ඊශ්‍රායල තානාපති නිලධාරියාට ඕස්ට්‍රේලියාවෙන් පිට වන්න කියයි

හමාස් ක්‍රියාකාරිකයකු ඝාතනය කිරීම

ඊශ්‍රායල තානාපති නිලධාරියාට ඕස්ට්‍රේලියාවෙන් පිට වන්න කියයි

ඉකුත් ජනවාරියේ ඩුබායි සුඛෝපභෝගී හෝටලයක දී මහමුද් අල් - මහ නම් හමාස් ක්‍රියාකාරිකයා ඝාතනය කිරීමේ දී ඊට සම්බන්ධවූවන් ඔස්ට්‍රේලියානු ව්‍යාජ විදේශගමන් බලපත්‍ර යොදාගැන්මේ සිද්ධිය පිටුපස සිටින්නේ යැයි පැවසෙන ඊශ්‍රායල් තානාපති නිලධාරියා සතියක් තුළ දී ඔස්ට්‍රේලියාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයෙන් ඉවත් කළ යුතු බව ඔස්ට්‍රේලියා බලධාරින් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත්කළ ඔස්ට්‍රේලියානු විදේශ ඇමති ස්ටෙෆන් ස්මිත්, පැවසුවේ ඊශ්‍රායලය ඔස්ට්‍රේලියාවේ දැඩි මිතුරකු වුව විදේශ ගමන් බලපත් අයථා ලෙස යොදාගැන්ම නොඉවසන බවය.

අදාල ඝාතන සිද්ධියේ දී ඝාතකයින් විසින් භාවිත කළ ව්‍යාජ විදේශ ගමන් බලපත් අතර ඔස්ට්‍රේලියානු අනන්‍යතාවයෙන් යුත් ගමන් බලපත් 4ක් විය. සෙසු ගමන් බලපත් බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මන් හා අයර්ලන්ත අනන්‍යතාවෙන් යුක්තව තිබිණ.

ඊශ්‍රායලය ප්‍රතික්‍ෂේප කළ ද හමාස් ක්‍රියාකාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායල් මොසාඩ් රහස් ඔත්තු සේවයට ඇඟිල්ල දිගු වී තිබේ. ඔස්ට්‍රේලියානු විදේශ ඇමති පවසා ඇත්තේ ඝාතන පරීක්ෂණවල දී ව්‍යාජ විදේශ ගමන් බලපත් අයථා ලෙස යොදාගැන් ම සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකිව යුතු යැයි අනාවරණය වී ඇති බවය. මේ ඝාතන සිද්ධියට අදාලව ඉකුත් මාර්තු මස බ්‍රිතාන්‍යයේ ඊශ්‍රායල් තානාපති නිලධාරියකු ද නෙරපා හැරිණ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා