දිට්ඨි විශුද්ධිය සහ කංඛාවිතරණ විශුද්ධිය

දිට්ඨි විශුද්ධිය සහ කංඛාවිතරණ විශුද්ධිය

පසුගිය ලිපියෙන් ශීල විශුද්ධිය, සහ චිත්ත විශුද්ධිය ඇති කරගත යුතු ආකාරය ගැන සරල විස්තරයක් ඉදිරිපත් කළ බැවින් අද ලිපියෙන්, ඊළඟට දක්වා ඇති දිට්ඨි විශුදධිය සහ කංඛාවිතරණ විශුද්ධිය ගැන එවැනිම විස්තරයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.

සප්ත විශුද්ධිවල තුන්වැනියට දක්වා ඇත්තේ දිටඨි විශුද්ධියයි. දිට්ඨි විශුද්ධි යනුවෙන් අදහස් කරන්නේ වැරැදි ආකාරයේ දැකීම්වලින් සිත නිදහස් කරගෙන නිවැරැදි දැකීමකට පැමිණීමයි. මේ ශරීරය තුළ සත්ත්වයකු පුද්ගලයකු සිටිනවාය, මම කියා කෙනෙක් සිටිනවාය යන වැරැදි අවබෝධය අර්හත් ඵලයට පැමිණ චතුරාය¸ සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගන්නා තුරු සිත තුළින් ඉවත් ව නොයන නිසා මම මගේ් යන හැඟීම උද්දච්ච බව, මානය, ආදි වැරැදි වැටහීම් වලින් සිත මුලාවට පත්වන බැවින් මේ පංචස්කන්ධ ලෝකය ගැන නිවැරැදි අවබෝධයක් ඇතිකර ගැනීම සඳහා විදර්ශනා භාවනාවක් හුරු කරගනිමින් අනිත්‍ය වූ සංස්කාර අනිත්‍ය බව දුක්ඛ වූ සංස්කාරවලින් දුක්ම, ඇතිකර දෙන බව අනාත්ම වූ සංස්කාර අනාත්ම බව ප්‍රත්‍ය ලෙස අවබෝධ කරගත යුතුයි.

ඒ සඳහා මේ ශරීරය සහ සිත නාම රූප වශයෙන් බිඳී, බිඳී යන ආකාරය, නිරුද්ධ වී යන ආකාරය, හේතුන්ට අනුව ඇතිවන හේතුන් නැතිවන විට නැති වී නිරුද්ධ වී යන ආකාරය නැත්නම් පංචස්කන්ධ ධර්ම වශයෙන් රූප, වේදනා, සංඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ඇතිවන නැතිවන අයුරු විනිවිද දකිමින් නැත්නම් ධාතු 6ක් වශයෙන් පඨවි, අපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ යන ධාතු කොටස් බෙදා වෙන් කර දකිමින් සත්ත්ව පුද්ගල සංඤ්ඤාව ගිලිහී යන ආකාරය, නැත්නම් ආයතන හයක් වශයෙන් චÀවායතන, සෝතායතන, ඝාණායතන, ජීව්හායතන, කායායතන, මානායතන, වශයෙන් මේ ආයතන බවට පත්වෙන ඇස, කණ, නාසය, දිව, කය, මනසට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ රස පොට්ටබ්බ, ධම්ම යන බාහිර අරමුණු නිසා සිත තුළින් ඇති කරගන්නා සිතිවිලිවල අනිත්‍ය බව අසාර බව නිරුද්ධ වන ධර්ම බව දුක් උපදවන ධර්ම බව, දුක්ඛ සමුදය ඇති කරවන ධර්ම බව, එසේත් නැත්නම් අශුභ වශයෙන් මේ ශරීරයේ ඇති කුනුපකොටස් ගැන වෙන් වෙන්ව දකිමින් අසාර බව, දුක් ලබා දෙන ධර්ම බව, කලකිරිය යුතු , සිතින් අතහැර දැමිය යුතු ධර්ම බව දකිමින්, මේ විදියට නොයෙකුත් ආකාර වලින් සිත සහ ශරීරය ගැන මනා අවබෝධයක් ඇති කරගනිමින් සත්ත්වයකු නොවන පුද්ගලයකු නොවන අනිත්‍යවූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්ම බව අවබෝධ කරගත යුතුයි. සෝවාන් වීමේ දී සක්කාය දිට්ඨිය හෙවත් ආත්ම දෘෂ්ඨිය සිතින් ගිලිහී ගියත් සත්ත්වයකු ඇත. පුද්ගලයකු ඇත යන මමත්වය සිතින් ඉවත් නොවන නිසා දිගින් දිගටම භාවනා කරමින් ඒ අවබෝධයන් ලබා ගන්නා තුරුම උත්සාහ අත් නොහරිමින් දිට්ඨි විශුද්ධි පූර්ණය කරගැනීමට උනන්දු විය යුතුය.

දිට්ඨි විශුද්ධියෙන් පසුව දක්වා ඇත්තේ කංචාවිතරන විශුද්ධියයි. දිගින් දිගටම භාවනා කරමින් නිවන් අවබෝධකර ගැනීමට උත්සාහ කරන කෙනෙකුගේ සිත තුළ පටිච්ච සමුප්පාද ධර්මයන් තුළින් භවය සකස් වන ආකාරය සහ භවය අවසන් කර මේ දුක කෙලවර කර ගැනීමට කෙසේ මේ පටිච්ච සමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වෙනවාද යන්න ගැන දැන ගැනීමේ කැමැත්තක් ඇතිවන අතර ඒ නිසාම ඒ ගැන නිතරම සිතින් විමර්ශනය කරමින් ඒ පිළිබඳව විස්තර දැක්වෙන දේශනා ඇසීමට පොත්පත් බැලීමට ලොකු උනන්දුවක් ඇති වෙයි. සසර දුක ගැන තමාගේ් සිතින් දකින තරමට මේ සසරින් එතර වීමට ඇති උනන්දු වැඩි වෙයි.

ඒ නිසාම මේ භවය සකස්වන ආකාරය සහ භවය කෙටි කර ගන්නා ක්‍රමය සොයා ගැනීම පිණිස සිතේ ඇතිවන කුතුහලය සැකය දුරු කර ගැනීමට පටිච්ච සමුප්පාද ධර්මයන් අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් බලමින් චතුරාය¸ සත්‍යය සමඟ ගලපමින් විදර්ශනා භාවනාවක් මගින් විනිවිද දකිමින් ඇස, කණ, නාසය, දිව, කය, මනස තුළින් රූප, ශබ්ද, ගන්ධ, රස , පොට්ටබ්බ, ධම්ම යන අරමුණු ලබා ගනිමින් සිත තුළින් චිත්ත සංස්කාර ඇති කර ගනිමින්, දුක්ඛ සමුදයම රැස් කරමින් අවිද්‍යාව නිසා භවය සකස් වන අයුරු විදසුන් නුවන්න් දැකිය යුතුයි.

ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන්, පොත්පත් වල දැක්වෙන විස්තර බැලීමෙන් පටිච්ච සමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය ගැන ලබාගත් දැනුමද උපයෝගී කර ගනිමින් විදර්ශනා භාවනාවක් මගින් මේ ක්‍රියාවලිය ගැන තමාගේ හදවත තුළින්ම අවබෝධ කරගත යුතුය.

සිත තුළ පවතින අවිද්‍යාව සහ තන්හාව නිසා ඇස, කණ, ආදී ඉන්ද්‍රියන් තුළින් රූප, ශබ්ද, අරමුණු ලැබෙන විට ඒවා දැන ගන්නා, චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ සමග එකතුවීම නිසා ඇතිවන ස්පර්ශය හේතු කොට ගෙන ඇතිවන සැප දුක්, උපේක්ෂා, වේදනාවන් හඳුනා ගන්නා ආකාරයට අනුව ඒ ඒ අරමුණු සමඟ ඇලීම සහ ගැටීම නිසා ඇතිවන චිත්ත සංස්කාර සිත තුළින් ගලායාම නිරන්තරයෙන්ම සිදුවන ක්‍රියාවලියක් වුවත්, එයම දුක් උපදවමින්, මේ සසරේ බැඳ හමා ගනිමින්, නැවත නැවත ඉපදීමට හේතුවන දුක්ඛ සමුදය ධර්මයක් වන බව අවබෝධ කර ගන්නා විට පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙමින් හේතූන්ට අනුව සකස්වන මේ භව චක්‍රය හේතු ඉවත් කිරීමෙන් නතර කළ හැකි ක්‍රියාවලියක් බව තමාගේ හදවතට දැනෙන විට කංචා විතරන විශුද්ධිය ලබා ගැනීමට හැකි ප්‍රඥාව දියුණුවනවා ඇත.

කෙසේ වෙතත් මේ ධර්මයන් හදවත තුළින් දැකීමට ඉතා දියුණු විදර්ශනා ප්‍රඥාවක් තිබිය යුතුය. බුදු රජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කළ හැක්කේ ප්‍රඥාවන්තයන්ට පමණක් බව දේශනාකර ඇත්තේ උන්වහන්සේගේ මනා ප්‍රඥාවෙන් ඒ බව දුටු බැවිනි. තම තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට අනුව මේ ලබන අවබෝධයේ ගැඹුරු බව උසස් බව වෙනස් වන බැවින් ඒ ගැන දැනගෙන ඊට වඩා උසස් අවබෝධයක් ලබනා අය සිටින බව දැනගෙන කටයුතු කළ යුතුයි.

මේ ආකාරයට කංඛාවිතරන විශුද්ධියෙන් සිත පිරිසිදු භාවයට පත් කර ගන්නා විට අවිද්‍යාව නිසා ඇති කර ගන්නා කුසල, අකුසල, චිත්ත සංස්කාරත්, ධ්‍යාන සිත් ආදී ආනෙඤ්ඤාභි සංස්කාරත් නිසා ප්‍රතිසන්ධි විඥානය ඇතිවෙන බවත් මේ හේතූන් තිබෙන තුරුම භවාංග චිත්ත පරම්පරාව අතීතයේ දීත්, වර්තමාන භවයේ දීත් අනාගතයේ දීත් නොසිඳී පවතින බවත් අවිද්‍යාව දුරු කිරීමෙන්ම මේ සිතිවිලි සංස්කාර අත්හරිමින් නිවනින් සැනසීම උදාකර ගත හැකි බවත් ඔබටද වටහා ගැනීම සඳහා අද අදම විදසුන් වඩන්න.

නිබ්බාණං පරමං සුඛං නිවන පරම සුවයයි. උතුම් සැපයයි

සියලු දෙනාම නිවනින්ම සැනසෙත්වා !

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා