පෙරහුරු තරගයෙන් නයිජීරියාවට ගෝල් 3-1ක ජයක්

පෙරහුරු තරගයෙන් නයිජීරියාවට ගෝල් 3-1ක ජයක්

පාපන්දු ලෝක කුසලානයේ උණුසුම වැඩි කරලමින් උතුරු කොරියාව සමඟ පැවැති පෙරහුරු තරගයෙන් ගෝල් 3 - 1 ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට නයිජීරියාව සමත් විය.

මේ තරගය නැරඹීමට ප්‍රවේශපත්‍ර ලබාගත නොහැකි වූ අති විශාල නරඹන්නන් සංඛ්‍යාවක් ක්‍රීඩාංගණය අවට ඇතිකළ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පුද්ගලයන් 16 දෙනෙකුට තුවාල සිදුවී තිබිණි.

තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර නොලැබූ ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණයට ඇතුල්වීමට උත්සාහ දැරීම වළකාලීමට කටයුතු කරමින් සිටි දකුණු අප්‍රිකානු පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ද තුවාල ලැබූහ.

මේ සිදුවීමට පැය කිහිපයකට පෙර දකුණු අප්‍රිකාණු භූමියේ පවත්වනු ලබන ප්‍රථම ලෝක කුසලාන පාපන්දු තරගමාලාව සඳහා සියල්ල සූදානම් බව එරට ජනාධිපති ජාකොබ් සුමා සහ ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලේටර් ප්‍රකාශ කළහ.

ලෝක කුසලාන පාපන්දු තරගමාලාව අතරතුර ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඝාතන අවම කරගැනීම සඳහා ඉතා දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බවද දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පැවසීය.

දිනකට මිනිස් ඝාතන 30 ක් පමණ වාර්තාවන දකුණු අප්‍රිකාව ලොව වඩාත්ම භයානක රටවල් අතරින් එකක් බව ජාත්‍යන්තර මතය වී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා