අපරාදේ ෆොටෝ එකක් ගන්න තිබුණා

අපරාදේ ෆොටෝ එකක් ගන්න තිබුණා

ගමන් විඩාව නෙත පියවා දැමුව ද සිත නිදි ගැනීමට සූදානම් නැත. රාත්‍රී අඳුර සහ සීතල විනිවිද සංගීත රාවයක් මතුව එයි. එය කුමක්දැයි දැන ගැනීමේ නොනිත් කුතුහලයක් මගේ දෙනෙත් විවර කරවයි. මම හෝටලයේ ප්‍රධාන දොරටුව දෙසට යමි. මගේ ගමන් සගයා ද මා සමග පැමිණේ. කඳු පාමුලට වන්නට පිහිටා ඇති තවත් හෝටලයක් උත්සවශ්‍රීයක් ගෙන තිබෙනු පෙනේ. එදෙසට යා යුතු යැයි සිත කියයි.

ගත දැවටී ඇත්තේ සීත මකාලන ඇඳුම් ද නොවේ. එහෙත් අපි මාවත දිගේ පිය මනිමින් සිටියෙමු. පෙනී යන අන්දමට මේ පැවැත්වෙන්නේ විවාහ මංගලෝත්සවයකි. දෑත සීතලෙන් හිරි වැටෙන්න ගනී. කලිසමේ සාක්කු තුළ ද ප්‍රමාණවත් උණුසුමක් නැත. එහෙත් කුතුහලය වඩා ප්‍රබලය. හෝටලයේ උද්‍යානයට මුහුණ ලා ඇති වේදිකාවක් මතට නැග ගත් සංගීත කණ්ඩායමක් ගී නද පතුරුවයි. නෙක පැහැ ගත් ඇඳුම් ආයිත්තමින් සැරසුණු බොහෝ දෙනා ප්‍රීතියෙන් යුතුව උත්සවයට සහභාගී වී සිටිනු පෙනේ. ඉන් ඇතැමෙක් මාවතේ් ගමන් ගන්නා අප දෙස බලති.

උද්‍යානය කෙළවර මාවතට ආසන්නයේ විශාල දර කොටන් යොදා ගැසූ ගිනි ගොඩකි. එය හඬ නගමින් ඇවිලෙයි. මම පුදුමයට පත් වෙමි.

‘අර බලන්න. ගාඩ්න් එකේ ගිනි ගොඩකුත් ගහලා’

මම කෑ ගසමි. ගමන් සගයා ඊට පිළිතුරු දෙන්නේ නොරිස්සුමෙනි.

‘ඉතිං මහ හයියෙන් කෑ ගහන්න එපා. එහෙම තමයි නුවරඑළියෙ හැටි’

මගේ ප්‍රීතිය මකා දැමීමට ඒ වචන ප්‍රමාණවත් නොවේ. ගිනි ගොඩේ උණුසුම මෙතෙක් වේලා මා රිදවමින් සිටි හීතලට බැට දෙයි. මම කැමරාව සූදානම් කරමි.

‘මේ මැජික් වගේ මෙතන ෆොටෝ ගන්න නම් ලෑස්ති වෙන්න එපා’

ගමන් සගයා මට අනතුරු අගවයි. දැන් දැන් උත්සවයේ බොහෝ දෙනා අප දෙස බලනු දැනේ. ඇතැම් විට ඡායාරූප ගැනීම සුදුසු නොවන්නට ද පුළුවන. මම කැමරාව අකුලා ගතිමි. සීතල තුට්ටුවකට මායිම් නොකරමින් උද්‍යානය පුරා දුව පැන යන පුංචි සමනල පැටව් රෑනකි. ඔවුන් මේ සීතල කෙසේ දරා සිටින්නේ දැයි සිතේ. මඳ අඳුර මකාලන ගිනි ගොඩේ ආලෝකය මැද දුව පනින ඔවුන් මවන්නේ චමත්කාර රූ රටාවකි.

‘අපරාදේ, ෆොටෝ එකක් ගන්න තිබ්බේ’

මම එවදන් මුවෙන් පිට නොකරමි. ආපසු හැරෙන අපි යළි අපගේ නවාතැන වෙත පිය මනිමු. සීතලෙන් ගල්ව ඇති දෙපා වේදනා ගෙන නොදෙයි. සාදයේ ප්‍රීතිය සැමටම බෙදා දෙන ගී හඬ මැද නින්ද මා වෙත පැමිණේ. නුවරඑළියේ සුන්දරතම හෝරාව උදෑසන යැයි දිවුරා කියමි. සැබවින්ම එය එතරම්ම සොඳුරුය.

උදෑසන වැටෙන හිරු එළිය මීදුම කපා හැරීමට තරම් ප්‍රබල නැත. ඒ මීදුමට සහ හිරු එළියට මැදිව සැලෙන අති වර්ණවත් මල් පොකුරු සොබා දහමට අනුබල දෙන නුවරඑළියේ අපූර්වතම කාලගුණයට දෙස් දෙයි. ග්‍රෙගරි වැව ඉස්මත්ත එකම කොළ පැහැ යායකි. ඉන් මදක් ඔබ්බෙන් ආඩම්බරව නැගී සිටින්නේ පිදුරුතලාගල කඳු රජුය. රාත්‍රියේ තරම් නුවූවද හමා යන සුළඟ සීතලය. එහෙත් එය ගතට සැපදායකය.

ස්ට්‍රොබෙරි නිවහන අසල රිය නැවතූ අපි දෙදෙනා තද රත් පැහැ යුෂ පිරි ස්ට්‍රොබෙරි මිලදී ගතිමු. එතනට ග්‍රෙගරි වැවද මනාව දිස්වේ. තම දිවිය සරි කර ගැනීමේ අරමුණින් යුක්තව කුඩා පෝනින් ද දක්කාගෙන තරුණයින් එකා දෙන්නා වැව් පිටිය වෙත එනු පෙනේ. තවත් තැනක තරුණයින් පිරිසක් සැරසෙන්නේ සංචාරකයන්ට බෝට්ටු සවාරි ලබා දීමටය.

රථය පන ගන්වන මගේ ගමන් සගයා එය ග්‍රෙගරි වැව මැදිකර ගෙන වැටී ඇති පාර දිගේ ධාවනය කරවයි. මග දෙපස විසිතුරු බොහෝය. එහෙත් මගේ දෑස නිරායාසයෙන්ම සරුසාර එළවලු පාත්ති දෙසට ඇදී යයි. නුවරඑළිය. එය නම් අරුම නගරයක්මය.

තවත් පියවරක් ලබන සතියේ

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා