ඇෆ්ගන් රහස් ඔත්තු ප්‍රධානී ඉල්ලා අස්වෙයි

ඇෆ්ගන් රහස් ඔත්තු ප්‍රධානී ඉල්ලා අස්වෙයි

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඉකුත් සතියේ පැවැති “ජිර්ගා - සාම සමුළුවට සටන්කාමීන්ගේ ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියට අදාළව ආරක්ෂක තත්ත්වය අඩාල වීම සම්බන්ධයෙන් ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා හා රහස් ඔත්තු සේවා ප්‍රධානියා ඉල්ලා අස්වූ බව ජනාධිපති හමීඩ් කර්සායි ගේ කාර්යාලයෙන් පෙරේදා ප්‍රකාශ කෙරිණ.

ඇෆ්ගන් කැරලිකාරිත්වයේ අවසානයක් දැක්මේ මං පෙත් සොයනු පිණිස පැවැත්වූ ඓතිහාසිත ජිර්ගා සාම සමුළුවට 1600 ක පමණ පිරිසක් සහභාගි වී සිටියදී ඇතිවූ තලේබාන් කැරලි කණ්ඩායම් රොකට් වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට කර්සායි විසින් මේ දෙදෙනා කැඳවා තිබුණ ද ඔවුනට ආරක්ෂක කටයුතු පිළිබඳව නිශ්චිත කරුණු දැක්වීමට අපොහොසත් වීම නිසා මෙසේ ඉල්ලා අස්වීමට සිදුව ඇත.

මේ අනුව අභ්‍යන්තර කටයුතු ඇමති හනිෆ් අට්මාර් සහ ජාතික ආරක්ෂක කටයුතු ප්‍රධානී අම්රුල්ලා සලේ ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම ජනාධිපති වරයා විසින් පිළිගෙන ඇත.

කාබුල්හි ජර්මනියේ නිෂ්පාදිත දැවැන්ත කූඩාරමක ජිර්ගා සමුළුව පවත්වද්දී කැරැලිකරුවන් එදෙසට රොකට් ප්‍රහාර 5 ක් පමණ එල්ල කැර ඇත. ඉන් දෙකක්ම එල්ල වූයේ කර්සායි කතාකරමින් සිටියදීය.

පසුව බලධාරීන් කියා තිබුණේ ඔවුන්, නිම නොකළ ගොඩනැගිල්ලක සැඟවී සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු ඝාතනය කළ අතර තවත් අයකු ග්‍රහණයට ගත් බවය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා