චෙන්නායි පෙරහරේ නර්ථන වැලිවේරිය ක්‍රිස්තුරාජ විදුහලෙන්

චෙන්නායි පෙරහරේ නර්ථන වැලිවේරිය ක්‍රිස්තුරාජ විදුහලෙන්

ශ්‍රී ලංකා මහාබෝධි සංගමය, දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිව සංවිධානය කරන චෙන්නායි වෙසක් උළෙලෙහි වෙසක් පෙරහර ලබන 30 වැනිදා සන්ධ්‍යාවේ පැවැත්වීමට නියමිතය.

චෙන්නායි හි එග්මෝර් නගරයේ කෙනට් වීදියේ පිහිටි මහබෝධි මධ්‍යස්ථානයෙන් සවස 4.00 ට ආරම්භ කරන වෙසක් පෙරහර නගරයේ වීදි සංචාරය කිරීමෙන් පසුව පස්වරු 6.00ට පමණ මහාබෝධි මධ්‍යස්ථානයට ගෙවැදීමට නියමිතය.

විදුහල්පති
එමර්සි ප්‍රියශාන්ත පියතුමා

මෙවර වෙසක් පෙහර සඳහා නර්තනයෙන් සම්මාදම් වන්නේ ගම්පහ වැලිවේරිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකි. නර්තන ආචාරිණී තනුජා හර්ෂනී පලිහේන මෙනවියගේ මෙහෙයවීම යටතේ පනහකට ආසන්න රංගන ශිල්පී ශිල්පිණියෝ පිරිසක් මෙවර වෙසක් පෙරහර විචිත්‍රවත් කිරීමට එක් වෙති. වෙසක් පෙරහර සඳහා නර්තනයෙන් සම්මාදම් වීමට ලැබීම සම්බන්ධව කතෝලික පාසලක් වශයෙන් තමන් ඉතාමත් සතුටු වන බව ක්‍රිස්තුරාජ විද්‍යාලයීය විදුහල්පති එමර්සි ප්‍රියශාන්ත පියතුමා පැවැසීය.

චෙන්නායි වෙසක් උළෙල සිංහල - දෙමළ සමඟිය පමණක් නොව, ආගම් අතර සමඟියද විදහා දැක්වෙන උත්සවයක් බවට මේ නිසා පත් වී ඇති බවද ප්‍රියශාන්ත පියතුමා වැඩිදුරටත් පැවැසීය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සමඟ එක්ව මේ සත්කාර්යයට දායක වීමට ලැබීම පිළිබඳව සතුටු වන බවත්, මෙවැනි අවස්ථා ඔස්සේ පාසලේ සිසු සිසුවියන්ගේ නිර්මාණ කුසලතා විදේශයන්හිදී ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබීම පාසලක් වශයෙන් ලද ගෞරවයක් බවත් ප්‍රියශාන්ත පියතුමා ප්‍ර‍්‍රකාශ කෙළේ ය.

වැලිවේරිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය සිසුවියන්ට අමතරව රංගන ආචාර්ය වසන්ත කොඩිතුවක්කු මහතා යටතේ බද්දේගම සාරංග කලා නිකේතනයේ රංගනය හදාරන සිසු සිසුවියෝ පිරිසක් ද මෙවර වෙසක් පෙරහරට දායක වෙති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා