අනාථ නැති පින්නවල අලි

අනාථ නැති පින්නවල අලි

1975 වර්ෂයේ පෙබරවාරි මස 16 වැනි දින ආරම්භ කළ මේ අලි අනාථාගාරයේ මේ වන විට අලි ඇතුන් 86 දෙනෙක් රැකවරණය ලබති. වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කළ අලි අනාථාගාරයට මුලින්ම ගෙන එනු ලැබූයේ මවු ඇතින්නගෙන් මඟහැරී වනයේ අතරමංව සිටි අලි පැටවුන් හය දෙනෙකි.

එවකට නාවික හා සංචාරක ඇමැතිව සිටි දිවංගත පී. බී. ජී. කලුගල්ල මහතාගේ අදහසකට අනුව මේ අලි අනාථාගාරය ආරම්භ කළ අතර දැනට එය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරේ.

අලි අනාථාගාරයේ ප්‍රථම අලි උපත 1984 ජූලි මස 05 වැනි දින සිදුවූ අතර, එය ලෝකයේ හීලෑ ඇතින්නක විසින් අලි අනාථාගාරයකදී බිහිකළ ප්‍රථම අලි පැටවා ලෙස සැලකේ.

අලි අනාථාගාරයේ විසූ ‘විජය’ නමැති හස්තියාට දාව ‘කුමාරි’ නමැති කෙණෙර බිහි කළ එම අලි පැටවා ‘සුකුමලී’ ලෙස නම් කෙරිණි. එදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ අලි පැටවුන් පනස් දෙනකු අලි අනාථාගාරය තුළ බිහි වී තිබේ.

අවසන්වරට උපන් පැටවා ‘කනක’ ලෙස නම් කෙරිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් එක් අලිපැටවකු ‘අර්ජුන’ නමින් ද නම් කළ අතර අලි අභිජනන මධ්‍යස්ථානයක් ලෙස වර්තමානයේ අලි අනාථාගාරය සංවර්ධනය කර තිබේ.

50වැනි අලි බබා ‘කනක’

පින්නවල අලි අනාථාගාරය සංචාරකයන් සඳහා පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා විවෘතව පවතී. දේශීය සංචාරකයන් සඳහා වැඩිහිටි ප්‍රවේශපත්‍රයක මිල රුපියල් සියයක් වන අතර, වයස අවුරුදු දොළහට අඩු දරුවන් සඳහා රුපියල් තිහකි.

පාසල් නිල ඇඳුමෙන් හෝ දහම් පාසල් නිල ඇඳුමෙන් පැමිණෙන කණ්ඩායම් සඳහා එක් අයකුට අය කිරීම රුපියල් විස්සකි.

විදේශීය සංචාරකයන් සඳහා රුපියල් දෙදහසක් ද, වයස දොළහට අඩු දරුවන් සඳහා රුපියල් දහසක්ද අයකෙරේ.

සාර්ක් කලාපයේ රටවල්වල විදේශිකයන් සඳහා අයකෙරෙන්නේ රුපියල් පන්සියයක් හා දරුවන් වෙනුවෙන් රුපියල් දෙසිය පනහකි.

අලින් දිය නෑම සඳහා දිනපතා මාඔයට රැගෙන යන අතර, පෙරවරු දහයේ සිට මධ්‍යහ්න දොළහ දක්වාද පස්වරු දෙකේ සිට පස්වරු හතර දක්වාද දිය නෑමට වෙන්කර තිබේ.

අලින් සඳහා අවශ්‍ය ජල පහසුකම් සැලසීම හා ආහාර පහසුවෙන් සපයාගැනීමේ හැකියාව මේ ප්‍රදේශයේ පැවතීම අලි අනාථාගාරය පින්නවල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ද හේතුවක් වූ අතර, පළපුරුදු ඇත්ගොවුවෝ රැසක් ද එහි සිටිති. කුඩා අලි පැටවුන් සඳහා දවසට තුන්වරක් කිරි ලබාදෙන අතර, පෙරවරු 9.15, පස්වරු 1.15 හා පස්වරු 5.00 ඒ සඳහා යොදාගෙන තිබේ.

පසුගිය රජය සමයේදී ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති මේ අලි අනාථාගාරය මෙවර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතට පත්කැර ඇත.

ශ්‍රී ලංකාවේ පැවැති යුදමය වාතාවරණය නිමාවීමත් සමඟ බොහෝ රටවල සංචාරකයන් ශශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බැවින් පින්නවල අලි අනාථාගාරය තවදුරටත් සංවර්ධනය කැර සංචාරක ආකර්ශනීය ස්ථානයක් බවට පත්කරන බව පසුගියදා එහි නිරීක්‍ෂණ චාරිකාවක යෙදුනු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා