සෝනියා ගාන්ධි චරිතාපදානය ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමේ තැතට එරෙහිව සටන් කරනවා

සෝනියා ගාන්ධි චරිතාපදානය ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමේ තැතට එරෙහිව සටන් කරනවා

කතුවරයා කියයි

ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකාව වන ඉතාලි ජන්මයකින් හෙබි සෝනියා ගාන්ධි පිළිබඳ ප්‍රබන්ධනාත්මක චරිතාපදානයක් රචනා කැර ඇති ජාවියර් මෝරෝ නම් කතුවරයා එය ඉන්දියාවේ ප්‍රකාශයට පත් කිරීම වළකාලීමට දරන ප්‍රයත්නයකට එරෙහිව සටන් වදින බවට ප්‍රතිඥා දී තිබේ.

ජාවියර් මෝරෝ පවසන්නේ ගාන්ධි හිතවාදීන් පොතේ අන්තර්ගත සමහර වැකි ඉවත් කරමින් එහි වෙනස් කම් ඇති කිරීමට ප්‍රයත්න දරන බවය. ගාන්ධි ගැන විමසිලිමත් වීම වළකා ලීමට මෙන්ම පොත තහනම් කරවීමට ප්‍රභූ පිරිසක් ක්‍රියාකරන බවද මෝරෝ පවසයි. ඉන්දියාව කථන නිදහස සුරකින ප්‍රජාතන්ත්‍රීය රටක් වන බැවින් තම පොත පළ කිරිමට අවසරයක් අවශ්‍ය නැතැයිද ඔහු කියා සිටී.

‘’ද රෙඩ් සාරි’’ වෙන්ලයිෆ් ඊස් ද ප්‍රයිස් ඔෆ් පවර්’ නම් මේ කෘතිය දැනටමත් ඉතාලියේ හා ස්පාඤ්ඤයේ ප්‍රකාශයට පත්ව ඇත. සෝනියා ගේ විදෙස් ජන්මය හා වැඩීම, ඇයට හින්දි බස උගෙනීමට සිදුවීම ආදිය ගැන එහිදී කරුණු සාකච්ඡා කෙරී තිබේ. මේ වසර අගදී එය ඉන්දියාවේ දී පළ කෙරෙනු ඇතැයි අපේක්ෂිතය. 1991 දී මරාගෙන මැරෙන බෝම්බකාරියකට රජිව් ගොදුරුවීමෙන් පසු ඇය දරු දෙදෙනා සමඟ ඉන්දියාව හැර යාමට සූදානම් ව සිටි බවද එහි සඳහන්ය.

මෝරෝ පවසා ඇති පරිදි මෙම කෘතිය මුළු මනින්ම නිවැරැදි නොවන නමුදු ඊට පර්යේෂණාත්මකව යථාර්ථවාදී කරුණු පදනම් කැරගෙන තිබේ. ගාන්ධිගේ පවුලේ අය හා හිතවතුන් කතුවරයාට සහාය දැක්වීමට අදි මදි කිරීමෙන් පසු මෙම චරිතාපදානය ප්‍රබන්ධනාත්මක ස්වරූපයෙන් සකස් කළ බවද ඔහු කියා ඇත.

කොංග්‍රස් පක්ෂ නීති වේදීන් පවසන්නේ මේ පොත අසත්‍ය තොරතුරු වලින් ගහණ බවත්. අර්ධ සත්‍ය කරුණු හා ව්‍යාජ කරුණු එහි ඇතුළත් බවය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා