පසුගිය වසරේ iifa සොඳුරු දසුන්

පසුගිය වසරේ iifa සොඳුරු දසුන්

iifa බොලිවඩ් පුරයේ උත්කර්ෂයට ගත් සිනමා උළෙලයි. 2000 වසරේ ඇරඹි මෙම අතිඋත්කර්ෂවත් සිනමා සම්මාන උළෙල එළැඹෙන 5 වැනිදා රාත්‍රියේ සුගතදාස ක්‍රීඩාංගණයේදී සමරන්නේ සිය දස වැනි උපන් දිනය යි’ සිනමා කෘතියකට හිමි වන ඉහළම වටිනාකම iifa තුළින් ලැබීම මෙහි සුවිශේෂී ලක්‍ෂණයක්. ඒ අනුව පළමු දශකයේ සෞන්දර්යාත්මක සිනමා චාරිකාව ගෙවී ගියේ 2009 වසරේ ජුනි මස 11 දා සිට 13 දා දක්වා ‘මැකාවෝ’ හි දීය.

iifa සම්මාන උළෙලක සමාරම්භය පිළිබඳ පූර්ව තතු හෙළි කරන ප්‍රවෘත්ති සාකච්ඡාව සම්මාන උළෙල පැවැත්වීමට නියමිත ස්ථානයේදී පැවැත්වීම එහි ස්වභාවයයි. එහෙත් පසුගිය වසරේ එම නීතිය බිඳ දැමුණා. iifa හි සන්නම් තානාපතිවරයා වශයෙන් කටයුතු කරන අමිතාබ් බච්චන් මුම්බායි සිට එවර සම්මාන උළෙලේ තතු ලෝකයට හෙළි කළා. ඒ අනුව චීනයේ මැකාවෝ නුවර බොලිවුඩ් පුරයේ තාරකා වියනින් වැසී ගියා.

මෙම අවස්ථාව ඉන්දු චීන මිත්‍ර සංග්‍රාමයට තවත් අත්වැලක් වූයේ දෙරටේ සිනමා කර්මාන්තයේ වර්ධනීය ලක්‍ෂණ උදෙසාමයි. ලොව විශාලතම තානායම් පලක් ලෙස ප්‍රකට ‘The benetian macao’ බොලිවුඩ් තරු පිරිවරා ගත් සොඳුරු රාත්‍රීන්ට ඉඩ හසර සලසා තිබුණේ ඉතාමත් විචිත්‍රාකාරයෙනි.

iifa දශකයේ සම්මාන උළෙල වෙනදාට වඩා සුවිශේෂී ඉසව් කරා යොමුව පැවතියා. ඒ අනුව විශේෂිත සම්මාන 05 ක් පිරිනැමුණු අතර ඒවා iifa දශකයේ ගෞරව සම්මාන ලෙසින් නම් කර තිබුණා. උත්සව අවස්ථාවේ විවිධ අවස්ථාවන් අතර විහිළුවෙන් පිරි ගිය මොහොත කාගේත් සිත් ඇද ගත්තා. (Boman Irani) බෝමන් ඉරානි, (Ritesh Deshmukh) රිටේෂ් දේශ්මුක් සහ (Lara Dutta) ලාරා දත්තා සිනා සාගරයක් මැවූ ඒ තුන්කට්ටුව වෙති.

මැකාවෝහි පැවැති විචිත්‍රවත් රාත්‍රියේදී චිත්‍රපට 09 ක් සඳහා සම්මාන 40 ක් ප්‍රදානය කරනු ලැබිණි. ඒ අතර ජයග්‍රාහී කෘතිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ චමත්කාරජනක කතා තේමාවක් රැගත් ‘ජෝර්දා අක්බාර්’ සිනමා කෘතියයි.

ජෝර්දා අක්බාර් සිනමා කෘතිය සඳහා පමණක් සම්මාන 10 ක් හිමි වීම විශේෂත්වයකි. තාක්ෂණික සම්මාන ප්‍රදානය යටතේ ‘ජෝර්දා අක්බාර්’ හොඳම සංස්කරණය (Ballu Saluja, බාලු සලුජා) හොඳම කලා අධ්‍යක්‍ෂණය (Nitin Chandrakant Desai, චන්ද්‍රකාන්ත් දේශයි) හොඳම ඇඳුම් නිර්මාණය (Neeta Lulla) හා හොඳම වේෂ නිරූපණය (Madhar Kadam) ආදී තිරයේ පිටුපස කාර්යන් සඳහා වූ සම්මාන ජෝර්දා අක්බාර් විසින් දිනා ගනු ලැබිණි. එසේම හොඳම පසුතල නිර්මාණය හා හොඳම සංගීතයට හිමි සම්මාන ද්විත්වය ඒ. ආර්. රහමන්ට (A. R. Rahaman) හිමි වීම සුවිශේෂත්වයක් ගැනිණි. හොඳම නළුවාට හිමි සම්මානය රිතික් රොෂාන් විසින් දිනා ගත් අතර හොඳම අධ්‍යක්‍ෂණය සඳහා හිමි සම්මානයත් හොඳම දර්ශන සඳහා හිමි සම්මානයත් ‘ජෝර්දා අක්බාර්’ විසින් දිනා ගනු ලැබිණි.

වසරේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ප්‍රියංකා චොප්රායි. Fashion සිනමා සිත්තම වෙනුවෙනි. හොඳම සහාය නිළියට හිමි සම්මානයත් Fashion චිත්‍රපටයේ රඟ පෑ කන්ගනා රනාවන්ට හිමි විය. (Kangana Ranawat)  හොඳම සහාය නළුවා වෙනුවෙන් (Arjun Rampal) අර්ජුන් රාම්පාල් සම්මානය හිමි කර ගත්තේ Rock on හි රඟපෑම නිමිත්තෙනි.

දශකයේ සුවිශේෂී ගෞරව සම්මාන හිමි කර ගත්තෝ මෙසේය. දශකයේ තාරකාව වෙනුවෙන් ගෞරව සම්මානය හිමි කර ගත්තේ ඓශ්චර්යා රායිය. දශකයේ තරුව ෂාරුක් ඛාන්ය. දශකයේ සිනමා සිත්තම ‘ලගාන්’ ය. දශකයේ අධ්‍යක්‍ෂවරයා රකේෂ් රෝෂාන් වූ අතර දශකයේ සංගීතඥයා වූයේ ඒ. ආර්. රහමන් ය.

පසුගිය වසරේ ඉන්දීය සිනමා තිරයේ බැබලුණු දස දහස් ගණනක් අතරින් සම්මාන පිදීමට තෝරා ගත් චිත්‍රපට නළු නිළියන් සහ අනෙකුත් ශිල්පීන් සමග ඒ සතුට බෙදා ගැනීමට අපට ලැබීම කෙතරම් නම් භාග්‍යයක්ද ? ඔබගේ ඉන්දීය සුපිරි සිහින තරු සම්මානයෙන් බුහුමන් ලබන ඒ රාත්‍රිය ළඟදීම උදා වන බව අප පවසන්නේ මහත් වූ සතුටිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා