මනාව පිහිටවූ සිත

මනාව පිහිටවූ සිත

මේ ලිපියේ මුල් කොටස අප්‍රේල් 28දා පත්‍රයේ පළ විය.

ඊළඟට තියෙන්නේ සම්මා සමාධි කියන අවසාන ගුණාංගය ගැන විමසා බලන්නයි. සමාධිය කියන්නේ සිතේ එකඟ බව නොවිසුරුණු ස්වභාවයයි. සමහර කෙනෙකුට පාප ක්‍රියාවලදීත් ඉතාම හොඳ සමාධිමත් සිතකින් ඒ ක්‍රියාව ඉතාම සාර්ථකව කරන්න පුළුවන් වෙනවා. සොරකම් කිරීම් ආදී කටයුතුවලදී ඉතාම තීක්ෂණ බුද්ධියකින් කටයුතු කරනවා. නමුත් ඒවා අයිති වෙන්නේ මිත්‍යා සමාධියටයි. නමුත් සම්මා සමාධිය ඇති කරගන්නා විට ප්‍රඥාව දියුණු වෙනවා. චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුපපාදය ආදී ගැඹුරු ධර්ම කරුණු භාවනාවෙන් අත්දකින්නට ලැබෙන්නේ. සම්මා සමාධියක් ඇතිකර ගන්නට හැකිවුනොත් පමණයි.

සම්මා සමාධිය ඇතිවන්නේ සිත තුළයි. එනම් ප්‍රඥාව, වැඩෙන්නේ සිත තුළයි. එසේ නම් ශීල, සමාධි, ප්‍රඥා කියන ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණයෙන්ම සිත දියුණු කරගන්නා ක්‍රියාවලියක් නිසා. එය ඇතිකර ගත යුත්තේ තමන්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් පෙන්වා දී ඇත්තේ මව හෝ පියා හෝ වෙනත් නෑදෑයෙකු හෝ කිරීමට සමත් නොවන නිවන් මාර්ගයට පැමිණීමට චතුරාර්ය සත්‍ය, අවබෝධ කර ගැනීමට හැකිවන්නේ මනා සේ පිහිටුවාගත් සිතකට පමණයි.

මුලින්ම පින්, පව්, කුසල්, අකුසල් ගැන විශ්වාස කරමින් සම්මා දිට්ඨිය ඇතිකර ගන්නා පුද්ගලයෙකුට පිළිවෙළින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කරමින් නිවන් අවබෝධය දක්වා සිත දියුණු කරගෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගෙන චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ කරගන්නා ප්‍රඥාව ඇතිකර ගත හැකි පුද්ගලයෙකු බවට පත්වෙනවා. එවිට ඔහු දුක්ඛ සත්‍යය නුවණින් දකිනවා. තමන්ගේ සිත තුළින් දුක්ඛ සත්‍යය දකිනවිට දුක්ඛ සමුදය හෙවත් දුක ඇතිවන හේතුව වන අවිද්‍යාවත්, ඇතිවෙමින්, නැතිවෙමින් යන පංච ස්කන්ධ ධර්මයන් මම මගේ යැයි හැඟීමෙන් උපාදාන කරගෙන පංච උපාදාන ස්කන්ධ ධර්මයන් බවට පත්කරගෙන ඇති කරගන්නා තණ්හාවත්, තමන්ගේ සිත තුළ ඇතිවන ආකාරය අවබෝධ කරගෙන දුක්ඛ සමුදය ප්‍රහාණය කිරීමට දුක්ඛ නිරෝධ ගාමිණි, පටිපදා මාර්ගයේ (ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ) ගමන් කරමින් දුක්ඛ නිරෝධ සත්‍යය සාක්ෂාත් කරගෙන නැවත නැවත ඉපදෙමින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක් අත්විඳින සසර ගමනෙන් නිදහස් වූ පුද්ගලයෙකු වෙනවා. ඒ අනුව මව හෝ පියා හෝ වෙනත් නෑයෙකුට කළ නොහැකි සසර දුක අවසන් කරන්නට හැකිවන්නේ තමාගේ සිත මනා සේ දමනය කරගෙන හික්මවා ගැනීම තුළිනි. ඔබත් අද අදම ආර්ය මාවතට පැමිණ සිත දියුණු කරගෙන ශීල, සමාධි, ප්‍රඥා වඩමින් උතුම් අමා මහ නිවනින් සැනසීම උදාකර ගන්න.

ඒ සඳහා ඔබට නිවනම අරමුණු කරගෙන පවත්වන ධර්ම දේශනා ඇසීමට අතිපූජනීය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ www.damruwana org වෙබ් අඩවියට පිවිසෙන්න. ඉතා ගැඹුරු දහම් කරුණු සරලව කියා දෙමින් ලෝක සත්වයාගේ සිත් දහම් අමා සිසිලසින් සුවපත් කරවමින් නිවන්මඟ එළිකරදෙන උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

සියලුදෙනාම නිවනින් සැනසෙත්වා!

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා