ජල ක්‍රීඩා මුල් පුටුවට අද්මිරාල් කරන්නාගොඩ

ජල ක්‍රීඩා මුල් පුටුවට අද්මිරාල් කරන්නාගොඩ

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති තනතුරට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පත්වීමට නියමිතය. ලබන මාසයේ 2දා රැස්වෙන ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහ සභා රැස්වීමකදී කරන්නාගොඩ මහතාව සභාපති ලෙස ඒකමතිකව පත්කර ගැනීමට සූදානම් වේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා පිහිනුම් හා වෝටර් පෝලෝ ක්‍ර‍්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් අත්කර ගත්තේ ය. ජාතික පිහිනුම් පිලට හා වෝටර් පෝලෝ කණ්ඩායමටද ක්‍රීඩා කළ කරන්නාගොඩ මහතා පසුව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස නිතරගයෙන් තේරී පත් විය. වසර කිහිපයක්ම ජල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී රාජකාරී බහුල වීම හේතුවෙන් තනතුරෙන් ඉල්ලා අස්වීමට ඒ මහතා තීරණය කෙළේ ය.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ වාර්ෂික නිලවරණය පසුගියදා පැවැති අතර සභාපති තනතුර හැර අනෙක් සියලු පත්වීම් සිදු කෙරුණි. නිතරගයෙන් සභාපති තනතුරට පත් වූ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වූ අතර ලේකම් තනතුරට නේතෘ නානායක්කාර මහතා පත්විය. භාණ්ඩාගාරික ලෙස ෂෙහාන් ඇන්තනී ෆර්ඩිනැන්ඩස් උප ලේකම් ලෙස ජේ. ඒ. ගමගේ, පී. ආර්. අබේවර්ධන, එස්. එම් මුබාරක්, එස්. පී. ද අල්විස් යන මහත්වරු තේරී පත්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා