නාවික හමුදාව 14-13කින් මහනුවර පිල පරදවයි

නාවික හමුදාව 14-13කින් මහනුවර පිල පරදවයි

කැල්ටෙක්ස් ලීග් රගර් තරගමාලාවේ මෙතෙක් අපරාජිතව පෙරමුණේ පසුවූ ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජයේ ආධිපත්‍ය බිඳ දමමින් ලකුණු 14 - 13 ක තියුණු ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත්විය.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය නාවික හමුදා පිල හඳුනා ගනිද්දී පුතු යෝෂිත රාජපක්ෂට අතට අත දෙයි.

ඡායාරූපය - රංජිත් ජයවීර

වැලිසර නාවික හමුදා පිටියේ පැවැති මේ තරගයේ දී පළමු භාගය නිමාවන විට ලකුණු 11 - 8 ක් ලෙස ඉදිරියෙන් සිටීමට ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවූ නාවික හමුදා පිල සමත් වූ අතර දෙවැනි භාගයේ දී ඉතා උණුසුම් තරගයක නිරත වූ දෙපිලම දැඩි සටන්කාමී අයුරින් තරගයට අවතීර්ණ වුවද එක් ලකුණක පරාජයක් විඳ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයට සිදුවිය.

උත්සාහක දිනුමක්, දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින් නාවික හමුදාවේ ලකුණු 14 වාර්තා වූ අතර මහනුවර ක්‍රීඩා සමාජයේ ලකුණු 13 ට උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් ඇතුලත් වී තිබිණි.

මේ අතර පසුගිය සතියේදී හැව්ලොක් පිලට එරෙහිව මේ තරගමාලාවේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට පිවිසි පොලිස් පිල, ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවු ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 32 - 278 ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

පොලිස් පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවන විට ලකුණු 16 - 12 ක් වශයෙන් පෙරමුණේ පසුවූ පොලිස් පිල දෙවැනි භාගයේ දී වඩාත් ආක්‍රමණශීලි තරග රටාවක් පෙන්නුම් කිරීමට සමත් විය.

තරගයේ දෙවැනි භාගයේදී ලකුණු 27 - 25 ක් ලෙස ඉදිරියෙන් සිටීමට ගුවන් හමුදා පිල සමත් වුව ද, අවසන් මොහොතේ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පරිවර්තනය කරමින් ලකුණු 32 ක් ලබාගත් පොලිස් පිල තරගයේ ජය හිමිකර ගත්තේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා