මුනිඳුන්ගේ සසුනේ කෙනෙක් ද ඔබ?

මුනිඳුන්ගේ සසුනේ කෙනෙක් ද ඔබ?

සංඝරක්ඛිත කුමරු මැදුරෙන් පිටතට ගමන් කළේය. වීදියට ඇරුණු මහ දොරටුව ළඟ නතර වී ආපසු හැරී බැලූ ඔහුට ගී හඬින් පිරුණු උඩු මහල පෙනිණ.

දෙටු සොයුරා මිතුරන් පිරිවරා ගෙන මත් පැනින්, ගී නදින්, සහ නැටුමෙන් සතුටු වෙයි. දැන් හෝරා කීයක් ගෙවෙන්නට ඇද්ද ? දුර බැහැරින් කැඳ වූ නළඟනෝ අද මුළු රැයම ඔහු ගේ විසල් කුටියේ රැඳෙති. දැල්වෙන විසල් පහනෙන් නැගෙන්නේ එළියක් පමණක් නොවේ. සුවඳක් ද නැඟෙයි. මේ සියල්ල මැදියම් රැය පසුවන තුරු පමණි. ඉන් පසු විඩාපත් නළඟනෝ නින්දට වැටෙති. පහන නිවී සුවඳ මැකී අඟුරු දුගඳක් මතුවනු ඇත. දහදියෙන් පෙඟුණු සිරුරුවල දුගඳ ඒ හා මුසුවෙයි. ලැබු සතුට කෝ එය හෝරා කීයට ද ?

මපියාණෝ මේ මැදුරේ සුවය - සැපත පුරවා තැබූහ. එතුමා සියල්ල හැර දමා දිගු කලක් යහනේ දුක් විඳ මර හඬ දෙමින් මරු හා ගියේය. දෙටු සොයුරාණනි ඔබටත් අත් වන්නේ ඒ ඉරණමමයි. මටත් එයමයි. පියාට සුවය සැපත ලබා දුන් යහන පසුව කටු යහනක් වුණු හැටි. යහනේ සිට ඔහු දුන් මර ලතෝනිය මට දැනුදු ඇසෙන්නාක් මෙනි. සැප අග දුක. සියල්ල අනිත්‍යයි. දුකයි.

සංඝරත්ඛිත කුමරු මෙසේ සිතමින් මැදුර දෙස බලා සිටියේ ඔහුට සැවැත්නුවර මහ වීදියේ ගමන් කරන රිය පෙළක සක් හඬ ඇසිණ.

‘හෙටත් අනේපිඬු සිටුතුමා සිය මැදුරේදී බුදුරජාණන් වහන්සේට දානය දෙනවා. මා මේ නගරයේ සිටියත් නගරයට නුදුරින් ජේතවනයේ වැඩ වෙසෙන බුදු රජාණන් වහන්සේ දකින්නට ගියේ නැහැ. මා හෙට සිටුතුමාගේ මැදුරේ දී උන් වහන්සේ හමු වෙනවා. මගේ සිතේ ඇති කනස්සල්ල පාළුව මා එතුමාට කියනවා’

සංඝරක්ඛිත කුමරු එදා රාත්‍රියම ගෙවූයේ නොනිදාය. ඉර පායා මද වේලාවකට පසු ඔහු වීදිය දිගේ අනේ පිඩු සිටු මැදුර දෙසට ගමන් කළේය. මුළු සිටු මැදුරම කූඹි ගුලක් මෙනි. සියල්ලන්ම අනලස්ව වැඩෙහි යෙදෙති.

පන්සියයක් මහ සඟරුවන සමඟ බුදු රජාණන් වහන්සේ සිටු මැදුරට වැඩම කළහ. වීදියේ කෙළවරක රැඳී සිටිය ද සංඝරක්ඛිත කුමරුට බුදු හිමියන්ගේ හඬ ඇසින. ඒ හඬ අනිත්‍යය ම හෙළි කෙළේය. ඔහුගේ සිතිවිලි සමඟ ඒ වචන පෑහිණ. අනිත්‍යය සමඟ දුක අනිත්‍යය නිසාම දුක දුක නැති කරන මග. එය තනි තනිව තම තමා විසින් ම අවබෝධයෙන් ලබා ගත යුතු දෙයක්. ඒ සඳහා මග උන් වහන්සේගෙන් හෙළිවෙයි. මම ඒ මග තෝරා ගනිමි. ඒ මගෙහි ගමන් කරමි.

සංඝරක්ඛිත කුමරු බුදු රජාණන් වහන්සේ සමඟ ජේතවනාරාමයට ගියේ්ය. පැවිදිවූයේය. විදසුන් වැඩීම සඳහා කමටහන් ලබා ගෙන ආරණ්‍ය සේනාසනයකට ගියේය.

සංඝරක්ඛිත හිමියන් සමඟ තවත් හිමි නමක් ද වැඩියේය.

ඒ ආරණ්‍ය සේනාසනයට නුදුරින් තරුණ මුව දෙනක් විසුවාය. ඇයට පැටවකු ලැබිණ. පැටවා පිළිබඳ දැඩි සෙනෙහසින් බැඳුණු මුව මව ළඟ ඇති තණ පත් පමණක් බුදිමින් සිටියාය. තණපත් අවසන් වූ පසු ඈතට ගොස් ආහාර සොයා ගැනීමට ඇය නොසිතුවේ පැටවා කෙරෙන් මොහොතකුදු ඈත් වීමට නොරිසි වූ හෙයිනි. දරු ස්නේහය, ප්‍රේමය, බැඳීම, ඇලීම ඒ තරමට ම ප්‍රබල වූ හෙයිනි.

ආහාර නොලැබ දෙතුන් දිනක් කල් ගෙවූ ඇය ක්ලාන්ත වී වැටුණාය.

මේ සිදුවීම් සියල්ල සංඝරක්ඛිත හිමියන්ගේ ඇසට හසුවිය. සිතට කා වැදිණ.

’ලෝක සත්ත්වයා තණ්හාවෙන් බැඳීම නිසා විපතට පත්වෙති. තණ්හාව සිඳ දැමීමට ඔවුහු අසමත් වෙති’ මහත් සංවේගයක් සහිතව මේ කල්පනා සිතෙහි පිරිණ. එයම අරමුණු කොට විදසුන් වැඩූ සංඝරක්ඛිත හිමියෝ රහත් බවට පත් වූහ.

එහෙත් උන් වහන්සේ සමඟ විදසුන් වැඩීමට ආරණ්‍ය සේනාසනයට වැඩම කළ අනෙක් භික්ෂුව බුදු රජාණන් වහන්සේ ගේ මාර්ගය අමතක කොට මිථ්‍යා විතර්කවල දැවැටෙමින් ගෙවූයේය. සංඝරක්ඛිත රහතන් වහන්සේ ඒ භික්ෂුවට මග පෙන්වමින් අවවාද කළහ. මුව මව උපමාවට ගනිමින් දුන් ඒ අවවාදය උන් වහන්සේ පසු කලෙක සිය උදානය වශයෙන් පළ කළහ.

අනුකම්පාවෙන් සපිරුණු ලොවටම

මුනිඳුන්ගේ සසුනේ කෙනෙක් ද ඔබ

නැත. ඔබ අන් මගකට යොමු වී ඇත

තුරුණු මුවඟනක ලෙසින් ඇලී ගිය

පියවි ඉඳුරනට තාමත් වසඟය

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා