තෙමඟුලට සැරසෙන රනාලේ මැටි පහන්

තෙමඟුලට සැරසෙන රනාලේ මැටි පහන්

වෙසක් මංගල්‍යය වෙනුවෙන්, එකවර පහන්තැටි ලක්ෂ ගණනක් නිමවෙන අපූරු දසුනක් දැක ගන්නට ලැබුණා. ඒ කඩුවෙල රනාල ප්‍රදේශයෙන්.

රනාල (සී 5) නිවෙසේ පදිංචි එම්. රංජන් සමන් මේ මැටි පහන් කර්මාන්තයේ ප්‍රධාන හිමිකරුවා. ඔහු තම ව්‍යාපාරය පිළිබඳව අදහස් දිනමිණට දැක්වූයේ මෙසේයි.

කේ. ජී. දමයන්ති ප්‍රියදර්ශනී

එම්. රංජන් සමන් මහතා (45) - මම මැටි පහන් කර්මාන්තය පටන් අරන් වසර විසි පහක් පමණ වෙනවා. අපේ පවුලේ මමත් තව දෙදෙනෙකුත් හැරුණහම පිටින් සේවකයින් හතර දෙනෙකු සේවයේ යෙදෙනවා. අපි එකවර මැටි ට්‍රැක්ටර් 15 ක් විතර ගේනවා. මාස 06 කට පමණ සෑහෙන පහන්තැටි ලක්ෂ දෙක තුනක්, නිෂ්පාදනය කරලා ගබඩා කර ගන්නවා. වෙසක් කාලයට කියල වෙනසක් නෑ හැමදාම ඕනෑ තරම් වෙළෙඳාම තියනවා.

වෙසක් කාලයට වැඩියෙන් පහන් තැටි නිෂ්පාදනය කරනවා. අපේ මහන්සියෙ තරමටයි ප්‍රතිඵල ලැබෙන්නෙ. කැප වෙලා වැඩ කළොත් හොඳ ලාබදායි නිෂ්ාදනයක්. මැටි පහනක් රු. 1.25 /- ක තොග මිලකට අලෙවි කරනවා. ලංකාවෙ සෑම පළාතකින්ම තොග වෙළඳුන් රනාලට එනවා. රනාලෙ පවුල් 15 ක් පමණ දැනට මේ මැටි පහන් කර්මාන්තයට සම්බන්ධයි.

මැටි පහනක් හදන්න අපි දරන වෙහෙස එළියට නොපෙනුනාට මේක හොඳට මුදල් උපයන්න පුළුවන් රස්සාවක්. අපේ මේ වෙළෙඳාමේදී කාටවත්ම යටත් නෑ. සියලුම නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර තාක්‍ෂණික දැනුම පවා තියනවා. ලක්ෂ 30ක් වටිනා මැටි අඹරණ යන්ත්‍රයක්, ජපානයෙන් ආනයනය කරන ලද සකපෝරු උපකරණයක් මා සතුව තියෙනවා. ගෙවල් දොරවල් ගොඩනගා ගෙන අපි සතුටෙන් ඉන්නෙ, අපේ මේ මැටි පහන් ව්‍යාපාරය නිසයි.

එම්. රංජන් සමන්

දැනට මැටි පහන් නිපදවන්නෙ දර පෝරණුවක ආධාරයෙන්. ඉදිරියේදී ගෑස් පෝරණුවක් ගන්නත් අදහසක් තියනවා. තව වෙන තුරු රජයෙන් කිසිම ආධාරයක් අරන් නැහැ. මේ අපේම ශ්‍රමයෙ ප්‍රතිඵල. මැටි ප්‍රවාහනයට අවශ්‍ය වාහනයක අඩුව ඇරුනහම අනිත් හැම දෙයක්ම මේ ව්‍යාපාරයෙ ශක්තියෙන් ගොඩනගා ගත්තා.

කේ. ජී. දමයන්ති ප්‍රියදර්ශනී මිය (27) වසර 04 ක පමණ කාලයක පටන් මේ ස්ථානයේ සේවය කරනවා. දවසකට පහන් තැටි දහසක් විතර මගේ අතින් නිම වෙනවා. මහන්සි වෙන තරමට දවසේ ආදායමක් උපයන්න පුළුවන්. මැටි පිෙඬන් පිඬ සකපෝරුවට දාලා දෑතේ හුරුවෙන් තමා මේ පහන් තැටිය හැදෙන්නෙ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා