තොරණෙ විස්තරේ

තොරණෙ විස්තරේ

සිංහල සංස්කෘතියෙහි ප්‍රකටව පෙනෙන ලකුණකි තොරණ. පැරණි සංස්කෘතියේ වෙනත් අංගෝපාංග මෙන්ම මෙය ද ඉන්දියාවෙන් මෙරටට ආවා යැයි සැක කළ හැක. එහෙත් එය කවදා කවුරුන් විසින් කෙදිනක දී පටන් ගන්නා ලද්දක්දැයි නියත ලෙස කිව නොහැක. නොදියුණු සමාජවල මංකඩවල් හරහා එල්ලන ලද කොළ දඬු හා ඉදිකළ කොටු මැස්ස තොරණේ ආරම්භය විය හැක.

තොරණ ආරම්භය පිළිබඳ වැදගත් පොතපතින් ඉදිරිපත් කළ හැකි කරුණු නොමැත. එහෙත් තොරණ බැඳීම නමැති කුඩා පුස්කොළ පොතෙහි එන කවකට අනුව කේරළයේ රජ කළ සේරමත් රජුට වැළඳුන හිසරුදාවක් සුවය පතා තොරණ ඉදිකළ බව කියැවේ.

”පොරණ ගී ඇදුරු රුති ලෙස නොව වේග
උරණ නොවී අස සත පෙර පැවති රඟ
පෙරත් පුවත මෙහි දන්නෝ ඇද්ද වග
තොරණ දැක්කුවෝ බමුණෝ කාල යුග“

අතීතයේ සිටම තොරණ මංගල සංකේතයක් ලෙස සැළකූ® බව බුදුන්ගේ ශශ්‍රී පතුලෙහි මංගල ලකුණු අතර තොරණ දෙකක් තිබීමෙන් පෙනෙයි. තොරණ වර්ග අතර මකර තොරණ, ගොප් තොරණ, රඹ තොරණ ආදී වශයෙන් විශේෂතා තිබුණද ඒ සියල්ලම අභිබවා තොරණ යනු මෙයැයි යන තැනට කීර්තිය විහිදුවා ඇත්තේ ඒ සියල්ලටම පසුව බිහිවූ වෙසක් තොරණයි.

සියවසකට වඩා ඉතිහාසයක් ඇති වෙසක් තොරණ දක්‍ෂ චිත්‍ර ශිල්පීන්ගේ හා විදුලි ආලෝක ශිල්පීන්ගේ දායකත්වය ලබා විදුලි බුබුළු වැල්, වට්ටම් වැට, වළලු වලින් අලංකාර වේ.

සිතුවම්වලින් මෙන්ම විදුලි ආලෝක යනාදියෙන් ද ආලෝක වූ වෙසක් තොරණ ආරම්භයේ වූයේ එකම චාම් සිතුවමකි. කුඩා තොරණක මුදුනේ මේ චිත්‍රය විය. එය ද කතාවක් නොව, දස පාරමිතාව ආදියෙහි උත්කෘෂ්ට අවස්ථාවක් දැක්වෙන්නක් විය. කතා පුවත පැවසීම සඳහා එකම එක කවක් තොරණේ පහළින් වූයේය.

“සව් සත සසර සයුරෙන් ගොඩ නඟන ලෙදා
සව් පෙරුමක් පිරූ මහ බෝසතුන් එදා
නැව් නැඟ යන සඳෙහි නැව බිඳ ගිලෙන සදා
මවු කර පිටට ගෙන පිහිනුවෙ සයුර බදා”

මෙයට අවුරුදු 75 කට පෙර ඉදිවූ තොරණක එලෙස එකම කවියක් සටහන් වුවද අද වන විට තොරණ හි කවි සටහනක් තිබීමත් දක්නට නොලැබෙන අතරම ආරම්භයේ දක්නට ලැබුණු එක් චිත්‍රයක් වෙනුවට විවිධ රටාවන් අනුව සැකසුණු රූප රාමු ගණනාවකින් සමන්විත වෙසක් තොරණ බිහිවී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා