මැරතන් තරගයේ විස්තර ප්‍රචාරය අසභ්‍ය වචන බවට පෙරළෙයි

මැරතන් තරගයේ විස්තර ප්‍රචාරය අසභ්‍ය වචන බවට පෙරළෙයි

ඉඩදෙන්න – කරුණාකර ඉඩදෙන්ඩ... මේ එන්නේ මහා මැරතන් ධාවන තරගයයි. ඉඩදෙන්න... පාරේ අයිනට වී ඉඩදෙන්ඩ.

බණ්ඩාරගම පැත්තේ තරුණ පිරිසක් එක්ව සංවිධාන කළ අවුරුදු උත්සවයක මැරතන් ධාවන තරගයකි. පෙළ ගැසී ජනයා එක්රොක් වී බලා සිටිති. ඉදිරියෙන්ම ධාවනය වන ශබ්දවාහිනී යන්ත්‍ර රැගත් කැන්ටර් රථයේ පසුවූ එහි නිවේදකයා එලෙසින් හඬ තලන්නට වූයේය.

රථයේ රියැදුරු අසුන පේලියේ තරුණ රියැදුරුටත්, කෙළවරේ පසුවූ තරුණයාටත් මැදිව කොල කිහිපයක් හා මයික්‍රෝපෝනයක් අතැතිව පසුවූ නිවේදක තරුණයා දන්නා හරබර වදන් තලු මරමින් මැරතන් ක්‍රීඩකයන් ළඟ ළඟට එන බවට පවසද්දී දෙපස රැස්ව සිටියවුන් පෙළට ඇදී දිය නාගත් අයුරින් දිව එන හතිලා දිව එන තරගකරුවන් දෙස බලා ඔල්වරසන් දෙමින් උඩ පනිති. දඟලති. කෑ ගසති. විසුළු ද කෙරෙති.

නිවේදක රැගත් රථය ඉදිරියට යන්නේ පටු මගකිනි. එක්තරා හන්දියක් අසල පිහිටි පන්සලක ඉරිදා දහම් පාසලක් ඇරී මගට පැමිණියේ ළමා සාරියෙන් සැරසී ගත් තරුණියන් පිරිසකි. රථයේ රියැදුරු කොලුවා මේ තරුණියන් දුටු සැණින් සියල්ල අමතක වූවාසේ විය.

ඔහුගේ දිව එළියට ආයේය. ඇස් ඉඟඵ මැරුවේය. නෙත් කොන් බැල්මෙන්ම පසු වූයේය. රථයේ කෙළවර වාඩිවී සිටි තරුණයා තම දෑතින් තම හිස බදා බෙරිහන් දෙන්නට වූයේ තරුණියන් දැක තමන්ගේ කාරියද අමතකව ගිය රියැදුරා ගෙන් රථය පාරෙන් ඉවතට පැන ඉදිරියට යද්දීමය.

“යකෝ - හත්තිලව්වේ – උඹ කොහෙද මේ එළවන්නේ?”

ඒ සැණින් රියැදුරාගේ ද දෑස් ලොකු වී ගියේය. ලයිට් කණුවකට හැපෙන්නට සුළු දුරක් තිබියදී හේ වහා රථය නවතා ගත්තේ සියලු වෙර වීරිය දමා තිරිංග පාගා ගැනීමෙනි. රථය ක්ෂණිකව නවතින විට මැද හිඳ සිිටි නිවේදකයා අත වූ ‘මයික්‍රෝපනය’ රියැදුරු ගේ මුව අසලටම ලංවී ගියේය. සිදුවන්නට ගිය අනතුරින් බියපත් රියැදුරුගේ මුවින් ක්ෂණිකව නිකුත් වූයේ... යන අසභ්‍ය වදනක් එක්වූ වචන පෙළකි.

එය ශබ්ද විකාශනයෙන් ද නිකුත්වීමෙන් මග දෙපස රැස්ව සිටියෝ උඩ – බිම බැලූහ. කාන්තාවෝ විලියෙන් මෙන් ඇඹරුණාහ. තවත් ඈයෝ වාහනය සමීපයට දිවැවිත් බැණ වදින්නට වූහ. “තමුසෙලා ගංජා ගහලද මේ වැඩවලට එන්නේ, හරිම කැතයි.” ඉන් කුපිත වූ රියැදුරු නිවේදකයා දෙස බලා ‘ගනින් යකෝ ඔය කෙහෙම්මල අහකට – මාව කෑවා’ යි ගුගුරන්නට වෙද්දී ක්‍රියා විරහිත නොකළ මයික්‍රෝපනයෙන් එයද විකාශනය විය.

නිවේදකයා වහා අසුනින් බිමට පැන හීන් සැරේ යන්නට ම ගියේ ආපස්සවත් නොබලමිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා