නෙත් සිත් පහන් කරවන සුමනසේනගේ සත් පියුම් පහන

නෙත් සිත් පහන් කරවන සුමනසේනගේ සත් පියුම් පහන

ඉවත ලන යකඩ කම්බි ඉවත ලන සෙවිලි තහඩු වාහනයක දිරාගිය රෝදයක රිම් එකක් උපයෝගීකර ගෙන සත් පියුම් වෙසක් පහන නිපදවා ඇතැයි ගාල්ල කන්දවත්ත කම්හල් හිමියෙක් වන ඩී. එන්. සුමනසේන මහතා පැවසීය.

අප දන්නා පරිදි පහන ඉහළම ඇත්තේ කුකුළා ලාංඡනයයි. නමුත් මේ පහන ඉහළින්ම ඇත්තේ කුකුළකු නම් නොවේ. ධර්ම චක්‍රයයි. එය බුදුරජාණන් වහන්සේ විසින් ගුරුවරයා වශයෙන් තබාගත් ධර්මය සංකේතවත් කිරීමටය. පහනක තට්ටු හතක් තිබෙන බව අප දන්නා කරුණකි. නමුත් මේ පහනේ තට්ටු හතට නෙළුම් මල් හතක් සකසා ඇත්තේ බුදු හිමියනගේ ඉපදීම සංකේතවත් කිරීම සඳහාය.

නැතහොත් සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තිය සිහි කිරීම සඳහාය. මේ නෙළුම් මල්වල පෙති සකස් කර ඇත්තේ පහන් වලිනි. එනම් නෙළුම් මල් හතෙහි පෙති වලට පහන් සවි කර ඇත. ඒ අනුව මුළු පහනෙහි ඇති පහන් සංඛ්‍යාව 124 ක් පමණ වේ. මේ අනුව එක් පහනකින් තවත් පහන් 124 ක් සකසා ඇති ආකාරය මෙහිදී දකිය හැකිය.

මේ නෙළුම් මල් හත සවි කර ඇති දණ්ඩෙහි ඇති විශේෂත්වයකි. එනම් මේ නෙළුම් මල් හත අග ඇති පහන් දැල්වීම සඳහා පහන වටේ ගමන් කිරීමට අවශ්‍ය නොවීමයි එනම් පහන අසල සිටගෙන පහනෙහි ඇති නෙළුම් මල කරකවා, තමා සිටින ඉරියව්වටම ගෙන පහන දල්වන්නට අවශ්‍ය පහන ළඟා කර ගැනීමට හැකිය. භ්‍රමනය කර නැතහොත් කරකවා තමා ළඟට ගත හැකි ආකාරයේ සියුම් තාක්ෂණයක් මේ පහන තුළ දැකිය හැකි වීමයි.

මෙකී සත් පියුම් බොදු පහන තුළ දැකිය හැකි අනෙක් විශේෂත්වය වන්නේ කොටස් එකොළහකට 11 ගලවා පහසුවෙන් කුඩා පෙට්ටියක ඇසිරීමට හැකි වීම නිසා රැගෙන යාමට එතරම් ඉඩක් අවශ්‍ය නොවීමය. මෙහි බර කිලෝග්‍රෑම් හතලිහකි.

එක තැන සිට කැරකැවිය හැකි මේ පහනේ උස අඩි හත හමාරක් පමණ වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා