජමය වටපිටාවක බලපෑම නිසාවෙනි. ඒ සඳහා එකල පැවති ආර්ථික දේශපාලන අවිනිශ්චිත පරිසරය ඒකාන්තයෙන්ම හේතුවූවාට සැකයක් නැත.

ප්‍රධාන ලෙස භාරතය තුල මෙකල රාජාණ්ඩු හා ගෝත්‍රික සමූහාණ්ඩු ක්‍රම දෙකක් පැවැති බවට සාධක හමුවේ. රාජාණ්ඩු රාජාණ්ඩු අතරත්, සමූහාණ්ඩු සමූහාණ්ඩු අතරත් යුද්ධ හා කැරලි බහුල වකවානුවක් විය. රාජාණ්ඩු විසින් අවට පැවති ස්වාධීන ගෝත්‍රික සමූහාණ්ඩු ගිල ගැනීමේ මත්ස්‍ය න්‍යාය ක්‍රියාත්මක විය. ලේ වැගිරුම් සහිත උනුන් ඇන කොට ගන්නා යුදමය වාතාවරණය තුළින් හැම කෙනෙකුගේම ජීවිතය පිළිබඳ අවිනිශ්චිත හැඟීම් වර්ධනය විය. බුදුන් වහන්සේ තම රාජකීය උරුමයන් පවා අතහැර යාම මේ දේශපාලන වටපිටාව හේතු වූ බව ‘අත්තදණ්ඩ’ සූත්‍රයෙන් බුදුන් වහන්සේම පසු කලෙක පැහැදිලි කර ඇත.

පියා මරා පුතා රජවීමේ ‘ඔත්තවිජ්ජා වාදී’ දේශපාලන දර්ශනය මේ යුගයෙහි පැතිරී ගොස් තිබුණි. මෙය සනාථ කෙරෙන්නේ බුදුරදුන්ගේ ප්‍රධාන දායකයන් දෙපළක් වූ මගධයේ බිම්බිසාර රජතුමා සහ කෝසල රාජ්‍යයේ පසේනදී රජු යන රජවරුන් දෙපළ තම පුතුන් වන අජාසත්ත හා විඩූඩහ කුමාර වරුන්ගෙන් මැරුම් කෑමෙනි. එහෙත් බුදුරදුන්ට විඩූඩහට හැර පසේනදී කොසෙල් රජතුමාටත් බිම්බිසාර රජු හා එතුමන්ගේ පුත් අජාසත්ත රජතුමාටත් රාජාණ්ඩු ක්‍රමයක් තුළ ධාර්මික රාජ්‍ය පාලනයක් ගෙන යාම සඳහා උපදෙස් දෙමින් බලපෑමක් කිරීමට හැකියාවක් ලැබුණි.

එහෙත් බුදුන් වහන්සේට දේශපාලන ආර්ථික ව්‍යුහයේ පරිවර්තනයක් සිදු කිරීම නොහැකි වූයේ තවමත් ඒ සඳහා මුහුකුරා ගිය ආර්ථික රටාවක් නොතිබූ නිසා විය හැක. බුදුරදුන්ගේ පටිච්ච සමුත්පාද න්‍යාය මත පිහිටා අපෝහක යථාර්ථවාදී න්‍යාය ඔස්සේ භාරතය තුළ පමණක් නොව සැතපුම් දහස් ගණනක් ඈත මුහුදු සීමාවන් ඉක්මවා ගිය රටවල් නවයක සමාජ ආර්ථික විප්ලවයක් සිදු කිරීමට ඊට සියවස් දෙකකට පසු භාරතයේ අශෝක චක්‍රවර්තීන්ට හැකි විය.

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පාලකයා වශයෙන් එච්. පී. වේල්ස් සඳහන් කළ ධර්මාශෝක අධිරාජ්‍යයා (ක්‍රි. පූ. 273 0236) සිදු කළ සමාජ හා දේශපාලන පරිවර්තනය ඩී. සී. විජේවර්ධන ‘පන්සලේ විප්ලවය’ නම් කෘතියෙහි දක්වන්නේ මෙසේය. ‘කාර්ල් මාක්ස්’ ගේ තර්ක භෞතික න්‍යාය සමාජ විප්ලවය සඳහා ලෙනින් භාවිතා කළාක් මෙන් බුදුන් වහන්සේගේ දේශපාලන න්‍යාය පළමුවරට ක්‍රියාත්මක කළේ අශෝක චක්‍රවර්තීන් ය. මේ පිළිබඳව ප්‍රමාණාත්මක අවධානයක් අපේ විද්වතුන්ගෙන් යොමු නොවුනත් මාර්ටින් වික්‍රමසිංහ ‘බෞද්ධ සමාජ දර්ශනයෙන්’ උත්සාහ දරා ඇත්තේ බුදු දහමේ එන මේ සමාජ විප්ලවීය න්‍යාය මතුකර දැක්වීමටය.

කාෂ්මීර ගන්ධාරය (කන්දභාරය) ග්‍රීසිය, බුරුමය, ශ්‍රී ලංකාව, රටවල්හි බෞද්ධ සමාජ විප්ලවය, ජාත්‍යන්තර විප්ලවයක් බවට පත් කිරීමට අශෝක සමත් වූ බව ඔහුගේ දෙවෙනි හා පස්වෙනි සෙල්ලිපි වලින් සනාථ කෙරෙයි. එදා ග්‍රීක් රාජ්‍යයට යටත්ව තිබූ කන්දහාර් හි ග්‍රීක් සහ ඇරමික් යන භාෂා දෙකෙන් අශෝක විසින් පිහිටුවා ඇති සෙල්ලිපියෙන් පැහැදිලි කර ගත්තේ යුද්ධයෙන් ලබන ජයග්‍රහණය තාවකාලික එකක් වුවත් ධර්මයෙන් ලබන ජයග්‍රහණය සදාකාලික බව යි.

බුදු දහම ලංකාවට හඳුන්වා දීමෙන් පසු ලාංකීය සමාජ ව්‍යුහයේ සිදු වූ විප්ලවීය පරිවර්තනය කෙබඳු ආකාරයේ එකක් ද යන්න අප වංශ කතා සාහිත්‍යයෙන් හා එය සනාථ කෙරෙන වාරිමාර්ග ආදි පුරා විද්‍යාත්මක සාක්ෂි මගින්ද කෙනෙකුට පැහැදිලි කර ගත හැක. ආර්ථික සමෘද්ධිය වැව් අමුණුවලින් සංකේතවත් වන අතර වෙහෙර විහාර පිරිවෙන් හා විද්‍යා ආයතන ආදියෙන් ආධ්‍යාත්මික විප්ලවයක් කළ බව සනාථ වේ.

රටක ආර්ථික සමෘද්ධියක් නොමැතිව එම රටෙහි අධ්‍යාත්මික සදාචාර සංවර්ධනයක් විය නොහැකි බව පටිච්චසමුත්පාද ධර්මයෙන් මනාව පෙන්නුම් කරයි. චක්කවත්තී සීහනාද, කූඨදන්ත, අග්ගඤ්ඤ වැනි සූත්‍ර දේශනාවන් ගෙන් පහදා දුන් මේ සත්‍යය 18 වැනි සියවසෙහි මාක්ස්වාදය මගින් පෙන්වා ;දන තුරු නොදුටු සත්‍යයක් බව ඩී. ඩී. කොසම්බි ‘ඉන්දීය සාහිත්‍යයට හැඳින්වීමක්’ කෘතියෙන් දක්වා ඇත්තේ බුදු දහමේ එන මේ විග්‍රහයේ වැදගත්කම අවධාරණය කිරීමටයි. කූඨදත්ත හා චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් දීර්ඝ ලෙස විස්තර කරන මේ ආර්ථික ක්‍රමය සංවිධානාත්මක අර්ථ ක්‍රමය ලෙස අවධාරණය කෙරෙයි. එය සූරාකෑමෙන් තොරව ශ්‍රමයේ ඵලය ශ්‍රමිකයාට ලැබෙන ස්වභාවික සම්පත් නිසි අයුරින් කළමනාකරණය කළ පරිසර හිතකාමී විද්‍යාත්මක සැලසුම්ගත අර්ථ ක්‍රමයයි.

‘සේදා වක්ඛිත්ත බාහාබල පරිච්ත ධමෙමන ධම්භ ලද්දෙන භොගෙන’ අත පය වෙහෙසා දහඩිය මහන්සියෙන් ධර්මානුකූලව ලැබූ ධන සම්පත් යනුවෙන් බුදු දහම පිළිගනු ලබන්නේ මේ සැලසුම්ගත යුක්තිගරුක ආර්ථික ව්‍යුහයෙන් ලබන ඵලයයි. එය මිනිසාගේ ශ්‍රම ශක්තිය අනුව (යථාශක්ති) මිනිසාගේ රුචිරත්වයේ හැටියට (යථාරුචි) අර්ථ ක්‍රමයක් වේ. බුදු දහම යෝජනා කරන්නේ එබඳු වූ සියල්ල සාධාරණ වූ සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයකි. පෙර ධර්මරාජ සංකල්ප විප්ලවය ඒ ඒ රටවල්හි සිදු කළහ. එය මාක්ස්වාදයේ උගන්වන මනංකල්පිත කොමියුනිස්ට් සමාජ විප්ලවය නොවේ.

මාක්ස්ගේ සමාජ සංවර්ධන න්‍යාය දැක්වෙන්නේ සර්පිලාකාර සංවර්ධනයක් වශයෙනි. සමාජය ක්‍රමයෙන් ඉදිරියට ඇදෙන ඔහුගේ න්‍යායට අනුව ප්‍රාථමික නොදියුණු කොමියුනිස්ට් යුගය පසුකොට වහල් ක්‍රමය ඇතිවේ. වහල් ක්‍රමය පෙරළා වැඩ වසම් ක්‍රමය බිහි වේ. වැඩවසම් සමාජ ක්‍රමය පෙරළා ධනවාදී හා අධිරාජ්‍යවාදී සමාජ ක්‍රමය බිහි වේ. මෙම ක්‍රමය වෙනස් කොට කම්කරු පන්තියේ් ආඥා දායකත්වය යටතේ සමාජවාදී රාජ්‍යයක් ඉන් අනතුරු කොමියුනිස්ට් ක්‍රමය නම් වූ පරමාදර්ශ රාජ්‍යය බිහි වෙයි. මෙය නිරන්තර අරගලයන්ගේ ඓතිහාසික සංවර්ධනය වේ. එහෙත් බුදු දහම දැහැමි සමාජ පරිවර්තනයක් කළ හැකි බව උගන්වන අතර එමගින් ගොඩ නැගෙන පරමාදර්ශ කේතුමතී රාජ්‍යද කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් වන බවද අවධාරණය කරයි.

බුදුන් වහන්සේ විප්ලවවාදීන් අතර අග්‍රගන්‍යයේ විප්ලවවාදියෙකි. උන් වහන්සේ විසින් ලොව හමුවේ තැබූ පටිච්චසමුත්පාද න්‍යාය මෙතෙක් කිසිදු දාර්ශනිකයකු විසින් හෙළි නොකළ බැවින් ද කිසිදු විද්‍යාඥයෙකුට දාර්ශනිකයකුට හෝ කිසිදු ශාස්තෘවරයෙකුට, එය එසේ නොවේ යැයි ආපසු හැරවිය නොහැකි හෙයින් ද එම න්‍යායයෙන් ලොව පවත්නා සියල්ල විග්‍රහ කොට වෙනස් කළ හැකි හෙයින්ද උන් වහන්සේ අසහාය විප්ලවවාදියෙකි.

එසේම උන්වහන්සේ මිනිසාගේ සමාජ විප්ලවයන් අධ්‍යාත්මික විප්ලවයක් සමාන්තරව පිළිගත් බැවින්ද එම අංශ දෙකෙන්ම විප්ලවය එක්කොට ලෝකයේ අඛණ්ඩව වසර 2500 වසරක් පවත්නා සේ ගොඩනැගූ සංඝ සමාජය මගින් කියා පාන්නේ උන්වහන්සේ විප්ලවවාදීන් අතර අග්‍රගන්‍යයේ විප්ලව වාදියෙක් බවයි. කිසිවෙකුගේ ලේ නොසෙල් වූ කිසිදු බලකිරීමක් විධානයක් නොකොට ලොව පුරා අහිංසාවාදී විප්ලවයක් දියත් කළ බැවින් ද උන් වහන්සේ ලොව අග්‍රගණ්‍ය විප්ලවවාදියා වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා